ජයලත් මනෝරත්න මනුසඳ සැරිය…

Read Time:10 Minute, 27 Second

නුවරඑළිය, හේවාහැට කඳු පාරවල් දිගේ මීදුමෙන් වැහුණු උදෑසන දෑතේ පිපෙන හිරිගඩු මඟහරිමින් රිට්ලන්ඞ් වතු සමාගමට අයත් ලොරි රථයක් පදවන රියැදුරෙක්. තම පවුලට අලු‍තෙන්ම එකතු වෙන්න හදන දරු පැටියා ගැන සිහින මවමින් ලොරි රථ රියැදුරා දවස ගෙව්වා. සමහර දුර ගමනක් ගිය දවසට දවස් දෙක තුනකට ගෙදර එන්න ලැබෙන්නෙ නෑ. එහෙම දවස් ගෙවුණෙ හිතේ දෝමනස්සයත් එක්ක.

ඒ 1948 වසරේ ලංකාවට නිදහස ලැබිලා මාස කීපයයි. රිට්ලන්ඞ් වතු සමාගමේ ලොරි රථ රියැදුරෙක් වූ කෙහෙල්ගස්පේ මනතුංග බණ්ඩාරත්, අගලකොටුව හේරත් මුදියන්සෙලාගේ ලීලා කුමාරිත් දෙදෙනා තම පවුලට ලැබෙන හයවැනි දරුවා ගැන සතුටින් උන්නා.

දෙහිපේ ගම්මානයට වෙනදා වගේම කඳු අතරින් ලස්සනට ඉර පායලා ආවා. මීදුම ඈතට ඈතට පාවෙලා යද්දි, ඈත තුරු මුදුන් ඉර එළියෙන් නැහැවුණා. තුරු අතරින් නොයෙක් වන මල් පීපී සැලු‍ණා. ඒ 1948 ජූනි මස 12 වෙනිදා.

අයියලා තුන්දෙනෙකුටත්, අක්කලා දෙන්නෙකුටත් පුංචි මල්ලියෙක් උපන්නා.

කෙහෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න ලෙසින් පවුලේ බාලයට නම් ලැබුණා.

ජයලත්ගෙ පියා රියැදුරකු ලෙස රාජකාරි කළ නිසා නිතර ගෙදර රැඳුණෙ නෑ. ගෙදර දරුවන්ගෙ වැඩ කටයුතුත්, කුඹුරෙ, වත්තෙ වැඩ කටයුතුත් කළේ ජයලත්ගෙ අම්මා. හීතල හිරිගඩු ගතේ පිපෙන හිමිදිරියේ ජයලත්ගෙ අම්මා මහ පොළොවත් එක්ක හරි හරියට වැඩ කළා.

පළාතේ බොහෝ අය දරුවන් උස් මහත් වෙනකොට කුඹුරටත්, වත්තෙ වැඩටත් හුරු කරද්දී, ලීලා මෑණියන්ට ඕනෑ වුණේ තම දරුවන්ට කෙසේ හෝ ඉහළටම උගන්නන්න. ඒ වෙනුවෙන් ඈ ඉතා දුෂ්කර මෙහෙයක් කළා.

ජයලත්ගෙ මුල්ම පාසල වුණේ දෙහිපේ ප්‍රාථමික පාසල. කුඩා කල සිටම පොත පත කෙරෙහි උනන්දු වූ ජයලත් දෙහිපේ ප්‍රාථමිකේ දීප්තිමත් දරුවෙක් වුණා.

ජයලත්ගෙ පියා හොඳ කලා රසිකත්වයක් තිබූ ගමේ අහිංසක මනුස්සයෙක්; සංගීත ලෝලියෙක්. ගෙදර නිදහසේ ඉන්න හැන්දෑවට ජයලත්ගෙ ගෙදර සංගීත සාජ්ජෙක සිරි මැවුණා.

ජයලත්ගෙ තාත්තාගෙ සර්පිනාවත්, ඩොල්කියත් ඒ වෙලාවට කලඑළි බහිනවා. දරුවො හය දෙනා වට කරගෙන ජයලත්ගෙ පියා ගී ගයනවා. නාට්‍ය ගීත හා පැරැණි ග්‍රැමපෝන් ගීත ජයලත්ට කුඩා කල සිටම කටපාඩම්. අහල පහළ අයත් මේ සංගීත සාජ්ජෙට ගෙදරට එනවා.

ජයලත් දෙහිපේ ප්‍රාථමිකෙන් ශිෂ්‍යත්ව විභාගය සමත්ව 1959 වසරේ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වෙනවා. එහි නේවාසික ශිෂ්‍ය දිවිපෙවෙත ජයලත්ට අලු‍ත් අත්දැකීමක් වුණා.

