ජාතික ගීය දෙමළ බසින් නොගැයීම හා ඉතිහාසය පුනරුක්ති වීම

Read Time:14 Minute, 0 Second

ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කර තිබේ. මීට පෙර ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවා තිබිණි. එම තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට 2015දී බලයට පත් වූ රජය තීරණය කළේ ය. එදා ද එයට පක්ෂ මෙන් ම විපක්ෂ කොටස් ද සිටියහ. මෙම ලිපිය එසමයෙහි අප විසින් පළ කරන ලද ලිපියක ම සංස්කරණයකි. ඉතිහාසය පුනරුක්ති වන විට පැරණි ලිපි ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ය.

සාමාන්‍යයෙන් ජාතික ගීයක් යනු ඉතිහාසය, සම්ප්‍රදායයන් හා ජන අරගල වර්ණනා කරන රටේ රජය විසින් හෝ මහජන සම්ප්‍රදායය විසින් හෝ නිල ජාතික ගීය ලෙස පිළිගනු ලබන දේශාභිමානී සංගීත හා පද සංයෝජනයකි. ඒ සඳහා නෛතික පසුබිමක් ඇත.

ලොව බොහොමයක් ජාතික ගී ගමන් තාලවලින් හෝ ගීතිකා තාලවලින් යුක්ත ය. ලතින් ඇමෙරිකානු රටවල ජාතික ගී වැඩියෙන් ඔපරා ස්වරූපී වන අතර, රටවල් කීපයක ජාතික ගී සරල, විනෝදාත්මක ස්වරූපයකින් යුක්ත ය. ඒවා සාමාන්‍යයෙන් රචනා කර තිබෙන්නේ ඒ රටේ සුලබ ම භාෂාවෙනි. එහෙත්, විශේෂයෙන් ම බහු සංස්කෘතික රටවල කැපී පෙනෙන වෙනස්කම් තිබේ.

මාලදිවයිනේ ජාතික ගීය නිර්මාණය කළේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයකු වූ ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසිනි. එහි දී ඔහු පදනම් කර ගත්තේ auld lang syne නම් සුප්‍රකට ස්කොට් නව අවුරුදු ගීයයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකරයන් පළ කර ඇති අදහසකට අනුව එය වනාහි ආනන්ද සමරකෝන්ගේ නිර්මාණ දිවියේ පරිහානි අවධියේ දී නිර්මාණය කරන ලද ඒකමිතියකින් තොර සංකල්පනාවකි. එහි මුල දී ලංකා මාතාව ආමන්ත්‍රණය කරමින් ගැයුණ ද පසුව එය වෙනස් වේ. මෙම පදමාලාවේ සංස්කෘත වචන රැසක් භාවිත වේ.

1951 නොවැම්බර් 22දා ශ්‍රීමත් එඞ්වින් විජේරත්න විසින් සභාපතිත්වය දරන ලද කමිටුවක් විසින් කිවියර හා සංගීතවේදී ආනන්ද සමරකෝන් විසින් පබඳින ලද ‘නමෝ නමෝ මාතා’ ගීය නිල වශයෙන් ජාතික ගීය ලෙස පිළිගත්තේ ය. විද්‍යාර්ථියකු වූ පණ්ඩිත එම්. නල්ලතම්බි විසින් මෙම ගීය දෙමළ බසට පරිවර්තනය කරන ලදී.

මුල් ගීයේ මුල් පද වූ ‘නමෝ නමෝ මාතා, අප ශ්‍රී ලංකා’ යන වදන් සම්බන්ධයෙන් 1950 දශකයේ දී මතභේදයක් ඇති වූ අතර 1961දී ගීය වත්මන් ‘ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා’ ලෙස සුළු වශයෙන් සංශෝධනය කරන ලදී. ඒ සඳහා ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්ගේ අනුමැතිය ලබා ගත්තේ නැත. ඒ පිළිබඳ ආනන්ද සමරකෝන් සන්තාපයට පත් වූ බව ද වාර්තා වේ.

