“ගෑස් සිලින්ඩර ප්‍රශ්නයටත් කමිටු, ජනාධිපතිවරයාගේ කමිටු නම් අපි මොනතරම් දැකල ඇත්ද”

අපේ රටත් පොදු ජනතාවත් සමග කරන මේ විගඩම, විහිළුකාරී පාලනය වහාම නතර කරන ලෙසත් රටේ ආර්ථික අර්බුදයට ඉක්මන් යෝජනාවලියක් ආණ්ඩුව විසින් රටට ඉදිරිපත් කළ යුතු බවත් එහෙම නොවෙන්නේ නම් තව මාස දෙක-තුනක් ඇතුළත රට විශාල අනතුරකට ඇද වැටෙන බවද අනුර දිසානායක පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක බත්තරමුල්ල, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (01) පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළකළේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන ගෑස් කාන්දුවීම් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
“ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන ගෑස් කාන්දුවීම් මගින් ස්ථාන ගණනාවක පිපිරීම් හා ගිනි ගැනීම් සිදුව තිබෙනවා. මේ වන විට නිවෙස් තුළ අවිනිශ්චිත තත්වයක් ඇති වී තිබෙනවා ජනතාව කියන දෙයක් තමයි ජාතික ආරක්ෂාව තහවුරු කරනවයි කියල බලය ගත්ත පාලකයා කුස්සියට යන්නවත් ආරක්‍ෂාව තහවුරු කරන්න අසමත් බව. ඒත් ඒක ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක්මත් නොවෙයි. මේ ගෑස් කාන්දුවීම් නිසා ස්ථාන ගණනාවක සිදුවීම් වාර්තා වෙලා තිබෙනවා. මේ සිදුවීම් පිලිබඳ විවිධ කතා පැතිරයමින් තිබෙනවා. දැන් සතියකට වැඩි කාලයක ඉඳල මෙම සිදුවීම් වාර්තා වෙනවා. වගකිවයුතු පාලනයක් කළ යුත්තේ එහෙමද. තාම විසඳුමක් දෙන්න අසමත් වෙලා තියනවා.”
“ජනාධිපතිවරයා කමිටු පත්කරනවා. ජනාධිපතිවරයාගේ කමිටු නම් අපි මොනතරම් දැකල ඇත්ද. කාබනික ගොවිතැන පිලිබඳ කාර්යසාධක බලකායක් පත්කළා බැසිල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් එක දවසක් රැස්වෙලා නෑ. කමිෂන් සභා වාර්තා හදනවා වාර්තා එලියට එන්නේ නෑ. ඒ නිසා මේවා හරහා වෙන්නෙ ප්‍රශ්ණ යටපත් කිරීම සහ ප්‍රශ්ණ මගහැරයාම පමණයි.
එහෙම නෙමෙයි මේ වෙලාවේ කළ යුත්තේ ජනතාවට ඇතිවෙලා තිබෙන බිය තුරන් කිරීමට කඩිනම් පියවර ගැනීම. ඒකට වේගවත් මැදිහත්වීමක් අවශ්‍යයි. දැන් මේ ගෑස් ප්‍රශ්නයට ජනතාවගේ විවිධ මත තියනවා. ආණ්ඩුව කල යුත්තේ මේ පිලිබඳ විශේෂඥයන් ගෙනල්ල පය 24 යනකොට අදාළ ප්‍රශ්ණයට නිසි පිළිතුරු ලබා දීම. හැබැයි එහෙම කරන්නේ ජනතාවගේ ජිවිතවලටත් ජනතාවටත් වගකියන පාලකයන් පමණයි. මේ පාලකයන්ට එවැනි කිසිදු වගකීමක් නැති බවයි මේ කමිටු ඇටවීමෙන් පෙනීයන්නේ.”

Leave a Reply

Your email address will not be published.