පොලිස්පති සීඅයිඩීයට : පොලිසියේ එළිපිට සටන් ඇරඹේ !

ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (19) පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
මේ ප්‍රහාරය පිළිබඳව බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් විමසීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශබන්දුගේ කතාව
දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිෂන් සභාවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පවසා තිබුණේ අදාළ ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කිරීම පොලිස්පතිවරයා වැළැක්වූ බවයි. ඉන්පසු ජනාධිපතිවරයාට මේ බව දැනුම් දුන් පසු, පොලිස්පතිවරයාගේ නියෝගය නොසලකා කටයුතු කිරීමට උපදෙස් ලැබුණු බවත්, ඒ අනුව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් ඔහු පවසා තිබිණි.
එහෙත් මීට ප්‍රතිවිරුද්ධ කතාවක් රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පවසා තිබිණි. ඔහු පෙන්වා දී තිබුණේ ගැටුමක් ඇතිවීමට දේශබන්දු තෙන්නකෝන් ඉඩ දුන් බවයි.
විශේෂ මෙහෙයුමක්
කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස්පතිවරයාට ගෝල්ෆේස් ප්‍රහාරයේ සමස්ත වගකීම පවරා, ඔහු ඉවත් කිරීමේ සූදානමක් ඇති බවයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න, දේශබන්දු තෙන්නකෝන් එක්ව සිදු කරන මෙම මෙහෙයුමට, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ සහාය ද ලැබෙන බව වාර්තා වේ.
එළිපිට සටන්
ඉදිරි දින කිහිපයේදී පොලිස්පතිවරයාට එරෙහි චෝදනා රැසක් ද සමාජ මාධ්‍ය මගින් හෙළිදරව් වනු ඇති බවත්, ඊට අදාළ කටයුතු දැනටමත් ආරම්භ වී ඇති බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ පසුබිම සකස් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ඉල්ලා අස් වන ලෙස දැනුම් දෙනු ඇතැයි ද වාර්තා වේ.
මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් 184කින් 182ක් දේශපාලන බලපෑම් මත පත්කළ බවට පොලිස්පතිවරයා විසින් කරන ලද අනාවරණය ද ඔහුට එරෙහිව යොදාගැනීමට සැලසුම් කර ඇති බවත්, ඊට හේතුව වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔහු වගකීම ඉටු කර නැති බව සමාජගත කිරීම බවත් හෙළි වේ.
දෙපිළ බෙදෙයි !
දේශබන්දු තෙන්නකෝන් හැර, මීළඟ පොලිස්පති ධුරය බලාපොරොත්තුවෙන් සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ වන විට සෘජුවම වර්තමාන පොලිස්පතිවරයාගේ පාර්ශ්වය ගෙන කටයුතු කිරීමට පටන් ගෙන ඇති බව ද වාර්තා වේ. ඔවුන් පොලිස්පතිවරයාට පෙන්වා දී ඇත්තේ වහාම අදාළ පොලිස් ස්ථානාධිපති තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගතහොත්, පොලිස්පතිවරයාට ජනතා ප්‍රසාදය දිනාගත හැකි බවයි. එවැනි තත්ත්වයක් යටතේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ සැලසුම් අසාර්ථක කළ හැකි බව ද පෙන්වා දී ඇති අදාළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් එකතු කිරීමේ මෙහෙයුමක් ද ආරම්භ කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
නියෝග පිළිපැදීම
මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගෝල්ෆේස් ප්‍රහාර වගකීමෙන් මිදීම සඳහා යොදාගන්නා නියෝග පිළිබඳ ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුවේදී අධිකරණය පැහැදිලිව පෙන්වා දී ඇත්තේ අනීතික නියෝග නොසලකා කටයුතු කිරීමේ හැකියාව ඇති බවත්, ඊට නීතියේ රැකවරණය ඇති බවත් ය.
චූදිතයන් එක වහලයක් යටට
ආන්දෝලනයට තුඩු දුන් මංකොල්ලකෑම් සහ ඝාතන පිළිබඳ චෝදනා රැසක් ඇති, ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදු කොට, වැරදිකරු කරමින් සකස් කළ වාර්තාවක් පවා ඇති වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති එච්.එම්. සමුද්‍රජීව වහාම ක්‍රියාත්මක වන පරිදි දේශබන්දු තෙන්නකෝන් යටතේ රාජකාරි කිරීමට යොදවා තිබේ. පොලිස්පතිවරයා විසින් මීට අදාළ නියෝගය නිකුත් කර ඇති අතර, සමුද්‍රජීව වැරදිකරු කළ, ප්‍රබල සාක්ෂි සහිත වාර්තාවක් අතේ තබාගෙන පොලිස්පතිවරයා මේ කළේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් ඇති වී තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.