මෙම ගීයේ බුද්ධිමය දේපළ හිමිකම ආනන්ද සමරකෝන් විසින් මුද්‍රණාල හිමියකුට ණයට හිලව් ලෙස විකුණා තිබිණි. එහෙයින්, එය ජාතික ගීය ලෙස තෝරා ගන්නා විට ආනන්ද සමරකෝන්ට එහි හිමිකමක් නො තිබිණි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ හත්වන වගන්තියෙන් ‘ශ්‍රී ලංකා මාතා’ ගීයට ව්‍යවස්ථාමය පිළිගැනීම ලබා දෙන ලදී. ඒ අනුව ජාතික ගීය ලෙස සැලැකෙන්නේ සිංහල පදමාලාව පමණක් වුව ද, දෙමළ ජාතික ගීය භාවිත කිරීම දිගට ම තිබිණි. 1956දී සිංහල පමණක් එක ම රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමෙන් පසුව පවා ජාතික ගීයේ දෙමළ ස්වරූපය භාවිතාවේ තිබුණු බව සඳහන් කිරීම වටී. හැට ගණන්වලදී ඩඞ්ලි සේනානායක අගමැතිවරයා යාපනයේ සංචාරය කළ අවස්ථාවේ දී ජාතික ගීයේ සිංහල මෙන් ම දෙමළ ස්වරූපය ද ගායනා කරන ලදී. අලු‍තින් ඉදි කරන ලද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කිරීම පිණිස අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1974දී යාපනයට පැමිණි අවස්ථාවේ දී ද භාෂා දෙකෙන් ම ජාතික ගීය ගැයිණි.

දෙමළ බසින් ජාතික ගීය ගැයීම පිළිබඳ කතා කරන විට ලංකාව වැනි බහු සංස්කෘතික රටවල් සිය ජාතික ගීය සකසාගෙන ඇති ආකාරය විමසා බැලීම වටියි. ඉන්දියාව භාෂා සිය ගණනක් කතා කරන ජනයා ජීවත් වන රටකි. එහි නිල භාෂා සංඛ්‍යාව පමණක් 22කි.

ඉන්දියාව

‘ජන ගන මන’ නම් ගීය ඉන්දියාවේ ජාතික ගීයයි. සාධු භාෂා ලෙස හැඳින්වුණු විශාල වශයෙන් සංස්කෘතකරණය කරන ලද තත්සම බෙංගාලි බසින් ලියන ලද එය නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබූ රබීන්ද්‍රනාත් තාගෝර් ශූරීන් විසින් නිර්මාණය කරන ලද බ්‍රහ්ම බැති ගීයක මුල් පද පහයි. ගීය සම්පූර්ණයෙන් ම රචනා කර තිබෙන්නේ ක්‍රියාපද ලෙස ද භාවිත කළ හැකි නාමපදවලිනි. මෙම නාම පද වැඩි හරියක් ඉන්දියාවේ ප්‍රධාන භාෂා හැම එකක ම පාහේ භාවිත වන හෙයින්, එය පහසුවෙන් තේරුම් ගත හැකි ය. 1911 දෙසැම්බර් 27දා පවත්වන ලද ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ කල්කටා සැසියේ දී එය පළමුවරට ගායනා කරන ලදී. 1950 ජනවාරි 24දා ඉන්දීය ව්‍යවස්ථාදායක සභාව විසින් එය නිල වශයෙන් ජාතික ගීය ලෙස උපුටා ගන්නා ලදී. 2011 දෙසැම්බර් 27 දිනට ‘ජන ගන මන’ ගීයට සියවසක් සපිරිණි.

මෙම අර්ධ සංස්කෘත පදමාලාව ගායනයේ දී ඉන්දියාවේ විවිධ භාෂාවන් අනුව උච්චාරණය වෙනස් වේ. එයට හේතුව වන්නේ බොහෝ ඉන්දු භාෂාවල ව්‍යඤ්ජන සමඟ සහජයෙන් ම යන ස්වරයක් තිබේ ය යන පිළිගැනීමයි. එහෙත්, ඒ ස්වරය භාෂාවෙන් භාෂාවට වෙනස් වේ.

කැනඩාව

කැනඩාවේ ජාතික ගීය වන ‘ඕ කැනඩා’ මුලින් ම පිළිගත්තේ ලු‍තිනන් ගවනර් ක්විබෙක් තියඩෝර් රොබිටේල් විසින් 1880දී ශාන්ත ජෝන් බැප්ටිස්ට් දිනයෙහි දී ය. කැලික්සා ලැවලී සංගීතය සංයෝජනය කරන ලද අතර පදමාලාව ප්‍රංශ කැනේඩියානු කවියකු හා විනිසුරුවරයකු වූ ශ්‍රීමත් ඇඩොල්ෆ් බැසිල් රවුදියර් විසින් රචනා කරන ලද දේශාභිමානී කවියකි. මුල් පදමාලාව ප්‍රංශ භාෂාවෙන් වූ අතර, 1906දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදී.

