“ජනාධිපති ධූර කාල දෙකෙන් පස්සෙ එනම් සුදුසු වේලාවේදී ගියානම් මහින්දට මෙවැනි දුකක් විඳීමට සිදුවෙන්නෙ නෑ”

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත් සිය අයියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
සුදුසු වේලාවේදී තනතුරුවලින් ඉවත් වීම වැදගත් බවද, දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තනතුරුවලට ලෝභී වුණොත් මෙවැනි දේවල් විඳීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
“මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් වසර 50 ක පමණ කාලයක් ලොකු සේවයක් කළා. රාජපක්ෂවරුන් වසර අනූවක පමණ කාලයක් රට වෙනුවෙන් සේවය කර තිබෙනවා. රාජපක්ෂවරුන් අදටත් ජනතාව ඉහළින් පිළි ගන්නේ අවංකව දේශපාලනය කළ නිසායි.රනිල් වික්‍රමසිංහ මහතා පුදුම වාසනාවන්ත පුද්ගලයෙක්. 2015 වර්ෂයේදී අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් තබාගෙන අගමැති ධූරයට පත්වූනා ඔහු අද එක මන්ත්‍රීධූරයකින් අගමැති බවට පත්වී තිබෙනවා.
සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණේ අරගලකරුවන්ට පහරදීමෙන් පසුවයි. ඒ අවස්ථාවේදී කිසියම් උසි ගැන්වීමක් සිදුවෙලා තියනවා. ඉවසීමක් නැතිකම නිසා මේ දේවල් සිදුවූනා. සියලු සිද්ධීන්වලට මෙතන සියලු දෙනා වගකිවයුතුයි. .
අරගලකරුවන්ට පහර දීමට ගිය පුද්ගලයන් නතර කිරීමට පොලීසිය කටයුතු නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක්. එසේ නියෝග නොදුන්නේ ඇයි දැයි සොයා බැලිය යුතුයි. මේ අරගලය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය බවත් එය කිසිවකුටත් රහසක් නොවෙයි.
ආර්ථිකය බිඳ වැටීමට නිලධාරීන්ද වගකිව යුතුයි. ඍණ ආර්ථිකය සහ ණය ආර්ථිකය සකස්වූනේ පී බී ජයසුන්දර මහතා ආර්ථික උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේදීයි.” යනුවෙන් චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.