නිර්ප්‍රචණ්ඩත්වය සහ සාමූහික විඥානය

ඉස්සර දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට ලස්සන කාන්තාවකට රන් අභරණ පැලඳගෙන එන්න පුළුවන්කම තිබුණලු. පහුගිය කාලෙනම් කාන්තාවකට බස් එකකවත් නිදහසේ යන්න හැකියාවක් තිබුණෙ නැහැ. හැබැයි විසි තිස්දහක් රැස්වෙන ගෝල්ෆේස් පිටියේ අද මහ පාන්දර වුණත් කාන්තාවකට වචනයකින්වත්, බැල්මකින්වත් හිංසනයක් නොවී ඇවිදින්න පුළුවන්. අන්න ඒක තමයි පාට පක්ෂ භේදයක් නැතිව මිනිස්සු එකතු වුනාම තියෙන වටිනාකම. අන්න ඒක තමයි සාමූහික විඥානය කියන්නේ.
මෙච්චරකල් ලංකාවේ සාමූහික විඥානය පාවිච්චි කළේ අවස්ථාවාදී දේශපාලකයො. ඔවුන් ඒක පාවිච්චි කළේ ජාතිවාදය පතුරන්න. අනෙකා ගැන අවිශ්වාසය ඇතිකරවන්න. අපේම උතුරේ සහෝදරයො ගැන සැක කරන්න අපිට ඉගැන්නුවා. ඔවුන්ට අපි දිහා සැකයෙන් බලන්න ඉගැන්නුවා. ඊළඟට සිංහල මුස්ලිම් සහෝදර්තවය අතර. මේක අධිරාජ්‍යවාදීන් පවා පාවිච්චි කලා. හැබැයි මෙතන, ගෝල්ෆේස් පිටියේ අද තියෙන සාමූහික විඥානය කියන්නේ විනය, අනෙකාට ගෞරව කිරීම කියන කාරණා. ඒක මේ බලෙන් ගහලා ඇතිකරන විනයක් නෙමේ. ඒක හැදුනෙ කොහොමද? ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කිරීම තුළින්. ප්‍රචණ්ඩත්වය කියන්නේ චක්‍රයක්. ඒකට ඇතුළු වුනාම අවසානයක් නැහැ. අරමුණ කොච්චර හොඳ වුණත් ප්‍රචණ්ඩත්වය භාවිත කළ ගමන් ඒකෙන් අගතියට වැටෙන කෙනෙක් ඉන්නවා. ඒ අය තුළ පළිගැනීම වැඩෙනවා. දවසක ඔවුන් ආයෙත් පළිගන්න එනවා. ඒ නිසා ප්‍රචණ්ඩත්වයෙන් දිනාගත්තු දේවල්වල ආයු කාලය අඩුයි. අපි රටේ ඇතිකරන්න ඕන අන්න ඒමෙ සාමූහික විඥානයක්. කවුරුවත් හොරක්ම නොකරන තැන අනෙකාට හොරකම් කරන්න ලැජ්ජ හිතෙන, එහෙම කරන්න ධෛර්යය නැතිවෙන විඥානයක්. අරගලයට ජය! බලන්න මේ පින්තූරයේ ලස්සන!
– රශ්මික මණ්ඩාවල

Leave a Reply

Your email address will not be published.