කුඩා කල සිටම ගායනයට දස්කම් දැක්වූ ජයලත් පොරමඬුල්ල විද්‍යාලයේ දීත් කැපී පෙනෙන ශිෂ්‍යයකු ලෙසින් ගුරු හිත් දිනාගන්නවා.

පාසල් මලල ක්‍රීඩා තරගවලට යොමු වී ක්‍රීඩා කළ ජයලත් මීටර 100 සහ 200 තරගවල දී විශේෂ දස්කම් දැක් වූ අතර, කලා කටයුතුවල දීත් කැපී පෙනුණා. ඒ නිසා ම පාසලේ සංගීත ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්ද මහතා ජයලත්ගේ කලා හැකියාවන් හඳුනා ගනිමින් ඔහු ඒ සඳහා යොමු කරනවා.

‘අස්ස ගුඩුං’‍ පාසල් නාට්‍යය සඳහා ජයලත් තෝරා ගන්නේ ශ්‍රියානන්ද ගුරුතුමා. ‘‍අස්ස ගුඩුං’‍ පළාත් ජයග්‍රහණ රැසක් ලබාගෙන මධ්‍යම පළාතේ හොඳම නාට්‍යය බවට පත් වුණා. ඉන් පසු ‘අස්ස ගුඩුං’ කොළඹ ‘ලු‍ම්බිණි’ රඟහලේ වේදිකාගත කරන්න එන නාට්‍ය කණ්ඩායමත් සමඟ ජයලත් පළමුවරට කොළඹ එනවා.

එහි දී ජයලත් ‘‍අස්ස ගුඩුං’‍ රඟපෑම වෙනුවෙන් සම්මාන ලබනවා. ඒ 1960 වසරේ.

ජයලත්ට නාට්‍ය ආභාසය ලැබෙන්නෙ ගමේ කමතෙ, පන්සලේ රඟදැක්වූ ‘සොකරි’, ‘සඳ කිඳුරු’ නාඩගම් හරහා. රෑ පුරා ගමේ රඟදැක්වෙන නාට්‍ය බලන්න ජයලත් කුඩා කල සිටම දැඩි ආශාවක් දැක්වූවා.

පොරමඬුල්ල මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 1966 වසරේ. පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතය ජයලත්ගේ ජීවන ගමනේ අපූරු තැනකට යොමු කරනවා. එහි දී මුණ ගැහෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නිසාම ජයලත් කලාව පිළිබඳව තව තවත් උනන්දු වෙනවා.

සරසවි දෙවන වසරේ දී ‘පේමතී ජායතී සෝකෝ’‍ නාට්‍ය සඳහා ජයලත් තෝරා ගැනෙනවා ඉන් පසු සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’, ‘වෙස්සන්තර’, ‘කදාවළලු‍’, ‘එලොව ගිහින් මෙලොව ආවා’‍ නාට්‍ය හරහා ජයලත් මනෝරත්න නාට්‍ය දිවියට ප්‍රවේශ වෙනවා.

මනෝරත්න 1970 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නික්මෙන්නෙ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන. ඉන්පසු මනෝරත්න හඟු‍රන්කෙත තිස්සපෑල පිරිවෙනේ භූගෝල විද්‍යා ගුරුවරයකු ලෙස ඉතා කෙටි කලක් සේවය කර, 1972 වසරේ නුවරඑළිය කච්චේරියේ අනියම් ලිපිකරුවකු ලෙස සේවය කරනවා.

ඔහු කොළඹට මාරුවක් ගෙන එන්නෙ එහි දී මුණ ගැහුණු විශ්වවිද්‍යාල මිතුරකු වන නිශ්ශංක දිද්දෙනියගේ ඉල්ලීම මත.

කොළඹ ජීවිතයට හුරු වෙන මනෝරත්න හෙන්රි ජයසේනගේ නාට්‍ය පාඨමාලාව හදාරනවා. එයින් හෙන්රි ජයසේන හඳුනා ගැනීමත් මනෝරත්නගේ නාට්‍ය දිවියට එළියක් වුණා.

මනෝරත්න 1973 වසරේ ‘මකරා’ ‍නාට්‍යයේ පූසාගේ චරිතය සමඟින් නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරේ තම නම සටහන් කර ගන්නවා. 1974 වසරේ ‘‍රතු හැට්ටකාරී’‍ නාට්‍යය මනෝරත්න තම දස්කම් දැක් වූ නිර්මාණයක් වුණා.

මනෝරත්න විසින් ලියා අධ්‍යක්ෂණය කළ නාට්‍ය පෙළක් ජනතාව අතරට පත් කරනවා.

1985 ‘පුත්‍ර සමාගම’, 1988 ‘තල මල පිපිලා’, 1990 ‘සොක්‍රටීස්’, 1991 ‘ද්විත්ව’ යන නාට්‍ය සඳහා මනෝරත්න සම්මාන ලබා ගත්තා.

