විරෝධතා මර්දනයට ආ නීතිය හා සාමය ලේකම් අධිකරණ අපහාස චෝදනාවෙන් නූලෙන් බේරෙයි ?

නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් අධිකරණ අපහාස චෝදනාවකින් ගලවා ගැනීමට නීතිපතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ.
උද්ඝෝෂණ සඳහා පොලිසිය පාර්ශ්වයෙන් ඉල්ලන ලද වාරණ නියෝග මහේස්ත්‍රාත්වරුන් විසින් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලේකම්වරයා දිගටම විවේචනය කර තිබේ. එහි තවත් පියවරක් ලෙස ලේකම්වරයා විසින් මේ පිළිබඳව අගවිනිසුරුවරයාට දැනුම් දී ඇතැයි පැවසේ.
වගකීම නීතිපතිට
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ දැනුම් දීමෙන් පසු අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දී ඇත්තේ ලේකම්වරයාට එරෙහිව අධිකරණ අපහාසය යටතේ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසයි.
ලේකම් කලබල වෙයි
මේ පිළිබඳව දැනගත් පසු ලේකම්වරයා දැඩි ලෙස කලබල වී ඇති අතර, ඔහු විවිධ පාර්ශ්ව මගින් නීතිපතිවරයාට පණිවුඩ යවා, චෝදනා ගොනුකිරීම වළක්වාගෙන තිබේ.
කෙසේ වෙතත් මීට අදාළ අවසන් තීරණය පිළිබඳව මෙතෙක් නිශ්චිතව වාර්තා නොවේ.
ජගත් අල්විස් යනු විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන අතර, සිවිල් පරිපාලන නිලධාරියෙකු ලෙස ඔහුගේ ක්‍රියාකාරිත්වය පසුගිය කාලයේ දැඩි විවේචනයට ලක් විය.
ව්‍යවස්ථානුකූල අයිතියක්
මහේස්ත්‍රාත්වරුන් විසින් අදාළ පොලිස් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කර තිබුණේ සාමකාමී ලෙස විරෝධතා දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය යටතට ගැනෙන බවත්, එය මූලික අයිතියක් බවත් ය.
කෙසේ වෙතත් කලහකාරී සහ ප්‍රචණ්ඩ අවස්ථාවලදී අත්අඩංගුවට ගැනීම් සඳහා බාධාවක් නොමැති බවත්, ඊට පොලිස් නිලධාරීන්ට බලය ඇති බවත් අධිකරණ මගින් පෙන්වා දී තිබිණි.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු කුමක්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) ව්‍යවස්ථාවේ (වගන්තියේ) මෙසේ දක්වා ඇත.
‘සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.’
සීමා මොනවාද ?
ව්‍යවස්ථාව අනුව එය පුරවැසියන්ට පමණක් හිමි අයිතියකි.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි, එනම් 15 (2) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බවයි.
එසේම 15 (7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වගබලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව යනුවෙන් ද සඳහන් ය. නීතිය යන්නට මහජන ආරක්ෂාව සඳහා සාදනු ලබන නියෝග ද ඇතුළත් වන බව එහි සඳහන් වේ.
නඩු තීන්දු
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කරමින් නඩු තීන්දු රැසක් ලබාදී තිබේ.
වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)
දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස යටතට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.
විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/ 379/93)
රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මෙම තීන්දුවේ දක්වා ඇත.
දේශප්‍රිය එදිරිව නගරාධිපති – නුවරඑළිය මහ නගර සභාව 1995 (1) SLR/362
මෙම නඩුවේ තීන්දුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14 (1) (අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම, දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයෙන් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර, වඩාත් භයානක වරදක් වේ.’
අමරතුංග එදිරිව ශ්‍රීමාල් සහ තවත් අය 1993 (1) SLR 264 (ජනඝෝෂා නඩුව)
රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප ආණ්ඩුවට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කළ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේ දී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දැක්වූ අයෙකි. විරෝධතාව අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කර තිබිණි. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
එම පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී, ඒ ආකාරයේ ප්‍රකාශනයක් ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කළේය.
එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කර ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.