ලෝක නර්තන දිනය අප්‍රේල් 29 හා 1990 නර්තන දින සැමරුම

අද 2022 ජාත්‍යන්තර නර්තන දිනයයි මෙවර එය සමරන්නට සිදුවන්නේ වසර දාහතක් තිස්සේ මේ රටේ සියලු සම්පත් මුළුමනින් අනුභව කළ බලකාමී චෞර පවුලක් මෙන්ම රටේ ජනතාව ද සුප්‍රකට “මරණයේ නර්තනයේ” යෙදී සිටින තීරණාත්මක අවදිය ක දී ය.
පහත පළවන්නේ මිට වසර දෙකකට පෙර ලියන ලද්දකි
අද 29 ජාත්‍යන්තර නර්තන දිනයයි.නර්තනය වෙනුවෙන් අප්‍රේල් 29 දා යොදාගනු ලැබුවේ ප්‍රංශයේ සිටි ප්‍රධාන පෙළේ නර්තන ගුරුවරයෙකු හා න්‍යායාචාර්යවරයකු වූ “Jean Jorge Noverre” ගේ නර්තන දායකත්වය සිහි කිරීම උදෙසා UNESCO ආයතනය විසිනි.
1989 මුල් භාගයේ හදිසි අවස්ථාවක මෙවැනි නර්තන සදහා සැමරුම් දිනයක් ඇති බවක් ජර්මන් සංස්කෘතික ආයතනයේදී හමුවූ , “Tanz International” නම් සඟරාවෙන් මට දැනගන්න ලැබුනි. මා ඒ පිලිබදව සදහන් කර ,ඒ වසරේම අප්‍රේල් 29 දා දිවයින පුවත්පතේ “අපේ නර්තන සංස්කෘතියක අවශ්‍යතාව” නමින් ලිපියක් ලියා තැබුවෙමි.
ඉන් පසු ඊළඟ වසරේ ඒ වන විට මෙරට සිටි ප්‍රමුඛ පෙලේ තරුණ නර්තන ශිල්පීන් වූ කුලසිරි බුදවත්ත ,පියසාර ශිල්පාධිපති ,රවිබන්දු විද්‍යාපති, චන්ද්‍රි පීරිස්, චන්න විජේවර්ධන, මුදියන්සේ දිසානායක, උපේඛා චිත්‍රසේන, කේමා ද කොස්තා, උපුලි පනීභාරත යන ශිල්පීන් එක් කොට “මුද්‍රා” නමින් නර්තන සංවිධානයක් බිහි කරන්නට උත්සහ කලෙමි. උත්සාහය සාර්ථක වෙමින් මෙරට පළමුවරට ජාත්‍යන්තර නර්තන දිනය සමරන්නට අපට අවස්ථාව ලැබුණි.1990 අප්‍රේල් 29දා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී “ජවනිකා ” නම් නර්තන ප්‍රසංගයක් පවත්වන්නට අපට හැකි වූ අතර ඉහත කී නර්තන ශිල්පීන් මෙරට පළමු වරට එකට එක්ව එකම වේදිකාවකදී තම නිර්මාණ ඉදරිපත් කළේ එදිනය. ඊට සමගාමීව එදිනම “ජවනිකා” නමින් ජාත්‍යන්තර හා දේශීය වේදිකා නර්තනයේ විකාශනය දක්වන චායාරූප , වීඩියෝ හා මුද්‍රිත රචනා සහිත මාධ්‍ය ප්‍රදර්ශනයක් ජාතික කලාභවනේ දී පවත්වන්නට මට අවස්ථාව ලැබුනි. මෙරට ජාත්‍යන්තර නර්තන දිනය සැමරීම ආරම්භ වූයේ මේ ප්‍රසංගයෙන් පසුවය.
“මුද්‍රා ” නමින් අප ආරම්භ කල සංවිධානය ඉන් පසුව බිඳ වැටී ගිය අතර සියල්ලෝ කෙමෙන් තම පුද්ගලික නර්තන භාවිතාවන් වලට එක් වූහ.
– මනුබන්දු විද්‍යාපති

සබැඳි

Leave a Reply

Your email address will not be published.