රොබට් ස්ටැන්ලි වෙයර් විසින් 1908දී තවත් ඉංග්‍රීසි පිටපතක් රචනා කරන ලදී. නිල හා වඩාත් ම ජනප්‍රිය ස්වරූපය බවට පත් වුණේ එයයි. එය මුල් ප්‍රංශ ගීයේ සාහිත්‍ය පරිවර්තනයක් නො වේ. කැනඩාවේ ප්‍රධාන භාෂා වන ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාවලින් නිර්මාණය කරන ලද ජාතික ගී 1980 සිට ම භාවිතාවේ තිබේ. ඉංග්‍රීසි හා ප්‍රංශ ද්විභාෂා ස්වරූපයක් ද සුලබව භාවිත කෙරේ.

දකුණු අප්‍රිකාව

මෙතෝදිස්ත පාසල් ගුරුවරයකු වූ එනොක් සොන්ටොන්ගා විසින් 1897දී දකුණු අප්‍රිකානු ජාතික ගීය වන භනදිස ීසනැකැක’ ස්රෙසන් නිර්මාණය කළේ ය. මුල දී දේවස්ථාන ගීතිකාවක් වූ එය පසුකාලීනව වර්ණභේදවාදී ආණ්ඩුවට එරෙහි දේශපාලන විරෝධාකල්ප ගීයක් විය.

1936 සිට 1957 දක්වා සමයේ දී එක්සත් රාජධානියේ ජාතික ගීය වන God Save the King/Queen ගීතයත්, සී.ජේ. ලැන්ගන්හොවන් විසින් 1918දී ලියන ලද ගරු මාටිනස් ලවුරෙන්සි ඩි විලියර්ස් විසින් 1921දී සංගීතවත් කරන ලද Die Stem van Suid-Afrika ගීතයත් යන දෙක ම ජාතික ගී ලෙස භාවිත කරන ලදී. 1957 සිට 1995 දක්වා Die Stem van Suid-Afrika ගීය එක ම ජාතික ගීය ලෙස සලකන ලදී.

1994 සිට ගීත දෙක ම දකුණු අප්‍රිකාවේ ජාතික ගී ලෙස සැලැකේ. නෙල්සන් මැන්ඩෙලාගේ ආණ්ඩුවේ සමාරම්භක අවස්ථාවේ දී මේ ගී දෙක ම ගායනා කරන ලදී. ඒ දෙක එකතු කර 1997 සිට අලු‍ත් ජාතික ගීයක් නිර්මාණය කරන ලදී. වත්මන් ජාතික ගීය වන එහි ඉංග්‍රීසි පදමාලාව සකසා ගනු ලැබුවේ, The Call of South Africa නම් වන මුල් ගීයේ ඉංග්‍රීසි පදමාලාවේ මුල් කොට‍සේ අවසන් පද හතරෙනි. පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු නිරූපණය වන පරිදි එය වෙනස් කර තිබේ.

1997 සිට දකුණු අප්‍රිකානු ජාතික ගීය අලු‍ත් ඉංග්‍රීසි පද Nkosi Sikelel’ iAfrika (God Bless Africa) හා Die Stem van Suid-Afrika (The Call of South Africa) ඒකාබද්ධ කර සකසාගෙන තිබේ.

නවසීලන්තය

‘ God Defend New Zealand’ සහ ‘ God Save the Queen’ යන ගී දෙක ම නවසීලන්තයේ ජාතික ගී ලෙස සැලැකේ. ‘God Defend New Zealand’ ගීතය වඩා සුලබව භාවිත වනමුත්, ගී දෙකට ම සම තත්ත්වයක් තිබේ. ‘God Defend New Zealand’ ගීයේ පද ඉංග්‍රීසි හා මයෝරි භාෂාවලින් තිබේ. එහි ගී ඛණ්ඩ පහක් ඇත. ඒ හැමෙකක් ම ඉංග්‍රීසි හා මයෝරි භාෂාවලින් තිබේ. මයෝරි පද ඉංග්‍රීසි පදවල ඍජු පරිවර්තනයක් නො වේ. 1878දී නිර්මාණය කරන ලද මයෝරි පදමාලාව 1979දී නැවත ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ හිටපු මයෝරි භාෂා කොමසාරිස් මහාචාර්ය තිමති එස්. කාරේටු විසිනි.