‘තල මල පිපිලා’, ‘අන්දරේලා’  සහ ‘ගුරු තරුව’ නාට්‍ය පිටපත් සඳහා මනෝරත්න රාජ්‍ය නාට්‍ය උලෙළේ දී සම්මානයට පාත්‍ර වුණා.

  • මහගිරිදඹ
  • පුත්‍ර සමාගම
  • තල මල පිපිලා
  • ගුරු තරුව
  • අන්දරේලා
  • ලෝකය තනි යායක්
  • මකරා
  • බූරුවා මහත්තයා
  • සෙල්ලං නිරිඳු

මනෝරත්නයන් පිටපත් ලියා නිෂ්පාදනය කළ නාට්‍යය.

මනෝරත්න මුලින්ම ලේඛන කලාවට යොමු වන්නේ 1971 වසරේ. ‘දොළොස් මහේ පහන’ නම් වූ කාව්‍ය සංග්‍රහය මනෝරත්න, සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පත්ති සමඟ එක්ව එළිදැක්වූ කාව්‍ය නිර්මාණ එකතුව.

ඉන් පසු “‘දවස තාම තරුණයි’ නමින් නවකතා පොතක් ද, කෙටිකතා කෘති හා නාට්‍ය පිටපත් කෘති කිහිපයක් ද සාහිත්‍ය ලොවට එක් කර ඇත.

මනෝරත්න සිනමාවට පිවිසියේ, 1979 වසරේ දී ය. ඒ ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා’‍ සිනමා පටයෙනි. ඉන් පසු

  • සිරිබෝ අයියා
  • හිත හොඳ චණ්ඩියා
  • මංගල තෑග්ග
  • ස්ත්‍රී
  • උමයංගනා
  • සිසිල ගිනි ගනී
  • පුංචි සුරංගනාවි
  • සුදු කළුවර
  • සූරිය අරණ
  • ප්‍රේමවන්තයෝ
  • ගිනි කිරිල්ලී
  • හිරිපොද වැස්ස
  • භේරුණ්ඩ පක්ෂියා
  • සිරි රජ සිරි
  • වලා පටල
  • බිංදු
  • බඹර වළල්ල
  • හෝ ගානා පොකුණ
  • ගෝල්

යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී ඇති මනෝරත්නයන් ‘සුදු කළුවර’ – 2004 හා ‘භේරුණ්ඩ පක්ෂියා’ – 2007 සඳහා හොඳම සහාය නළුවා වශයෙන් සම්මානයට පාත්‍ර විය.

2014 වසරේ Global Biascope International film festival හි දී ජයලත් මනෝරත්නයන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූයේ (මෙතෙක් තිරගත නොවූ) ‘‍සූවිසි විවරණ’‍‍ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. මින් පෙර ජෝ අබේවික්‍රම (පුරහඳ කළුවර), ජගත් චමිල (සැමීගේ කතාව) ලත් සම්මානවලින් පසු ශ්‍රී ලාංකේය සිනමා ශිල්පියකු හොඳම නළුවා ලෙස ලැබූ එකම සම්මානය මෙය වේ.

වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි තිරය ද මනෝරත්නයන් ගේ රංගන කෞශල්‍යය ඔප්නැංවූ මාධ්‍යයකි.

  • සෙක්කු ගෙදර
  • රන්සිරි⁣ගේ සංග්‍රාමය
  • මගෙ කවිය මට දෙන්න
  • මහ පොළොව අපේ නොවෙයි
  • තුන්පත් රටාවක ලස්සන
  • සූරිය කුසුම
  • ඊ ළඟට මොකද වෙන්නේ
  • රිදුණු තැන් බොහොමයි

මනෝරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයන්ය.

‘ඇසළ සඳ‘, ‘රෝද තුනේ මනමාලයා’ මනෝගේ රංගනයෙන් අලංකාර වූ ටෙලි නාට්‍ය දෙකකි.

අනියම් ලිපිකරු තනතුරකින් සිය ජීවන වෘත්තිය ආරම්භ කළ ජයලත් මනෝරත්නයන් මහවැලි අධිකාරියේ ඉහළ තනතුරක් දක්වා රාජ්‍ය සේවයේ නිරත වෙමින් වසර දහසයක රාජ්‍ය සේවා කාලයකින් පසුව පූර්ණකාලීනව කලාව වෙනුවෙන් කැප විය.

වේදිකාව, සිනමාව හා රූපවාහිනිය එකසේ ජය ගනිමින් ඔහුගේ නමේ අරුතින්ම මනෝ ‘ජයලත්’‍ මිනිසෙකි. ලාංකේය සාහිත්‍ය වංශයට ඔහු රත්නයකි.

මංජු නැදගමුව

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post බුද්ධි අංශ පෙන්වමින් ආණ්ඩුව මර්දනයක
Next post මිනිස් ජීවිත, බීමට වතුර ! අධිකරණ තීන්දු !!