“මැර ප්‍රහාරය එල්ල කළේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර
“ප්‍රචණ්ඩත්වයට විරුද්ධ සංවිධානයක සාමාජකයෙක් හැටියටත්, නීතිගරුක පුරවැසියෙක් හැටියටත්, අපේ රටේ පොලිස්පතිතුමා අමතා වචන කිහිපයක් කියන්න මට අයිතියක් තියෙනවා. ඒ වගේම පසුගිය 09 වැනිදා සහ ඊට පසුව ඇති වූ සියලු විනාශයන් නිර්මාණය කිරීමට ප්‍රධානත්වය ගත් රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් බලයේ සිටීම මේ රටේ ජනතාව කිසිසේත්ම පිළි නොගන්නා බවත් කියන්න ඕනෑ. අඩුම වශයෙන් 09වැනිදා ප්‍රහාරයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි බව ඔප්පුවී තිබෙනවා. ඒ නිසා ඔහු තවදුරටත් රූකඩ ආණ්ඩු අටවන්නේ නැතිව, ඒ ආණ්ඩු හදාගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පවරා වහාම ජනාධිපති ධුරයෙන් ඉවත්විය යුතු බව අවධාරණය කරනවා.”
“මැර ප්‍රහාරය එල්ල කළේ අරලියගහ මන්දිරයට මිනිසුන් කැඳවූ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්. ඔහුත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අයත් ප්‍රචණ්ඩත්වය මතුකර, කතා පැවැත්වූවා. මහින්ද අගමැතිකමින් ඉවත්වීමත්, ඒ වගේම ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට විදේසගතවීම තහනම් කර, අධිකරණ නියෝගයක්දී තිබෙනවා. එයින් කියැවෙන්නේ ඔවුන් රටින් පිටවීම තහනම් කිරීමට තරම් වරදක් කර ඇති බව උසාවිය පිළිගෙන තිබීමයි. උසාවිය නම්කළ අයගෙන්වත් කටඋත්තරයක් ගන්න තරමටවත් පොලිස්පතිවරයා පොලිසිය මෙහෙයවා නැහැ. බලයේ සිටින පක්ෂයේ නියෝගය අනුව වැඩකිරීමයි පොලිස්පති කර තිබෙන්නේ. ඔහුට අණදුන් ප්‍රධාන පුද්ගලයෝ අද ඉන්නේ රටෙන් එපිට තිබෙන දූපතක නාවික හමුදාව යටතේයි. පොලිස්පතිවරයා තාමත් සේවය කරන්නේ එහෙම අයටද කියලා අපි අහනවා. ඒ කවුරුන් හෝ පොලිස්පතිවරයා ආරක්ෂා කරන්න එයි කියලා හිතනවා නම්, ඒක තමන්ගේ ඉරණම තීරණය කර ගැනීමක්. ගෝල්ෆේස් පිට්ටනියට කඩා වැදුණු මැරයන් ඉතාමත් පහසුවෙන් වැළැක්වීමට පොලිසියට හැකියාව තිබුණා. නමුත් එසේ නොකර ප්‍රහාරයට ඉඩදී සිටියා. පූජකයින්ට පවා පහරදුන් අවස්ථාවල පහළ පොලිස් නිලධාරීන් ඒවා වළක්වන්න උත්සාහ කළා. ස්ත්‍රීන්ට, තරුණයන්ට පහරදුන් ආකාරය පුවත්පත්වල, විද්‍යුත් මාධ්‍යවල තිබුණත් ඒ කිසිම දෙයක් පොලිස්පතිවරයා දකින්නේ නැහැ. ඔහු වහාම ක්‍රියාත්මකවී තිබෙන්නේ ප්‍රාදේශීයව උද්ඝෝෂණය කළ පිරිස් අත්අඩංගුවට ගන්නයි.”
“මේ ආකාරයේ ඉතිහාසයකුත් තිබෙනවා. 83 කළු ජූලිය අවස්ථාවේ ද්‍රවිඩ ජනයාට පහරදී මරාදමමින් දේපළ කොල්ලකමින් දියත් කළ ජාතිවාදී මැර ප්‍රහාරයේ සංවිධායකයන් එදා එළිපිට දැක්කා. නමුත් ඒ වගකීම වාමාංශික පක්ෂවලට පටවන්න එදා සිටි ධනේශ්වර පාලකයන් ක්‍රියාකළා. මිරිහාන උද්ඝෝෂණය ගැනත් එදා සිටි ඇමති ප්‍රසන්න රණතුංග රටට කීවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩ ක්‍රියාකළ බවට සාක්ෂි තිබෙන බවයි. ඒ සාක්ෂි තියනවා කියන ඒවා තාමත් ඔප්පු කර නැහැ. අද ක්‍රියාත්මක වන දේ ගැනත් මේ ආකාරයටම කියයි. ධනේශ්වර ආණ්ඩුවල පැවැත්මේ ප්‍රධාන ලක්ෂණය මේකයි. නමුත් මේ අයට අඩුම වශයෙන් මන්ත්‍රීකමක්වත් කිරීමේ හැකියාව අනාගතයේදී ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන්වත් නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කරන ලෙස බලකරනවා. එසේ නොකර රූකඩ ආණ්ඩු ඇටවීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, ජනතාව සාමකාමී උද්ඝෝෂණ තවදුරටත් ශක්තිමත් කරන්න සහභාගී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.