“පරීක්ෂණවලට මුවාවෙලා දඩයමක් පටන් ගෙන – මැරයන් අත්අඩංගුවට ගන්නේ නැහැ”

ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද(16) ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්,
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පා.ම. විජිත හේරත්
පසුගිය 09 වෙනිදා දක්වා සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණය කළ ජනතාවට ආණ්ඩුවේ මැරයන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. අරලියගහ මන්දිරයේ සැලසුම්කර මුදාහැරිය පිරිස මේ ප්‍රහාරය එල්ල කර අදට (16 දිනට) දවස් 07ක් වෙනවා. මේ වනතුරු ඒ මැරයන්ට අදාළව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කර නැහැ. ආණ්ඩුව හොරගල් අහුලමින් ඉන්නවා. නමුත් ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට විරුද්ධව රට පුරා ජනතාවගෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් බොහෝ අය අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ ප්‍රහාර අපිත් අනුමත කරන්නේ නැහැ. පොලිසිය කියන විදිහට 230කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේවකයෙක් පමණක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා.
“ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බබෙක් වගේ”
“මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යෙදවූ මැර කණ්ඩායම ගෝල්ෆේස් පිටියට ඇතුළුවීමට ඉඩදීමම වරදක්. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධරීන් එතන හිටියා. මැරයන් ඇතුළුවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පොලිසියට ගතහැකිව තිබුණා. උද්ඝෝණයකරුවන් මැරයන්ව වළක්වන ලෙස පොලිසියෙන් කළ ඉල්ලීම වීඩියෝ පටවල තිබෙනවා. නමුත් පොලිසිය මැරයන් පාලනය කළේ නැහැ. දැනුවත්ව, සංවිධානාත්මකව, සැලසුම් සහගතව ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත මැර කණ්ඩායම්වලට යන්න පොලිසිය ඉඩදුන්නා. ආරක්ෂක ලේකම් දැන් බබා වගේ කතා කියනවා. ප්‍රචණ්ඩකාරී තත්වයන් ඇතිවීම වැළැක්වීමේ වගකීම ඉටුකරනවා වෙනුවට මැර කණ්ඩායම්වලට බාධා නොකරන නියෝග දී තිබුණා. රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණේ මේ නිසයි. රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න ඉඩදීලා දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බබෙක් වගේ කතා කරනවා.”
“දේපළවලට ආරක්ෂාව නොදුන්නැයි මන්ත්‍රීවරු පොලිස්පතිට බැනල”
“නීතිඥවරු, පුරවැසි කණ්ඩායම්, ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරී සංගමය, පෞද්ගලික පැමිණිලි, විශාල ප්‍රමාණයක් පොලිසියට, මානවහිමිකම් කොමිසමට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ වන තුරු නිවැරදි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මේ දක්වා ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ජනතාව දඩයම් කිරීමක් පටන්ගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති මන්දිරයේ පැවැත් වූවා. එහිදී තමන්ගේ දේපළවලට ආරක්ෂාව නොදුන් බවට පොලිස්පතිට බැනවැදී තිබුණා. පොලිස්පති එහිදී ඒ මන්ත්‍රීවරුන්ට පිළිතුරු දෙමින් ඒ ඒ පොලිස් ස්ථානවලට ප්‍රධාන නිලධාරින් පත් කළ ආකාරය ගැන ලැයිස්තුවක්ම ඉදිරිපත් කර තිබුණා. අදාළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා මගින් කළ ලිඛිත ඉල්ලීම්වලට අනුව පොලිස් ස්ථානාධිපතිවරු පත්කළ බව පෙරලා උත්තරදී තිබුණා. පොලිස් ස්ථානවලට පොලිස් ස්ථානාධිපතිවරු පත්කර තිබෙන්නේ ස්වාධීන ක්‍රමවේදයකට නොවෙයි. මුළුමනින්ම දේශපාලන අවශ්‍යතාවයන් මතයි. පොලිස්පතිවරයා එතන කියලා බැහැ. රටේ ජනතාවටත් ඉක්මනින් දැනගන්න ප්‍රකාශ කළ යුතු බව අපි අවධාරණය කරනවා. ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ අවශ්‍යතාවය මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම පොලිස්පති සිදුකළ බරපතළ වරදක්. පොලිස්පති අපක්ෂපාතීව කටයුතු කර නැහැ.”
