පකිස්ථානය – ලෞකිකත්වය සහ ආගම් අතර නොනවතින ගැටුම අහෝ ඉම්රාන් ඛාන්

පකිස්ථානය අසමත් රාජ්‍යයකි. අසමත් රාජ්‍යයක දැකිය හැකි වංචාව, දූෂණය, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම, හමුදා තන්ත්‍රය සහ ආගමික පූජකයින් රාජ්‍යයට බලපෑම් කිරීම ආදී කී-නොකී සියල්ල පකිස්ථානයේ යහමින් තිබේ. ආර්ථිකමය ලෙස රට බංකොලොත් වී ඇති බව පසු ගිය දිනවල පකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේය.
බොහෝ දෙනා සිතා සිටින්නේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ පමණින් ඉම්රාන් ඛාන්ට රාජ්‍යයක් පාලනය කළ හැකි බවය. දේශපාලනය යනු රටක සමස්ථයයි. ක්‍රීඩාව යනු එහි එක් කොටසක් පමණි. ක්‍රීඩකයින්ට, නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට රටක් පාලනය කළ හැකි යයි සිතීම තුන්වන ලෝකයේ මිනිසුන් තුළ ඇති විශාලම දේශපාලන මුග්ධ කමයි.
ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් පසුව දීර්ඝ කාලයක් විපක්ෂ දේශපාලනයේ සිටිමින් දේශපාලන අත්දැකීම් ගත්තත් ඉම්රාන් ඛාන්ට පාලනය කළ නොහැකි ප්‍රධාන කොටස් දෙකක් එ‍රට දේශපාලනයේ වෙයි. එකක් ආගමික මුල්ලාවරුන්ගේ ආධිපත්‍යයි. අනෙක හමුදාවේ අධිකාරිත්වයයි. මේ කොටස් දෙක කියන-කියන පදයට නටනවා හැරෙන්නට ඉම්රාන් ඛාන්ට කළ හැකි අන් යමක් නැත. අනෙක් අතට ඉම්රාන් ඛාන්ට වුවද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිසි දැක්මක් නොමැති බව පෙනේ. 2020 වසරේ ප්‍රංශයේ ගුරුවරයකු සැමුවෙල් පැටී කිසියම් අන්තවාදියකු විසින් මරා දැමුණු විට, ප්‍රංශයේ නැග ‍එන ඉස්ලාමීය අන්තවාදයට දැඩි පියවර ගන්නේ යයි ප්‍රංශ ජනාධිපති Emmanuel Macron කී විට යථාර්තය පිළිගන්නට නොකැමැති වූ ඉම්රාන් ඛාන් හැසිරුණේ ආගමික ආලයෙන් පෙළෙන්නෙකු ලෙස මිස නවීන ලෝකයේ ලෞකික දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් වටහා ගත් අයකු ලෙස නොවේ. ඔහුගේ එම ආස්ථානය පකිස්ථානය පුරා ප්‍රංශ විරෝධී විරෝධතා වලින් ගිනියම්ව දින කිහපයකට රට අඩපන වන්නට හේතු විය.
බටහිර, පකිස්ථානය හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් බිහිකරණ භූමියක් ලෙසය. පකිස්ථානයේ ආගමික සංවිධාන වලට එරෙහිව පියවර ගන්නා විට විවිධාකාර විරෝධතා වලින් රට අරාජික තත්වයට පත්වේ. පකිස්ථානය ඉන්දියාව සමගත්, ඇෆ්ගනිස්ථානය සමගත් විවිධ ගැටුම් වල නියැලී සිටී. බංගලිදේශය සමගත් එතරම් යහපත් සබඳතාවන් පවත්වාගෙන යන්නේ නැත.
