SLBC අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ පන්නයි

අයථා ලෙස වැටුප් වර්ධක 10ක් ලබාගෙන ඇතැයි කියන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ එහි සේවකයන් විසින් ඊයේ (19) එළවා දමා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් ඊයේ සියලු සේවකයන් සඳහා රැස්වීමක් පවත්වා අදාළ කාරණාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඉන්පසුව සේවකයන් කැටුව ගොස් ඔහුගේ කාර්යාලය වටලා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පන්නා දමා ඇතැයි පැවසේ. තත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් (පාලන) පී. සත්කුමාර සහ එහි සභාපති හඩ්සන් සමරසිංහ මැදිහත් වී ඇති අතර ඒ අවස්ථාවේදී චන්ද්‍රපාල ඔහුගේ කාර්යාලය වටලා තිබූ සේවකයන්ට පවසා ඇත්තේ තමාගේ වැටුප් වර්ධක ලබාදී ඇත්තේ ගුවන් විදුලි සංස්ථාව විසින් බවයි. කෙසේවුවද, පසුව එහි සිටි වෘත්තීය සමිති ප්‍රධානීන් විසින් චන්ද්‍රපාල ලියනගේ සිය වැටුප් වැඩිකර ගැනීමට ලබාදී ඇති ලිපියක් පෙන්වා ඇති අතරඑම ලිපිද ඔහු විසින් සකසන ලද ඒවා බවද හෙළිවී තිබේ.
චන්ද්‍රපාල ලියනගේ අදාළ තනතුරට පත් කිරීම සඳහා පසුපසින් සිට කටයුතු කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවද එහිදී වෘත්තීය සමිති ප්‍රධානීන් හෙළිකර ඇත. ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් 300ක් පමණ චන්ද්‍රපාලගේ කාර්යාලය වටලා ඇත. පසුව ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ගුවන් විදුලි සංස්ථාවෙන් පිටව ගොස් ඇත්තේ පී. සත්කුමාරගේ මෝටර් රථයෙන් ඔහුගේ ආරක්ෂාව යටතේය.
රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචාකිරීමක් සිදුකොට ඇති බව සංස්ථා සේවකයෝ චෝදනා කරති.
අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු පත්වූ දා සිට සිදුකර ඇති අසාර්ථක ව්‍යාපෘති හරහා සංස්ථා මුදල් නිකරුනේ නාස්ති කොට ඇති බවද වාර්තාවේ.
එසේම සංස්ථා සේවක සංයුතිය පිළිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට සිය ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන අත්තනෝමතික ලෙස තනතුරු ප්‍රධානය කිරීමක්ද සිදු කොට ඇතැයිද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මීට අමතරව චන්ද්‍රපාල ලියනගේ පසුගිය දිනක යුක්රේන් අර්බුදය පිළිබඳව වෙනත් අයෙක් විසින් වෙබ් අඩවියකට සහ මුහුනු පොතට ලියන ලද ලිපියක් චන්ද්‍රපාල ලියනගේ ඔහුගේ ලිපියක් ලෙස හුවා දක්වමින් ප්‍රසිද්ධ කළේය. එම ලිපිය වෙනුවෙන් ඔහු විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවල පවා පෙනී සිටියේ කිසිදු ලැජ්ජාවක් නොමැතිවය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.