පොලිසියට රෝස මල දෙන යුවතිය !

කුඩා කාලයේ සිට කියෙවූ සුරංගනා කතාවල සහ ජන කතා වල සිංහයින් සහ මුවන්, නරියන් සහ කුකුළන්, නයින් සහ මුගටින් ආදී සතුන් යහළුවන් මෙන් සිටිනු අනේක වාරයක් කියවා ඇත්තෙමි.
එවැනි පාරාදීසයන් පිළිබද ආගමික සිතුවම් ද දැක ඇත්තෙමි.
එහෙත් යථාර්ථයේදී එවැන්නක් සිදු වන්නේ නැත. ඒ කතන්දර සහ සිතුවම් බවට පත්ව ඇත්තේ අපගේ ප්‍රාර්ථනාවන් ය. ඒවා මිනිසුන්ගේ සුන්දර ප්‍රාර්ථනාවන් ය.
Animal Planet හෝ National Geography වැනි රූපවාහිනී චැනලයක විකාශනය වන සත්ව චර්යාවන් පිළිබඳ වැඩසටහනක නිතරම දක්නට ලැබෙන්නේ සිංහයින් සහ කොටින් විසින් හඹාගොස් සීබ්‍රාවුන් සහ මුවන් ආදී සතුන් මරා කන දසුන්ය.
එවැනි දසුනක් දකින සෑම විටම මගේ අපේක්ෂාව වන්නේ මුවාගේ හෝ සීබ්‍රාවාගේ පලා යාමකි. එවැනි දක්ෂ පලායාමක් සෑම විටකම මා තුළ සතුටක් ඇති කරයි. වරෙක තමා පසුපස හඹා එන විලෝපිකයා ට එල්ල කරන පා පහරකින් ඌ කැරකී ගොස් බිම වැටෙයි, එක්කෝ උගේ හක්ක බිඳී යයි. එවැනි ප්‍රහාරයක් හැමවිටම මා තුළ සතුටක් ඇති කරයි.
එවිට එම පා පහර එල්ල කරන මුවා ප්‍රචණ්ඩ ක්‍රියාවක යෙදෙන්නේ යැයි කිසිවිට මට සිතෙන්නේ නැත.
බොහෝ විට පලා යන මෙම සතුන් විටෙක සාමූහිකව මෙම විලෝපිකයන්ට මුහුණ දෙනු දැකගත හැක. තම රංචුවේ පැටවකු අල්ලාගත් සිංහයෙකුට එක්ව පහරදී තම පැටවා බේරාගන්නා හරක් රංචු, තම කූඩුවට කඩාවදින සර්පයින්ට පහරදෙන කුරුල්ලන් සැමවිටම එසේ සාමූහිකව පහර නොදෙන්නේ මන්දැයි විස්සෝපයක් මා තුළ ඇති වේ.
ගෝල්ෆේස් අරගල කරුවන්ට පහර දීමට පොහොට්ටුවේ මැරයන් ගාලු පාර දිගේ එනවිට මා පෙලෙමින් සිටියේ අරගල කරුවන් ගේ දක්ෂ පලා යාමක් හෝ බේරී යාමක් පිළිබඳ අපේක්ෂාවෙනි. රටපුරා ජනයා සාමූහිකව එම ප්‍රහාරකයින්ට ප්‍රතිප්‍රහාර දෙන විටද මට දැනුනේ සතුටක් ම ය. (ඔවුන් එසේ නොකරන්නට පොහොට්ටු මැරයන් විසින් මුළු රටේම අරගලකරුවන් බිමට සමතලා කරන තෙක් ඉදිරියට යාමට නියමිතව තිබුණි.)සෑම විටම ඔවුන් එක්ව මෙසේ පහර නොදෙන්නේ මන්දැයි යන විස්සෝපය මා තුල නැවත නැවතත් ඇතිවේ. වරෙක චේ ගුවේරා සහෝදරයගෙන් අරගලයට ජවය සපයන්නේ කුමක් විසින් දැයි ඇසූ විට ඔහු පවසන්නේ ආදරය විසින් යැයි කියාය. එහෙත් ඔහු එසේ පවසන්නේ රයිෆලයක් ද තුරුළු කරගෙන ය. ඒ පීඩකයාගේ ස්වභාවය පිළිබඳ යථාර්ථය ගැන ඔහුට ඇති අවබෝධය නිසා ය. අප දැන් ජීවත්වන්නේ රයිෆල් ගෙන සටන් කළ හැකි යුගයක නොවේ.(දැන් අපි කැමරා වලින් වෙඩි තබමින් සිටිමු) එහෙත් අප නව උපක්‍රම මඟින් පීඩකයින්ගේ මර්දනයට මුහුණ දීමට සූදානම් ව සිටිය යුතු වේ. සත්තකින්ම ඒ සඳහා සෑම විටකම හොඳම අවිය සාමූහිකත්වය සහ සංවිධානයයි. එමෙන්ම ඒ සඳහා වන (න්‍යායික)අවබෝධය ද තිබිය යුතුවේ.
පොලිසියට රෝස මල් දෙන සොයුරිය සහ එය උත්කර්ෂයට නගනා සොයුරු සොයුරියන් අවබෝධ කරගත යුතු දෙයක් තිබේ. පොලිසිය යනු රාජ්‍ය යන්ත්‍රයේ කොටසකි. රාජ්‍යය යනු මර්දන උපකරණයකි. පොලිසිය (හමුදාව, නීතිය සහ උසාවි, හා රාජ්‍ය නිලධාරීන්,…… )ක්‍රියාත්මක වෙන්නේ මර්දන යන්ත්‍රයේ උවමනාව අනුව ය. පොලිසිය නීතිය හා සාමය රකින තැනක් නොවන බව 09 වෙනිදා ප්‍රහාරයෙන් ද අපට නැවත ඔප්පු විය. (මෙය තනි තනි පොලිස් නිලධාරීන්ගේ පුද්ගලික ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ) පොදු ජනයාගේ ප්‍රතිවිරෝධය හමුවේ රාජ්‍ය යන්ත්‍රය දුර්වල සහ අකර්මණ්‍ය වූ මොහොත , එහි පොදු ස්වභාවය වශයෙන් තේරුම් ගැනීම බලවත් වරදකි.
1847 මාක්ස්වාදී ජාත්‍යන්තරය බිහිවීමට පෙර “යුක්ති කාමීන්ගේ සංගමය” නමින් සංවිධානයක් බිහි වී තිබුණි. ඔවුන්ගේ මූලික සටන් පාඨය වූයේ “සියලු මිනිසුන් සහෝදරයෝ ය” යන්නය. 1847 මාක්ස්වාදී ජාත්‍යන්තර බිහිවන විට ඉහත සටන් පාඨය වෙනස් කොට ” සකල දේශවාසී නිර්ධනයිනි එක්වව් ! ” යන සටන්පාඨය ඉදිරිපත් කළේ මාක්ස් සහ එංගල්ස් විසිනි. ඒ අරගලය යථාර්ථය මත පිහිට වීම අත්‍යවශ්‍ය වූ බැවිනි.
ගෝල්ෆේස් අරගලය තුළ මතු වූ බොහෝ සටන්පාඨ පිළිබඳ එකඟතාවක් මා හට නොමැත. කෙසේ වෙතත් මැයි නම වෙනිදා සිදුකළ මැර ප්‍රහාරයෙන් පසු තත්ත්වය සියලු දෙනාටම අලුතින් සිතීමට අලුත් ඉඩක් විවර කර ඇත.

– Chandrika Adikari


 

සබැඳි

Leave a Reply

Your email address will not be published.