මිනිසුන්ගේ අධ්‍යාත්මික ජීවිතය, මරණින් මතු ජීවිතය ගැන ඉගැන්වීම සම්ප්‍රදායිකව ඕනෑම ආගමක් මගින් සිදු කෙරේ. එහෙත් එය මිනිසුන්ගේ ලෞකික ජීවිතය පවත්වාගෙන යන අන්දම උගන්වන්නේ නම්, ලෞකික ජීවිතය පාලනය කිරීමට නීති පනවන්නේ නම්, එය ආගමක් පමණක් නොව ආගමික දේශපාලනයක් ද වේ. ඉස්ලාමය තුළ මනුෂ්‍යයින් සහ මනුෂ්‍ය සමාජය පාලනය කිරීමේ නීති-රීති ද ඇත. එම නිසා එය ආගමක් පමණක් නොව ආගමික දේශපාලනයක් කියාද හැඳින්විය හැකිය.
ලංකාවේ ඇත්තේ ආගමික පාලනයක් නොවේ. එහෙත් රාජ්‍ය බුද්ධාගම ප්‍රමුඛ කොට සළකයි. භික්ෂූන් ද රාජ්‍ය පාලනයට බලපෑම් කරයි. රාජ්‍ය පාලනය භික්ෂූන්ට ලබා‍ දෙන්නෙ නම් ඔවුන් කියනා ලෙස ආගමික සම්ප්‍රදායන් ඔස්සේ රාජ්‍ය පාලනය ගෙන යන්නෙ නම් ලංකාවේ තත්වය පකිස්ථානයේ තත්වයට වුවද ගමන් කිරීමේ හැකියාව තිබේ. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව නීති-රීති සෑදුවොත් ලංකාවේ සිටින සුළු ජන වර්ග පීඩාවට පත්වන්නේ නැතිද? ලංකා රාජ්‍ය අනාගමික තත්වයක් තුළ තිබිය දීත් වරින් වර සුළු ජාතීන්ට හිරිහැර සහ හිංසාවන් සිදුවන වටපිටාවක් ඇත්තේ නම් එය ආගමික තත්වයකට පත් වුවහොත් දැඩි ආගමික අන්තවාදී තත්වයකට පත් නොවේ යයි කිව නොහැක. 1983ජු ලි කලබලය සහ එයින් පසුව ඇති වූ විවිධ ජාතිවාදී හිංසන මෙන් සිංහල අන්තවාදී කල්ලි සුළුතරයට එරෙහිව හිංසාකාරී ක්‍රියා ඇති නොවනු ඇතැයි සිතිය නොහැකිය.
ආගම සහ ලෞකිකත්වය අතර පෑහීමක් නැත. එය විසම්මුතිකය. ‍මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ පරිනාමය ගෙන බලන විට එය වසර දහස් ගණනකට කලින් වුවද එය පැවැතුනේ ලෞකිකත්වයට එරෙහිවය. අදත් එසේමය. පකිස්ථානය හැඳින්වෙන්නේ ඉස්ලාමීය ජනරජය නමිනි. ඉස්ලාමීය ෂරියා නීතිය එහි නීති පද්ධතිය සමග ගැට ගැසී ඇත. එහි වෙසෙන සුළුතර ප්‍රජාවන් වන හින්දු, ක්‍රිස්තියානි සහ අහමදියා මුස්ලිම් යන ජන කොටස් වලට මෙහි එන බ්ලැස්පෙමි නීතිය – ආගමට අපහාස කිරීමේ නීතිය ( Blasphemy ) ඉතා සාහසික ලෙස බලපායි. ඒ යටතේ ඉස්ලාම් ආගමට අපහාස කරා යන කියා චෝදනා කරණු ලැබුවහොත් ඒ පුද්ගලයා අධිකරණයට පමුණුවා චෝදනා විභාග කොට සිරගත කිරීම හෝ මරණ දඬුවම ලබා දිය හැකිය. ඒ නිළ ක්‍රමයයි. අනෙක් ක්‍රමය වන්නේ අන්තවාදී කල්ලි විසින් නීතිය අතට ගැනීමයි. පසුගියදා ශ්‍රී ලාංකිකයකු මරණයට පත් වන්නේ එවන් කල්ලියකගේ අතිනි. අනෙක් අතට මෙවන් කල්ලි අතින් ආගමට අපහාස කළ බව පවසමින් මිය ගිය පළමු වැන්නා ඔහු නොවේ.
ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පාලනය කිරීමේ දී උපරිම කාර්යක්ෂමතාව ලබා ගන්නට යන කළමනාකරුවකුට දැඩි නීති රීති යටතේ එය පාලනය කිරීමට සිදුවේ. එවන් විටක ඊට අකමැති පිරිස් ව්‍යාජ චෝදනා දමා ගසා දඬුවම් කිරීම් පකිස්ථානය වැනි රටක නොසිදුවන්නේ යයි කිව නොහැක. අනෙක් අතට පකිස්ථානය වැනි රටකට යන උගත් මිනිසෙකු එහි ඇති තත්වය නොදැන යනවා යයි කිව නොහැක. ඒ කවරක් වුවත් ආගමකට අපහාස කළා කියා නීතිමය වශයෙන් හෝ අන්තවාදී කල්ලි අතින් මිනිසුන්ට දඬුවම් කිරීම මේ නවීන යුගයේ මානව සමාජය ට ගැලපෙන්නේ ද?
පකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන්ගේ ආගමික සංදිහිඳියාව පිළිබඳ විශේෂ නියෝජිතයකු වන Tahir Ashrafi අල් ජසීරා වෙබ් අඩවියට පවසා ඇති පරිදි මෙම කළමනාකරුගෙන් පළි ගැනීමට කම්හලේ සේවකයින් ආගමට අපහාස කරා යන්න භාවිතා කර ඇති බවයි. මානව හිමි කම් ක්‍රියාධරයකු වන Mehnaz Rehman අල් ජසිරා පුවත් සේවයට කියා ඇත්තේ ව්‍යාජ ලෙස ආගමට අපහාස කිරීමේ සිදුවීමක් නිර්මාණය කොට මෙම කළමනාකාරවරයාට මරා දමා ඇති බවයි. එමෙන්ම ඔහු මරා දැමීමට මුල් වූ අයගෙන් ඔහු නිසි ලෙස වැඩ කරන ලෙස ඉල්ලා සිටි බවත් පැවසේ. මෙහි ඇති වඩාත් උත්ප්‍රාස ජනක තත්වය වන්නේ දැන් කළමනාකරුවා මරා දැමූ අපරාධකරුවන් සොයා යන ඉම්රාන් ඛාන් 2018 බලයට පත්වන්නේ ආගමික අපහාස නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටිමිනි. එය වෙනස් කිරීමට ගන්නා ඕනෑම උත්සහයක් පකිස්ථානය තුළ ලේ වැගිරීම් සහිත ප්‍රචන්ඩ ක්‍රියා ඇති වීමට හේතු වෙයි. මෙම තත්වය පාලනය කිරීමට ඉම්රාන් ඛාන්ට පවා නොහැකිය.
2021 අප්‍රේල් 21 යුරෝපා පාර්ලිමේන්තුව පකිස්ථානයේ මේ ආගමට අපහාස කිරීමේ නීතිය අවභාවිතා කිරීමට එරෙහි විශේෂ පණතක් සම්මත කරගත්තේ එ‍රට වෙසෙන ක්‍රිස්තියනි සුළුතරය මෙම ආගමට අපහාස කිරීමේ නීතිය මගින් මරණ දඬුවම ඇතුළු දඬුවම් වලට යටත් වීමෙන් පසුවය.
