පොලිසිය සහ ආරක්ෂක හමුදා බලා සිටිය දී ජේවීපී කාරයෝ ගෙවල් ගිනි තියති………..

පසුගිය දින දෙකේ පාර්ලිමේන්තු සැසි ඔබ දැක්කා නම් පුදුම හිතෙනු ඇති . ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු බොහෝමයක් ප්‍රකාශ කලේ ජේවීපී කාරයෝ ඔවුන්ගේ දේපොළ ගිනි තැබුවාලු. හමුදාව පොලීසිය බලා සිටියාලු. එසේනම් සියලු හමුදා පොලිස් භටයන් ජේවීපී කාරයෝ විය යුතුය . නැත්නම් ඔවුන්ට වෙඩි තැබීමට අන දෙන්නන් ජේවීපී කාරයෝය. නැතහොත් ඔවුන්ගේ තුවක්කුවලට අවශ්‍ය උන්ඪ ගැනීමට වත් ඩොලර් නැත.
ඇඳිරි නීතිය තිබෙන රාත්‍රියක ලංකාවේ විවිධ ප්‍රදේශ වල තිබුනු ගිනි තැබීම් වලක්වා ගැනීමට ආරක්ෂක හමුදා යෙදවූයේ නැත්තේ ඇයි ? මෙය පුදුම සහගත ය. රටේ අවශ්‍ය නීති පනවා තිබිය දී මෙසේ සිදුවිය හැකිද? ලංකාවේ සියලු හමුදා අණ දෙන්නා ජනාධිපති ගෝටාභය රාජපක්ෂය. එසේනම් , ඔහුගේ අනෙකුත් ක්‍රියා මෙන්ම , යම් දිනෙක මෙයටද ජනයාගෙන් සමාව ඉල්ලනු නොඅනුමානය.
1. අරගල කරුවන්ට පහරදීමට සැලැසුම් කලේ “කපුටාස්” යැයි වීරවංශ පාර්ලිමේන්තුවේදී පෙරෙයිදා ප්‍රකාශ කලේය. “කපුටාස්” යනුවෙන් ඔහු හැඳින්වූයේ බැසිල් රාජපක්ෂ යි. එසේනම් , විමර්ශකයන් ඒ පිළිබඳ අවධානය යොමු නොකරන්නේ ඇයි?
2. රමේෂ් පතිරණ ඇමැති වරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කල අන්දමට ජනාධිපති වරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කතාකල විට ඔහු ජනාධිපති වරයාට ප්‍රකාශ කර ඇත්තේ අරගල කරුවන්ට පහරදීමට ඉඩ දෙන ලෙස පොලිස්පති ඔහුට 12.40 පැයට නියෝග කල බවකි. එසේනම් , පොලිස්පති මෙයට වගකිව යුතු නැද්ද ? ඔහු අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කල යුතු නැද්ද ?
3. රමේෂ් පතිරණට අනුව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් ජගත් අල්විස් පොලිස්පතිට නියෝග කොට ඇත්තේ අරගල කරුවන්ට පහරදීමට ඉඩ දෙන ලෙසයි . එසේනම් , විමර්ශන නිළධාරීන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අත් අඩංගුවට ගත යුතු නොවේද ?
4. පාර්ලිමේන්තුවේ කතාකල කථිකයින් ප්‍රකාශ කල අන්දමට යුධ හමුදා භටයන් ගිනි තැබීම් දේපල හානි කිරීම් වැලැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි .එසේනම්, යුධ හමුදාපති ගෙන් විමර්ශකයන් කට උත්තර සටහන් කර ගත යුතු නොවේද ? ජනාධිපති වරයා ඔහු තවදුරටත් ධූරයේ තබා ගැනීම යුක්ති සහගතද?
5. අරලියගහ මන්දිරයට මැරයෝ කැඳවා මත්පැන් බොන්නට දී ඔවුන් සමග සෙල්ෆි ගැසූ නමල් රාජපක්ෂ මෙහි වග උත්තර කරුවෙක් නොවේද ? ඔහු ඒ මැරයන්ට “යමු ගෝල් ෆේස් ” කියන ආකාරය කැමරා කාචවල සටහන් වී තිබෙනවා මාධ්‍ය වල ඔබලා දකින්න ඇති. එහෙත් , ඔහු වග උත්තර කරුවෙක් කර ඇති බවක් දැනගන්නට තිබෙනවාද ?
6. මේ සියල්ලටම වගකිව යුතු මහින්ද රාජපක්ෂ ගැන කිසිවෙක් කතා නොකරන්නේ ඔහුට තිබෙන බිය නිසාද? අලුත් අගමැති වරයා ප්‍රකාශ කලේ ඔහුට කිසිවෙක් ආරක්ෂා කිරීමට අවශ්‍ය නොවන බවයි . එසේනම් , ඔහු මහින්ද රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කරන ලෙසට පොලිසියට උපදෙස් නොදෙන්නේ ඇයි ?
සමාජ මාධ්‍ය ඔස්සේ සියලු පහරදීම් ගිනි තැබීම් සජීවීව මුළු ලෝකයටම විකාශය වෙද්දී , ඒවාට සහභාගි වූවන් හඳුනාගැනීමට එතරම් අවස්ථා තිබියදී, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තවත් වතාවක් උස්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ පිබිදීම වැලක් වීමට ගන්නා වු නිර්ලජ්ජිත උස්සාහයක් බව ඉතා පැහැදිලියි .
කෙසේ වෙතත් , ජාතික ජනබලවේගය හෝ එහි අනුබද්ධ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසියම් ක්‍රියාකාරිකයෙක් මෙකී සිදුවීම් වලට සම්බන්ධ බවට විමර්ශන වලදී තහවුරු වීම තුල නීති මගින් කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැත.
එහෙත් , කිව යුත්තේ, හේන අලි කෑ විට ගෙදර තිබෙන මුව හමට තඩිබාන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අභූත චෝදනා ජාතික ජනබලවේගය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
– ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA
19.5.2022

සබැඳි

Leave a Reply

Your email address will not be published.