“දවස් හතක් ගියා එකෙක් අත්අඩංගුවට ගත්තෙ නෑ”
“මෙවැනි සිදුවීම් ඇතිවෙන්නේ සහ වර්ධනය වෙන්නේ කොහොමද කියලා මේකෙන් පැහැදිලියි. පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා මැරයන්ට යන්න ඉඩ දෙන්න කියලා නියෝග දෙනවා නම් ජනතාවගේ ආරක්ෂාව සැපයෙන්නේ කොහොමද? මෙවැනි ඛේදනීය තත්වයක් ඇති වුණේ මේවගේ කරුණු මූලික කරගෙන. සාධාරණය ඉෂ්ඨ නොවන නිසා තමයි තරුණයෝ ‘සිස්ටම් චේන්ජ්’ එකක් ඉල්ලන්නේ. මැරයන් මෙහෙයවූ මහ මොළකරු මහින්ද රාජපක්ෂ. ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, යන මන්ත්‍රීවරුත් හිටියා. මිලාන් ජයතිලක පොල්පිත්තකින් පහර දෙන හැටි වීඩියෝ පටවල තිබෙනවා. ඔහුත් එක්ක යන මැර කණ්ඩායම් තරුණ කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ පට තිබෙනවා. තවත් පරීක්ෂණ කර කර ඉන්න දෙයක් නැහැ. නමුත් ප්‍රාදේශීය සිදුවුණු ක්‍රියා පිළිබඳව වේගයෙන් අත්අඩංගුවට ගන්නවා. මේ විදිහට අත්අඩංගුවට ගන්නේ පසුගිය කාලයේ ප්‍රාදේශීයව උද්ඝෝෂණවල සිටි කැපී පෙනෙන ක්‍රියාකාරකයින්. අපක්ෂපාතීව මේ සියලු සිදුවීම්වලට අදාළව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නවවැනිදා ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධව දවස් හතක් යන තුරු එක් අයෙක් අත්අඩංගුවට ගන්න අතර ඊට පසු සිදුවීම්වලට 230ක් අත්අඩංගුවට අරගෙන.”
“දේශබන්දු තෙන්නකෝන්ව මුදුනා කරගෙන පරීක්ෂණ කරලා වැඩක් නැහැ”
“සාමකාමී අරගලයට ගහපු මැරයන් ගැන තොරතුරු දෙන්න කියලා ජනතාවට කියනවා. නමුත් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ දේපළවලට හානිකිරීම් ගැන චෝදනා කරලා උද්ඝෝෂකයන්ව අත්අඩංගුවට ගන්නවා. මේක විකාරයක්. ආණ්ඩුවටත් පොලිස්පතිවරයාටත් අපි බලකරන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වන්න කියලා. පක්ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් ජනතා කෝපය තවත් වැඩිවෙනවා. ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටෙන තත්වයට පත්වෙනවා. සාධාරණය, යුක්තිය ඉටුනොවන්නේ නම්, ඇත්ත වගඋත්තරකරුවන්ව අත්අඩංගුවට නොගෙන ගෙනයන ක්‍රියාමාර්ගවලට විරුද්ධව ජනතාව නැගීසිටිනවා. අපි ආණ්ඩුවට බලකරන්නේ ගෝල්ෆේස් සාමකාමී විරොධතාකරුවන්ට ප්‍රහාර එල්ලකළ මැරයන් ආරක්ෂාකරන මේ ක්‍රියාමාර්ග ජනතාව අනුමත කරන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ මිරිස්කුඩු ප්‍රහාරය එල්ලකිරීම, පුටුවලින් පහරදීම, සම්බන්ධ වීඩියෝ පට මුළු ලෝකයම දැක්කා. නමුත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දේශපාලන හයිය තියෙන අයට එක නීතියකුත් සාමන්‍ය ජනතාවට එක නීතියකුත් ගෙනයන ක්‍රමය වෙනස් කරන්න කියලා උද්ඝෝෂණය කරන්නේ ඒ නිසයි. රනිල් වික්‍රමසිංහ අගමැති කළා කියලා මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය විදිහට අපි ජනාධිපතිවරයාට බලකරන්නේ ගෝල්ෆේස් පිටියට මැර ප්‍රහාරය එල්ල කළ මහමොළකරු ඇතුළු සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අනිකුත් සියලු සිදුවීම්වලට අදාළ අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න කියලයි. දේශබන්දු තෙන්නකෝන්ව මුදුනා කරගෙන පරීක්ෂණ කරලා වැඩක් නැහැ. ඔහු වගකිවයුතු ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ඔහුටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාවන තිලකරත්නටත් බාරදීමෙන් සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. විනිවිද පෙනෙන පරීක්ෂණයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.”

Leave a Reply

Your email address will not be published.