1947 පකිස්ථානය බි‍හිවෙද්දී එය ලෞකික රාජ්‍යයක් ( Secular state ) විය යුතු බව මොහොමඩ් අලි ජින්නා අදහස් කළ බව පෙනේ. නමුත් 1956 දී එය ඉස්ලාමීය රාජ්‍යයක් ( Islamic State) බවට පත්විය. 1972 ඉන්දියානු ක්‍රමය අනුව යමින් බංගලිදේශය ද ලෞකික රාජ්‍ය තත්වයක් නිර්මාණය කරගත්තේය. බංගලිදේශයෙත් නැගී එන ඉස්ලාම් අන්තවාදයක් කිසියම් මට්ටමකට ඇතත් එය ලෞකික තත්වය අතින් සහ ආර්ථික – ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අතින් පකිස්ථානයට වඩා ඉදිරියෙන් සිටී.
ආගම සහ ලෞකිකත්වය අතර පෑහීමක් හෝ දීගයක් නැත. ආගම රාජ්‍යයට බලපෑම් කරන ප්‍රමාණයට සහ ස්වභාවයට සාපෙක්ෂව ආගම සහ ලෞකිකත්වය අතර ගැටුම් ඇතිවේ. පකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයකුට අත්වන ඉරණම කියා පාන්නේ එයයි. අප කැමති වුණත් නැතත් සත්‍ය එයයි. පකිස්ථානයේ දෛනිකව ආගමික සංසිද්ධි වලින් හිංසාවට පත්වන හින්දු, ක්‍රිස්තියානි සහ අහමදියා මුස්ලිම් යන අයගේ කතාවන්ට සවන් දුනහොත් තත්වය තේරුම් ගත හැක. හිංසාවට ලක්ව ලංකාවට පළා ආ අහමදියා සරණාගතයින් සුළු ප්‍රමාණයක් ලංකාවේ ද සිටී.
පකිස්ථානය පුරා ඇති හතලිස් දහසකට ආසන්න මද්රාසා වල පූජකයින් කවරක් උගන්වන්නේ ද? ඒවායේ උගන්වන ආන්තික ආගමික අධ්‍යපනය ගැන විවිධ වාර්තා වැඩසටහන් නිර්මාණය වී තිබේ.
පකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන් මෙම සිදුවීම පකිස්ථානයට ලැජ්ජාව ගෙන දුන් දිනයක් බව ප්‍රකාශ කළේය. පකිස්ථානයේ බොහෝ වැසියන් සමාජ මාධ්‍ය හරහා මෙය හෙළා දකිමින් සිටී. පකිස්ථනායේ සිවිල් සමාජය මේ සිදුවීම හෙළා දකිමන් සිටී. දැනටමත් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන බව ඇත්තකි. එහෙත් ඉයින් පමණක් සමස්ථ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. හෙට ද මෙවන් තත්වයන් නිර්මාණය විය හැකිය.
ආගම රාජ්‍යයෙන් වියුක්ත විය යුතු බවත්‍ ලෞකික සමාජයක් පාලනය කිරීමට ආගමික නීති යොදා ගැනීම තුළින් ආගමික ආන්තික තත්වයන් නිර්මාණය වීමත් සුළුතරය හිංසාවට සහ පීඩාවට පත්විය හැකි බව පැහැදිලි කරුණකි. ආගමික සංසිද්ධි වලදී වලදී කිසියම් පුද්ගලයකුට දඬුවම් කිරීම කළ යුතු යයි උගන්වන්නේ කවු ද? එය කුමක් පදනම් කරගෙන එය උගන්වන්නේ ද? ඕනෑම සංසිද්ධියක එළය නොව එයට බලපාන හේතුව සොයා බැලීමෙන් ගැටළුවට පැහැදිලි විසඳුම් සොයා ගත හැක. පකිස්ථානයට ගොඩ යා හැක්කේ පූර්ණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීමෙන් පමණි. ඒ සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍යය. ඒ සඳහා නවීන අධ්‍යාපනය ශක්තිමත් ලෙස යොදා ගත යුතුය.
– අතුල දිසානායක (fb)

Leave a Reply

Your email address will not be published.