ජනතා විරෝධය අයාලේ නොයවා විසඳුම දිශාවට…

රටේ ආර්ථික අර්බුදය බරපතළ ය. එය ප්‍රකාශයට පත් වන්නේ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, විදුලිය කැපීම් හරහා ය. ඇත්තටම ඒ අර්බුදයේ ප්‍රකාශනයයි. අර්බුදය ඊට වඩා බරපතළ ය. මුළුමනින්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කඩාවැටී ඇත. හොරකම, දූෂණය, වංචාව, නාස්තිය ඉහවහා ගොස් තිබේ. ණය බර ටි්‍රලියන විසිඑකක් දක්වා වර්ධනය වී තිබේ. ණය බර වැඩි වීමට සාපේක්ෂව ආර්ථික වර්ධනය වැඩි වී නැත. එය එන්න එන්නම පහළ වැටෙමින් පවතී. උද්ධමනය වේගයෙන් ඉහළ යයි. අද වන විට මුළු ලෝකයෙන්ම බාල්දුම වූ මුදල් ඒකකය රුපියල බවට පත් වී ඇත. ආනයන – අපනයන පරතරය එන්න එන්නම වැඩිවෙයි. ඒ නිසාම රට තුළ මහා පරිමාණ ඩොලර් හිඟයක් මතුව තිබේ. ඒ හේතුවෙන් මහජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මතුව ඇත. මේ කිසිවකට වත්මන් නන්දසේන පාලනයෙන් උත්තරයක් ලැබී නැත. ලැබෙන්නේ ද නැත.

කියන්න උත්සාහ කරන්නේ ආණ්ඩුව බේරා ගැනීමේ වුවමනාවක් සජිත්ට, රනිල්ට සහ අනුරටත් ඇත්තේ ය යන්න ය. රනිල්ට එවැන්නක් ඇති බව මුළු රටම දන්නා දෙයකි. සජිත් රෑට රෑට නන්දසේනට කතා කරන එක නන්දසේනටම කරදරයක් වී ඇති බව ඔහුම කියා ඇත. ඔය කියන ජාතියේ කිසිදු ගනුදෙනුවක් අනුරට නැත්තේ ය. එවැන්නක අවශ්‍යතාවක් ද නැත්තේය.