මුල් රචකයා වූ බ්‍රැකන් 1949 ජනවාරි 01දා මිය ගොස් පනස් වසරකට පසුව ‘God Defend New Zealand’ ගීයේ බුද්ධිමය දේපළ අයිතිය අහෝසි විය. රජය විසින් එහි බුද්ධිමය දේපළ හිමිකම මිල දී‍ ගෙන තිබිණි. කාරේටු විසින් කරන ලද පසු පරිවර්තනය වෙනුවෙන් නවසීලන්ත රජයට 2079 වසර දක්වා බුද්ධිමය දේපළ අයිතිය තිබේ.

1990 දශකය දක්වා ම වැඩිපුර ගායනා කරනු ලැබුවේ ඉංග්‍රීසි පදමාලාවේ මුල් ගී ඛණ්ඩය පමණි. 1999දී එංගලන්තයට එරෙහි රග්බි ලෝක කුසලාන තරගයේ දී මයෝරි පදමාලාව මුල්වරට ගායනා කරන ලද අතර, මහජන සංවාදයකින් පසු ඉංග්‍රීසි හා මයෝරි බසින් මුල් ඛණ්ඩය එකකට පසුව අනෙක වශයෙන් ගායනා කරනු ලැබේ. දෙවන හා පස්වන ඉංග්‍රීසි ගී ඛණ්ඩ ද ගායනා කරනු ලැබේ. එහෙත්, තෙවන හා සිව්වන ගී ඛණ්ඩ ගායනා කරනු ලබන්නේ කලාතුරකිනි.

ස්විට්සර්ලන්තය

The Swiss Psalm (ජර්මන්: Schweizerpsalm, ප්‍රංශ: Cantique Suisse ඉතාලි: Salmo svizzero, රෝමන්: Psalm svizzer) යනු ස්විට්සර්ලන්තයේ ජාතික ගීයයි. 1841දී ඇල්බෙරිච් ස්විසිග් (1808 – 1854) විසින් රචනා කරන ලද එය එතැන් සිට දේශාභිමානී උත්සවවල දී සුලබව ගායනා කරන ලදී. එහෙත්, ෆෙඩරල් කවුන්සිලය එය ජාතික ගීය ලෙස පිළිගැනීම කීප විටක් ම ප්‍රතික්ෂේප කළේ ය. එයට හේතුව වූයේ ජනතාව ජාතික ගීය ගැන දක්වන අදහස දැන ගැනීමට කවුන්සිලයට අවශ්‍ය වීමයි.

1961 සිට 1981 දක්වා ජොහාන් රුඩොල්ෆ් වයිස් (1743 – 1818) විසින් නිර්මාණය කරන ලද Rufst Du” mein Vaterland (When You Call” My CountryZ, ප්‍රංශ: ජී පද Ô monts indépendants, ඉතාලි: Ci chiami o patria” රෝමන්: E clomas” tger paeis) ගීය ඇතැම් ප්‍රදේශවල ජාතික ගීය ලෙස පිළිගැනිණි. එහි තනුව සුප්‍රකට God Save the Queen අනුව සකසා තිබේ. 1981 අප්‍රේල් 01දා සිට Swiss Psalm ජාතික ගීය ලෙස පිළිගන්නා ලදී. මුල් ජර්මානු ගීය ස්විට්සර්ලන්තයේ සෙසු ජාතික භාෂා තුනට ද පරිවර්තනය කරන ලදී. පොදු උත්සව අවස්ථාවල දී තමන්ගේ අභිමතය පරිදි ජාතික ගීය ගැයීමට ෆෙඩරල් රජය ජනතාවට අවසර දී තිබේ.

(මෙම ලිපියේ පළවන ඇතැම් තොරතුරු මීට වසර කීපයකට පෙර අප වෙත ලබා දුන් ‘වන් ටෙක්ස්ට් ඉනිෂියේටිව්’ ආයතනයට නැවතත් අපේ ස්තුතිය.)

අජිත් පැරකුම් ජයසිංහ

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post අපි රැවටෙන්න සූදානම් නැහැ !
Next post ලිංගික අධ්‍යාපනය නැවැත්වීමෙන් දරුවන් සුරැකෙයි ද