සුඩානය වගේ ද අපි !

සුඩානය වගේ ද අපි !

සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල් බෂීර්ගේ පාලනයට එරෙහිව විරෝධතා දැක්වූ ගුරුවරයකුට දරුණු ලෙස වධහිංසා කර මරා දැමූ බවට චෝදනා ලබා සිටි, එරට රජයේ බුද්ධි අංශ නිලධාරීන් 29 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට තීරණය කෙරිණි. සුඩානයේ ඔම්ඩූර්මන් අධිකරණය මගින් මෙසේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි පිළිගන්නා ලදී.

මෙම නඩුව විභාග කළ විනිසුරු සාදෙක් අබ්දෙල් රහුමාන් පවසා තිබුණේ අල් කීර් නම් මෙම ගුරුවරයා සුඩානයේ නැගෙනහිර පළාතේ කසාලා ප්‍රදේශයේ පිහිටි බුද්ධි අංශවලට අයත් ස්ථානයකදී දරුණු ලෙස වධ දී මරා දමා ඇති බවයි. එහෙත් බුද්ධි අංශ මගින් අදාළ ගුරුවරයාගේ පවුලේ සාමාජිකයන්ට දන්වා ඇත්තේ ඔහු අත්අඩංගුවේ සිටියදී වස බී මියගිය බවයි. අධිකරණයේදී තහවුරු වී ඇත්තේ එය හිතාමතා සත්‍යය වසන් කිරීමට සැලසුම් කරන ලද කතාවක් බවයි. මෙම නඩු විභාගය පැවැත්වූ සුඩානයේ ඔම්ඩූර්මන් අධිකරණය ඉදිරියට රැස්වූ සිය ගණනක් පිරිස අල් කීර්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටීම කැපී පෙනෙන සිද්ධියකි.

සුඩානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත්, ඊට අදාළ ව ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීමත් ඝාතනයට ලක්වූ ගුරුවරයා ඇතුළු ජනතාවගේ දැඩි විරෝධයට හේතු විය. 2018 දෙසැම්බර් මාසයේදී මේ විරෝධතා ආරම්භ වූ අතර, ජනතාව බලකර සිටියේ අල් බෂීර් ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවටයි. හිටපු ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේදී හමුදා අත්අඩංගුවට පත් විය. මේ වන විට එරට පාලනය ක්‍රියාත්මක වන්නේ ඒකාබද්ධ මිලිටරි – සිවිල් කවුන්සිලයක් හරහාය. ඒ අගෝස්තු මාසයේ සිට ය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාට එරෙහි උද්ඝෝෂණවලදී දෙසිය පනහකට අධික සිවිල් වැසියන් පිරිසක් රජයේ ආරක්ෂක අංශ මගින් ඝාතනය කර ඇති බවයි.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ලංකාවේ ආරක්ෂක අංශ යටතේ තිබූ බුද්ධි අංශවලට ද චෝදනා එල්ල විය. මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදු කෙරුණු අපරාධ ඒ අතර කැපී පෙනිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු සිද්ධි රැසකි. මෙම සිදුවීම් කැපී පෙනුණු බව පවසන්නේ අනෙකුත් අපරාධ සුළු ඒවා නිසා නොවේ. මේවාට අදාළ බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධ වී ඇති බව අධිකරණය ඉදිරියේ තහවුරු වෙමින් පවතින නිසාය. උදාහරණයක් ලෙස ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමට අදාළ විමර්ශනයක් පවා මෙතෙක් නිසි පරිදි සිදු වී නැති බවට චෝදනා එල්ල වේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ඊට අදාළව විභාග වන නඩුව හාස්‍යයට ලක් කරමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ එහි සාක්ෂි දෙන්නට නොගියේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති බව කියමින්ය. එහෙත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහු එහි ගියේය. දැන් ඔහු ජනාධිපතිය.