මේ සා විශාල ආර්ථික අර්බුදය හේතුවෙන් ලිහා ගත නොහැකි මට්ටමේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී ඇත. ඉල්ලා අස් වූ අයගෙන් කිහිප දෙනෙක් නැවත පත් කොට ඇත. ඒ පත් කරපු අයගෙන් මුදල් ඇමැති අලි සබ්රි නැවත ඉල්ලා අස් වී ඇත. මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස් වී ඇත. මේ වන විට ජනාධිපති, අගමැති, විදේශ ඇමැති, අධ්‍යාපන ඇමැති, මහාමාර්ග ඇමැති ලෙස පස් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් තිබේ. එය ද තිබුණා වුණාට නැතුවා වගේ ය. ඒ අයගෙනුත් රාජපක්ෂලා දෙන්නා ඉතුරු වෙලා අනෙක් තුන්දෙනාවත් ඉවත් කරන්න ලැහැස්තියක් තිබේ. ඒ වෙනුවට දැනට මන්ත්‍රීවරු හා රාජ්‍ය ඇමැතිවරු වන අයගෙන් අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන කතාවක් ද ඇත. මේ ජාතියේ එක එක පැලැස්තර දම දමා කල් ගෙවයි. ඇති වී තිබෙන ගැඹුරු අර්බුදයට නිසි උත්තරයක් නැත. ආර්ථික අර්බුදයටත්, එහි ප්‍රතිඵලයක් වන දේශපාලන අර්බුදයටත් උත්තරයක් නැත.
පසුගිය පස්වැනිදා පාර්ලිමේන්තුව රැස්විය. රටේ ජනතාව බලාපොරොත්තු වූයේ ඉන් උත්තරයක් ලැබේවි යැයි කියා ය. එතැන සිදු වූයේ ද ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වීම පමණ ය. එලෙස ස්වාධීන වූ පසුව ද ආණ්ඩුවේ බහුතරය එකසිය දහතුන තිබේ, යාන්තම් බේරා ගන්න. සරල බහුතරය මඟින් කල් මර මරා දවස් ගෙවී යයි. පාර්ලිමේන්තුව පටන් ගත්ත මුල් දවසේ දීම එක එක්කෙනා වල්පල් කියව කියවා කල් ගත කරන්න පටන් ගත්තේ ය. විවාදය ආරම්භයේ දීම අයාලේ යන්නට පටන් ගත්තේ ය. තම තමන්ගේ ඔළුවේ හැදිලා තිබුණ දේවල් කියන්නට පටන් ගත්තේ ය. කථානායකවරයා ද සභාවට ඔහේ යන්නට දී බලා සිටියේ ය.
අයාලේ යන සභාවේ ඉලක්කයකට ගෙන යා යුතු ය යන්න මතු කළේ අනුර දිසානායක ය. ඔහු කිව්වේ, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න වගකිව යුතු ඇමැතිවරයකු ද නැති නිසා ඇති වී තිබෙන වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කරන්න සැලැසුම් කර ගත යුතු ය යන්න ය. එසේ නැත්නම් එදා වෙන් වී තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පනතක් ගැන කතා කරන්නට ය. එය පිළිබඳව කතා කරන්නට කිසිදු ඇමැතිවරයෙක් සිටියේ ද නැත. අයාලේ යන සභාව නිසි ඉලක්කයකට, ජනතාවගේ දැවෙන අර්බුදය පිළිබඳව කතා කරන්නට යොදා ගත යුතු ය යන්න යෝජනා කළේ අනුර දිසානායක ය. ඒ සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙෂ ද ඔහු යෝජනා කළේ ය. එහෙත්, කථානායකවරයා එය හවස් වරුව වන තෙක්ම කල් දැම්මේ ය. ඒ හේතුවෙන් ජනතාව බලාපොරොත්තු වූ කිසිවක් ඉටු නොවුණේ ය.
අනුර යෝජනා කළේ ඇති වී තිබෙන වත්මන් අර්බුදය ගැන කතා කිරීමට ය. වත්මන් අර්බුදය යනු ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය සහ මේ හේතුවෙන් මතුව ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයයි. හදිසි නීතිය දැමීම, සමාජ මාධ්‍ය තහනම් කිරීම, අත්අඩංගුවට ගැනීම ඒ සියල්ල ය. ඒ කිසිවක් ආවාට ගියාට ඔහේ කතා කරන්නට බැරි ය. පාර්ලිමේන්තුවේ විධිමත් ක්‍රමවේදයක් පවතී. හදිසි නීතිය පිළිබඳව ඡන්දයක් පැවැත්වීම ද සිදු විය යුත්තේ, ස්ථාවර නියෝග අත්හිටුවමින් ය. එදිනට නියමිත කටයුතු අත්හිටුවා වෙනත් අලුත්ම න්‍යාය පත්‍රයක් සාදා ගත යුතු ය. පක්ෂ නායක රැස්වීමක් ඉල්ලුවේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ය. එහෙත්, කථානායකවරයා නොහොත් ආණ්ඩුවට ඕනෑ වුණේ ප්‍රශ්නය මඟහැරීමට ය; පස්සට තල්ලු කිරීමට ය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන්දෙනාට පමණක් එය මුළුමනින්ම වැළැක්වීමේ හැකියාවක් නොමැත.
එදින තුළ හදිසි නීතිය පිළිබඳ ඡන්දයක් ගැනීමේ හැකියාවක් නැත. සමහරු කතා කරති. එය මතුපිටින් බැලූබැල්මට හරි වගේ පෙනෙන්නට ඇත. එහෙත්, ඇත්ත තත්ත්වය එය නොවේ ය. එදින උදේ වන විට ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රීවරු හතළිස්එක් දෙනෙක් ස්වාධීන වූහ. එය සිදු වුණේ ද අමුතුම ආකාරයකට ය. මුල දී ස්වාධීන යැයි කියූ අරුන්දික ප්‍රනාන්දු සහ තවත් මන්ත්‍රීවරයෙක් පසුව එය එසේ නොවේ යැයි කීහ. එවිට එය තිස් නවයකට බැස්සේ ය.
