මහ මෙහෙවරක පුරෝගාමිනිය බාබාරා සන්සෝනි ද නික්ම ගොසිනි

ලංකාවේ බර්ගර් ජන ප්‍රජාවේ ජව සම්පන්න කාන්තාවක වූ ඇය සිය ලාංකීය වර්ගයාගේ අනෙකුත් දැවැන්තයින් මෙන්ම මහ මෙහෙවරක පුරෝගාමිනිය වූවාය.
1990 ගණන්වල මුල් භාගයේ මගේ ‘වනසපු මල’ නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය වන Hostage City හි පිටපතක් ඇයට පිරිනැමුවේ මගේ මතකයේ හැටියට මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ දිරි දීමක් අනුවය. එහෙත් කවදාවත් ඈ දැන හඳුනා ගැනීමට අවස්ථාවක් මට නොලැබුණි. මා පළමු වරට ඇගේ මහිමාව දැක්වෙන කලාත්මක ගෘහය වන Barefoot ගැලරියට ගියේ එක්කෝ හැරල්ඩ් පීරිස් සමග හෝ මහාචාර්ය ජගත් වීරසිංහ සමගය.
එකළ ජගත් අපට අපගේ සිතුම් පැතුම් වලට නවමානයක් හඳුන්වා දෙමින් සිටි අවධියකි. ඒ ග්‍රාමීය සෞන්දර්ය පමණක් නොව නාගරික සෞන්දර්යයක්ද ඇතැයි යන්නයි. එකළ ලාංකිකයාට නවතම අත්දැකීමක් වූ Majestic City ඉදිව, මහජනයාට විවෘත වූ සමයයි. කොළඹ නගරයේ සම්භාව්‍ය චිත්‍රපට පෙන් වූ එකළ හැටියට සුව පහසු එකක් වූ මැජෙස්ටික් සිනමාහල කඩා දමා ඒ මත ඉදිවූ මේ Majestic City ය ප්‍රහේලිකාත්මක නමුත් නව සමාජ මානයක් අපට වටහා ගන්නට මාහැඟි උදාහරණයක් විය. නව Majestic City ය තුලත් සෞන්දර්යය ඇතැයි ජගත් අපට හිතන්නට පෙළඹුවෙිය.
ඒ වන තුරු මට නම් මහා සැනසුමක් ගෙන දුන් ප්‍රධාන සංස්කෘතික ගෘහය වූයේ ශ්‍රී දළදා මාළිගාවයි. දළදා මාළිගාව යනු ධූරාවලිගත සමාජ ක්‍රමයක සංස්කෘතික නිරූපනයක් වන්නාසේම ‘අතීතය වඩාත් ලස්සණයි’ යන්න මත අප රඳවන හබකයක්ද වන්නේය. එය පුරාණ නාගරික ඉදිකිරීමක් වුවද එය අපේ යුගයේ දී, හද සනහන තැනක් වන්නේ අපේ දිවිසැරිය වටා දිවෙන ග්‍රාමීය මුල් නිසා ද විය හැකිය.
ජගත් හමුව අපේ මෙම ඒකමානීය දැක්ම වෙනුවට බහු මානීය දැක්මකට දොර විවර කළේය. ඇත්තටම මට මම හමුවන්නේ එතැන් සිටය. ‘ස්ථූපය බිඳ වැටීම’ කෙටි කතා සංග්‍රහය එහි එක ප්‍රතිඵලයකි. ඒ අතීත සමයේ ජගත් විසින් ඉතාම අර්ථවත් රස්තියාදුවකට අපව යොමු කළේය.
Barefoot ගැලරිය ඒ රස්තියාදුවට අපූරු සෞන්දර්ය තිප්පලක් විය. ජගත්ගෙන් චිත්‍ර කලා ඉතිහාසය ද, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යා න්‍යායද හදාරමින් සිටි අපට ඒවා එකිනෙක ගාටා බලන්නට අපගේ මෙම රස්තියාදුව වැදගත් විය. ඒ රස්තියාදුව වඩාත් අර්ථවත් කළේ ජගත් විසිනි.
Barefoot ගැලරිය විසින් ගැමි අත්කම් කලාවේ කටුකොහොල් අරවා එයට වටිනාකමක් ගෙන දුන්නේය. මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ හා සිංහබාහු මගින් සිංහල නාට්‍ය කලාවේ සැඟවුනු විභූෂිත බව පෙන්වා දුන්නේ යම් සේ ද බාබාරා සන්සෝනි මැතිනිය ලාංකීය අත්කම් කලාවට ද එම මෙහෙවරම සිදු කළාය.
Barefoot ගැලරිය වනාහි දළදා මාළිගාව හැරුණු විට මගේ සිත නිවන අනෙක් තැනයි. ගෘහ නිර්මාණ ශිල්පී හාස්කම්, ගැවසෙන පුරාණෝක්ති, රැඳුනු සිහිල් බව, අවට සිසාරා හමන මල් සුවඳ පමණක් නොව අපගේ නිදන්ගත ආගමික බවද දළදා මාළිගාව වෙත මා ආකර්ශනය කරවයි. Barefoot ගැලරිය විසින් මවන සිතුවම් , වර්ණාවලි හා ඡායාරූප හා අප අතර චිරකාලීනව තිබුණු බොහෝ දෑ ඒවා මනබඳන අයුරින් යළි ප්‍රති නිරූපණය කර ඇති අයුරු අපව වසඟ කරයි. ඒ වසඟයේ නිර්මාතෘවරිය බාබරා සන්සෝනි මැතිනියයි.
සංතාපය හා වියෝ දුක තුනී කරන්නට සන්සෝනි මැතිනියගේ සංකල්පගත කලා ගෘහය (Barefoot )මට බෙහෙවින් උපකාර වී ඇත. අපූරු ලෙන්ගතු සංලාපයන්ට ද එය තෝතැන්නකි. එතැන ඇත්තේ අපූරු නිදහස් වටපිටාවකි. මගේ ‘ප්‍රේමානිශංස’ නවකතාවේ සයුරු නම් චරිතයට වියෝ දුකින් ගොඩ එන මාවත පෑදෙන්නේ Barefoot ගැලරියේ දී ය. ඒ සයුරුගේ අත්දැකීම මගේම අතීත අත්දැකීම් හි ප්‍රතිඡායාත්මක නිරූපනයක්දෝහෝයි මට සිතේ.
ජීවිතය සනසන චරිත මුණගැසේ. ජීවිත සනසන චරිත වැනි ස්ථාන ද මුණගැසේ. Barefoot ගැලරිය මට එවැන්නකි.

මීට තිස් වසරකට පමණ පෙර Barefoot ගැලරිය මෙන් පරිසමාප්ත තැනකට තිබුණේ එයම පමණකි. ඊට කිට්ටුවෙන් හෝ තිබුණේ පැරඩයිස් රෝඩ් ගැලරියය. එහෙත් අද වන විට එවැනි තැන් බොහෝ ඇත. එහෙත් Barefoot ගැලරිය කියන්නේ නව සංස්කෘතික ෂානරයක නිජබිමය. එවැනි අපූර්ව තැනක් බිහිකරන්නට පරිකල්පන ශක්තියක් තිබූ කාන්තාව ශ්‍රේෂ්ටත්වයට පත් නොවන්නේ ද?
– චන්ද්‍රරත්න බණ්ඩාර


 

සබැඳි

Leave a Reply

Your email address will not be published.