“ගෝඨා ගෝ ගම ප්‍රහාරය වලකන්න ඉහළ බලධාරීන් දෙදෙනක් මට ඉඩ දුන්නෙ නෑ”

රටම ගිනි තබමින් පසුගිය 09 වනදා කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට එල්ල වන ප්‍රහාරය පාලනය කිරීම සඳහා තමා යොදා තිබූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන් දෙදෙනකු ඉඩ නොදුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කර තිබෙන බව වාර්තා වෙයි.
පසුගිය 13 වන සිකුරාදා මානව හිමිකම් කොමිසම ඉදිරියේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ කරුණු අනාවරණය කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉහත බලධාරීන් දෙදෙනා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර අවශ්‍ය මොහොතේ එල්ල නොකරන ලෙස තමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට බලපෑම් කළ බවත් ඔහු මෙහිදී හෙළි කර තිබේ.
එසේ වූවේ තමන් අවශ්‍ය ප්‍රමාණයට පොලීසිය සහ විශේෂ කාර්‍යයය බලකාය කැඳවා තිබූ බවත්, ජල විඳින රථ දෙකක්, කදුලු ගෑස් ඇතුළු කැරලි මර්දන නිලධාරීන් දෙසීයකට අධික පිරිසක් ගාලු මුවදොරට කැඳවා තිබූ තත්වයක් මත බවද පවසයි.
එහිදී වූ ප්‍රමාදයත් සමගම කලහකාරී පිරිස් බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කරමින් ගාලුමුවදොර පිටියට ඇතුලු වූ බවත්, තමා ජනපතිවරයාට තත්ත්වය පැහැදිලි කළ පසුව බලධාරීන්ගේ බලපෑම් නොතකා කඩිනමින් පිරිස විසුරුවා හැරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බවත් දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පවසා තිබේ.
තව ද එම ප්‍රහාරය හේතුවෙන් ගෝඨා ගෝ ගම තුළ තිබූ ඉදිකිරීම් 186 න් 26කට පමණ හානි සිදු වූ බවත් ගෝඨා ගෝ ගම රැඳී සිටි පුද්ගලයින් 400 වැඩි ප්‍රමාණයකගෙන් 43 දෙනෙකුට පමණක් තුවාල සිදු වූ බවටත් කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය හටගත් විගස මෙම බලධාරීන් දෙදෙනා තමාට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීමට බාධා නොකළේ නම් මෙම ව්‍යසනය සිදු නොවන බව ඔහු විසින් කොමිසම හමුවේ කියා ඇත.
සිය ප්‍රකාශය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලේඛන සහ තාක්ෂණික වාර්තා කිහිපයක් ද මානව හිමිකම් කොමිසමට ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සැලැස්ම යටතේ රාජකාරීයේ යෙදවූ ඕනෑම පොලිස් නිලධාරියෙකු කැදවා විමසන ලෙස ද කොමිසමෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.