රජයේ බුද්ධි අංශවලට අදාළ චෝදනා එල්ල වීමත් සමග එය දේශපාලන වාසියට භාවිත කිරීම ඇරඹිණි. මහින්ද රාජපක්ෂලා ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෙරට ආවෝය. ඔවුන් අධිකරණය ඉදිරියේ නිවැරැදිකරුවන් කොට, යුක්තිය ඉටු කිරීමට අවස්ථාව සැලසීම වෙනුවට සිදු කෙරුණේ දේශපාලන පළිගැනීම් වැනි ලාභ ලේබල් යටතේ යුක්තිය හෑල්ලු කිරීමය. එයින් වින්දිතයන්ට මෙන්ම විත්තිකරුවන්ට ද

සිදු වූයේ අසාධාරණයකි. උදාහරණයක් ලෙස යාපනය, මිරුසුවිල්හි සිදු කෙරුණු සමූහ ඝාතනයක් සම්බන්ධයෙන් සුනිල් රත්නායක නම් හමුදා සෙබළකුට මරණ දඬුවම නියම වීම දැක්විය හැකිය. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී නිරන්තරයෙන් සඳහන් කළේ ඔවුන් බලයට පැමිණි වහාම අදාළ හමුදා සෙබළාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන බවයි. එහෙත් මෙතෙක් එවැන්නක් සිදුවූයේ නැත.

එසේම ඔවුන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස, පසුදිනම රක්ෂිත බන්ධනාගාරගතව සිටින බුද්ධි අංශ සාමාජිකයන් නිදහස් කරන බවයි. ඇප පිට යන වචනය පවා ඔවුන් සඳහන් කළේ නැත. ප්‍රචාරක කටයුතු අතරතුරදී මේ කතාවලට හොඳ ඉල්ලුමක් තිබිණි. ඒවා ජනතාව අතර ලාබෙට අලෙවි කෙරිණි. ලාබ බඩුවේ හිල් ඇති බව දැන-දැනම ජනතාව ඒවාට රැවටිණි. ඒ සියල්ල ජනතාව රැවටීමේ කතා බව දැන් තහවුරු වී තිබේ.

එයින් අදහස් කරන්නේ ප්‍රචාරක කටයුතු අතරතුර පැවසූ කතා සාධාරණ හෝ යුක්තිගරුක හෝ ඉටු කළ යුතු ඒවා හෝ වන බව නොවේ. බුද්ධි අංශ සාමාජිකයන් හෝ කවුරුන් වුවද, අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්නම්, සාධාරණ නඩු විභාගයකින් පසු, ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු කිරීමට සමත් වුවහොත් නිදහස් කළ හැකිය. එසේ නොකොට හිතූමනාපයට දේශපාලන වාසි තකා යුක්තිය පසිඳලන්නට කිසිවකුට අයිතියක් නැත. එහෙත් ඉහත කරුණු සඳහන් කළේ ජනතාව රැවටීමේ තරම ගැන කියන්නටය.

අදාළ බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් වූ විමර්ශනවලට යුද හමුදාව පාර්ශ්වයෙන් සහාය ලබා දීමක් සිදු වුණේ නැති තරම්ය. උදාහරණයක් ලෙස ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුවේදී හමුදාව මගින් ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ වාර්තා ලබාදීම දිනපතා ප්‍රමාද කෙරිණි. අනෙකුත් ආයතනයක් එවැනි කටයුත්තක් සිදු කළේ නම්, අධිකරණය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද? ඔවුහු ජාතික ආරක්ෂාවට මුවා වී අපරාධ සාධාරණීකරණය කිරීමේ මෙහෙයුමක නිරත වූහ. සුඩාන බුද්ධි අංශ ද මුලින් පවසා තිබුණේ අත්අඩංගුවේ සිටි රැඳවියා වස පානය කොට මියගිය බවකි. එහෙත් විමර්ශනවල දී සියලු කරුණු අනාවරණය විය. අවශ්‍ය වන්නේ විධිමත් සහ සාධාරණ විමර්ශනය.

රටවල නම් වෙනස් වුව ද, බලය ලබා ගැනීමේ සහ බලය පවත්වා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩ සිදු වන්නේ එකම ආකාරයකටය. එහිදී ජීවිත යනු අදාළම නැති වචනයකි.

ශාලික විමලසේන


Leave a Reply

Your email address will not be published.