පැය කිහිපයකට පසුව තොණ්ඩමන්ගේ පක්ෂයේ දෙදෙනා ස්වාධීන යැයි ප්‍රකාශ කළහ. මේ ස්වාධීන යැයි කියූ කිසිවකු විපක්ෂයේ වාඩි වෙන බවක් කිව්වේ නැත. ඔවුන් සියලු දෙනාම කිව්වේ, තමන් ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉන්නා බව ය. හරියට ගණන් හදලා බැලුවා ම මේ තත්ත්වයෙන් පසුවත් ආණ්ඩුවට බහුතරයක් ඇත්තේ ය. හදිසි නීති ඡන්දයකට ගියා නම්, ආණ්ඩුවේ එකසිය දහතුනක බහුතරය පෙන්වන්නේ ය. මෝඩ විදියට තර්ක මතු කරන සමහර අය මේ ගැන දන්නේ නැත. නැත්නම් දැන දැන වෙනත් වුවමනාවක් සඳහා එය පාවිච්චි කරති. පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ, වෙනත් වුවමනාවක් ය.
කියන්න උත්සාහ කරන්නේ ආණ්ඩුව බේරා ගැනීමේ වුවමනාවක් සජිත්ට, රනිල්ට සහ අනුරටත් ඇත්තේ ය යන්න ය. රනිල්ට එවැන්නක් ඇති බව මුළු රටම දන්නා දෙයකි. සජිත් රෑට රෑට නන්දසේනට කතා කරන එක නන්දසේනටම කරදරයක් වී ඇති බව ඔහුම කියා ඇත. ඔය කියන ජාතියේ කිසිදු ගනුදෙනුවක් අනුරට නැත්තේ ය. එවැන්නක අවශ්‍යතාවක් ද නැත්තේ ය.
මුළු රටේ හැමතැනම කතාබහට ලක් වන්නේ මේ දෙගොල්ලන් ම එළවා දැමීමක් ගැන ය. හැත්තෑහතර අවුරුද්දක ශාපයෙන් රට මුදා ගැනීමක් ගැන ය. ජනතාවගේ බහුතර කැමැත්ත ගොනු වී ඇත්තේ ඒ දිශාවට ය. දේශපාලන වශයෙන් ගතහොත් ජනමතය ගොඩනැඟී ඇත්තේ, ජාතික ජන බලවේගයට වාසිදායක දිශාවට ය. එවැනි තත්ත්වයක් තියෙද්දී, ආණ්ඩුවත් එක්ක ඩීල් දැමීමේ කිසිදු වාසියක් නැත්තේ ය. ඩීල් වුවමනා වී ඇත්තේ ආණ්ඩුවට ය.
අනුර දිසානායකලාට මේ මොහොතේ කිසිදු ඩීල් එකක් වාසි වෙන්නේ නැත. ජනතා මතය ජනතා බලය ගොඩනැඟී ඇත්තේ, ඔවුනගේ වාසියට ය. එහෙම තියෙද්දී, අනුරත් හිතාමතා මේවා යට ගහනවා යැයි කියන්නේ දේශපාලන කුහකයන් ය.
ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් ජනතා උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තැනට ගෙනයන්නේ ජවිපෙ යැයි මතයක් ද හදයි. මෙච්චර රටේ ජාතික ප්‍රශ්න තියෙද්දී හෙල්මට් එකක් ඇද ගන්නේ ඒකටය. පිට්ටනිය මෙතරම් වාසිදායක තත්ත්වයට හැරී තිබෙන වෙලාවක ඒ ප්‍රචණ්ඩකාරී සිදුවීම් කිරීමේ කිසිදු වාසියක් ජවිපෙට නැත. එහි වාසිය ඇත්තේ ආණ්ඩුවට ය. දැන් බොහෝ තැන්වල හෙළිදරවු වූ කරුණුවලින් එය පැහැදිලි ය.
ජනතාව ජවිපෙ වටා වේගයෙන් එකතු වීම වැළැක්වීමට ගනු ලබන දුර්වල උත්සාහයන් මේවා ය. එක පැත්තකින් ඩීල් තියෙනවා යැයි කියන්නට හදයි. අනෙක් පැත්තෙන් මහජන විරෝධතා ප්‍රචණ්ඩත්වයට ගෙනයන්න හදනවා කියයි. මේ දෙකම සේවය කරන්නේ පෙරළා ආණ්ඩුවේ වාසියට ය. දැනුම්වත්ම හෝ නොදැනුම්වත්ව කරන මේ දෙකෙන්ම සිදු වන්නේ නැවත රාජපක්ෂ පවුල ශක්තිමත් වීම ය. හරි පැහැදිලිව ජවිපෙ ඇතුළු ජාතික ජන බලවේගය ඉන්නේ ඔවුන් පටන් ගත් ජනතා අරගලය ජනතාවගේ ආශීර්වාදයෙන් ඉදිරියට ගෙන යාමට ය. පැලැස්තර විසඳුම්වලට ඉඩ නොදී දේශපාලන අර්බුදයටත්, ආර්ථික අර්බුදයටත් ස්ථිර විසඳුමක් ලබා දෙන්නට ය.
පළමුව කළ යුත්තේ දේශපාලන අර්බුදය විසඳීම ය. එය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වත්මන් ආණ්ඩුවම බලයෙන් ඉවත් කිරීමෙන් ය. එතැනින් මෙහා විසඳුමක් ඇත්තේ නැත. කොතරම් වියදම් වුවත්, වහාම කළ යුත්තේ එයයි. ඉන් අනතුරුව ජනතාවගේ කැමැත්තෙන් ජනතාවාදී පාලනයකට ඉඩප්‍රස්ථා ලබා දීමයි. ඒ කියන්නේ, ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් දෙකම වෙනස් කිරීමයි. එය වහ වහා කළ යුත්තේ ය. ඉන් පසු බිහි වෙන නව දේශපාලන නායකත්වයෙන් සැලැසුම්සහගත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මත පදනම් වු ආර්ථික වැඩපිළවෙළක් ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා වූ ජනතා සහභාගීත්වයක් ලබා ගැනීමයි. දැනට පවත්නා මජර දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර අදූෂිත පාලනයක් තුළින් රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම ය. ඒ වෙනුවෙන් ජනතාව වහ වහා එක අරමුණකට, එක පෙළකට පෙළගැස්විය යුතුයි. ඊට අවශ්‍ය නායකත්වය, මඟපෙන්වීම ඉදිරියෙන්ම සිට ලබා දිය යුතුයි●

සබැඳි

Leave a Reply

Your email address will not be published.