ජනාධිපති කළ සියලු වැරදි වලට සමාව ගනියි, නැවත සමාවගන්නා දිනය වැඩි ඈතක නොවේ

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන බවත් එනිසා ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.
මේ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මුල් කාලයේ යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.
මේ වන විට ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ඔහු පැවසුවේය .
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු ඒ අමාත්‍යවරුන් අමතමින් ජනාධිපතිවරයා මෙසේ පවසා තිබේ.
රජයෙන් අතපසුවීම් සිදුවූ බවත් එම අතපසුවීම් නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට තමා සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් සාකච්ඡා කර සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවද මෙහිදී පවසා ඇති අතර ඉන් ගම්‍ය වන්නේ ජනාධිපතිවරයා කයිවාරු ගසමින් ගෙනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ජානාධිපතිවරයාට සිදුවූ අතපසු වීමක් බවයි.
සියලු ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ඒවා බවට පත් කළ යුතු යැයිද බොහෝ ආයතන බරපතළ මූල්‍ය අර්බුද තත්වයක පවතින හෙයින් රැකියාවලින් ඒවා පිරවීමට කටයුතු නොකර රැකියා නිෂ්පාදනය කරන ආයතන බවට පත් පත් කිරීම අමාත්‍යවරුන් සතු වගකීමක් යැයිද ජනාධිපතිවරයා සඳහන් කල මෙය ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු හැමදාම නිතර කියන කතාවකි. එහෙත් ආණ්ඩුව වසර දෙකකදී කඩාවැටීමට හේතුව ලෙස හිටපු ඇමතිවරුන් අසාර්ථක බව මින් පිළිගෙන තිබේ.
ආර්ථික අර්බුදය නිසා මතු වූ ගැටලු රාශියකින් ජනතාව පීඩාවට පත්ව සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ ගැන කනගාටු වන බවද පැවැසුවේය.
ආර්ථිකය නිවැරදි මගට ගෙන අනාගත පරම්පරාවේ අපේක්ෂාව ඉටු වන රටක් ගොඩනැගීමේ වගකීම රජය සතු වන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කර අර්බුදයෙන් රට මුදා ගන්නා බවද සඳහන් කළේය.
කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙම ඊයේ සිදු කළ ඇමතිමණ්ඩල වෙනස් කිරීම රටේ පැනනැගී ඇති තරුණයින් ගේ විරෝධයන්ට විසඳුමක් යැයි සිතා සිටිනවා නම් ඒ ජනාධිපතිවරයා යලිත් ජනතාවගෙන් සමාව ගන්නා දිනය වැඩි ඈතක නොවන බව පිළිඹිබු වීමකි.

Leave a Reply

Your email address will not be published.