ඉන්දියාවෙන් ණය ගන්න ජාතික ආරක්ෂාව පාවා දෙයි!

අපේ රටේ ජාතික ආරක්ෂාවට ඉතාම වැදගත් ගිවිසුම් 05කට පසුගිය මාර්තු මස 15 වැනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබිණි. මෙම ගිවිසුම් අත්සන් කිරීම සඳහා අපේ රටට ඉන්දියාව කෙතරම් බලපෑම් සිදු කර තිබෙන්නේ ද යත්, මෙයින් ගිවිසුම් 04ක්ම කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව අත්සන් කර තිබේ. මෙම ගිවිසුම් ඉතාම රහසිගතව මෙන්ම කඩිමුඩියේ අත්සන් කර ඇත්තේ, මෙරට ආරක්ෂක ලේකම් සහ මෙරට වෙසෙන ඉන්දියානු මහ කොමසාරිස් යන දෙපළ විසිනි.

රට හිඟමනට ඇද දමා ඇති රාජපක්ෂ පවුල් පාලනය, එදාවේල පිරිමසාගැනීම සඳහා ණය ලබා ගැනීම වෙනුවෙන් රටේ ජාතික ආරක්ෂාවත්, ස්වාධීනත්වයත් පාවා දෙමින් සිටී. පසුගියදා මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරයේදී අත්සන් තැබුණු තීරණාත්මක ගිවිසුම් පහ, ඒ සඳහා ආසන්නම උදාහරණයයි. මේ ගිවිසුම්වල හරය කුමක්ද?

DO – 228 ඩෝනියර් යානා 02ක් ලබා ගැනීම, පාවෙන නාවික තටාකාංගණයක් ලබා ගැනීම, සමුද්‍රිය මුදාගැනීමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම, ඩිජිටල් අනන්‍යතා සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ මෙරට ධීවර වරාය ඉදි කිරීම සහ සංවර්ධනය යන කරුණුවලට අදාළව මෙම ගිවිසුම් අත්සන් කර ඇත. මේ පිළිබඳව යොමු කරන ලද කැබිනට් පත්‍රිකාවල දක්වා ඇත්තේ, ගරු මුදල් ඇමැතිතුමාගේ 2022 මාර්තු මස ඉන්දියා සංචාරයට පෙරාතුව මෙම ලිපි හුවමාරුව සිදු කළ යුතුව තිබූ බැවින්, කැබිනට් මණ්ඩල ආවරණ අනුමැතියට යටත්ව මෙම ගිවිසුම්/ ලිපි අත්සන් කළ බවයි. එයින්ම පැහැදිලි වන කරුණ වන්නේ මුදල් ඇමැතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට පෙර මෙම ගිවිසුම් හෝ එකඟතා ලිපි අත්සන් කිරීමට ඉන්දියාව අනිවාර්යයෙන්ම විශාල බල කිරීමක් කර ඇති බවයි. නැතිනම්, මෙම සංචාරයේ කටයුතු ඉටු කිරීමට නම්, අදාළ ගිවිසුම් හෝ අවබෝධතා ලිපි අත්සන් කළ යුතු බවට ඉන්දියාව නිශ්චිත බලපෑමක් සිදු කර ඇති බවයි.

මොකක්ද මේ MRCC?

මෙම ගිවිසුම් අතර ඉතාම බරපතළ ආන්දෝලනාත්මක ගිවිසුම වන්නේ සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් (ඵඍක්‍ක්‍) සපයා දීම සහ ස්ථාපනය කිරීම සඳහා ගෙන ඇති තීරණයයි.  මෙම ගිවිසුම මඟින් ශ්‍රි ලංකා නාවික හමුදා මූලස්ථානයේ මෙම Sri Lanka Maritime Rescue Coordinating Centre (LMRCC) නමැති ආයතනික ව්‍යුහය ස්ථාපනය කරනු ලැබේ. මෙමඟින් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයේ සහ විශේෂයෙන් අනන්‍ය ආර්ථික කලාපයේ ආවේක්ෂණ කටයුතු සිදු කරන බව ප්‍රකාශිත ය.

මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ ඉන්දියානු තාක්ෂණ සමාගමක් වෙත මෙම දත්ත පද්ධතිය ගොඩනැඟීම, නඩත්තුව, යාවත්කාලීන කිරීම සහ පවත්වාගෙන යෑම භාර දීමයි. එමඟින් සමස්ත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේ සමස්ත ජීව දත්ත පද්ධතිය ඉන්දියාව විසින් තමන් සතු කර ගෙන තිබේ. අඩුම වශයෙන් ඉන්දියාව සිය පුරවැසියන් වෙනුවෙන් පවා මෙවැනි ව්‍යාපෘතියක් තවමත් සකස් කර නැති තතත්වයක් තුළ අපේ රටේ ජනතාවගේ ජීව දත්ත රැස් කිරීම, එසේ කිරීමට බාහිර පාර්ශ්වයක් සම්බන්ධ කර ගැනීම බරපතළ ආරක්ෂක ගැටලු මතු කරන්නක් බව පැහැදිලි ය. 


නමුත්, ඇත්ත කරුණ වන්නේ ඇමෙරිකාවේ අවශ්‍යතාව වන Free and Open Indo-pacific Initiative යුද සැලැස්මේ එක් කොටසක් ලෙස මෙය සිදු කිරීමයි. මෙම මධ්‍යස්ථානය ඉදි කරනු ලබන්නේ කෙළින්ම ඉන්දියානු ත්‍රිවිධ හමුදාවල මැදිහත් වීමෙනි. එමෙන්ම ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින Bharat Electronic Limited නමැති ආයතනය විසින් මෙහි තාක්ෂණික එකලස් කිරීම් සිදු කරනු ලැබේ. මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ ස්ථර 03ක් යටතේ මෙහි උප මධ්‍යස්ථාන රට පුරා ඉදි කිරීමයි. ඒ යටතේ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ ප්‍රධාන උප මධ්‍යස්ථානය හම්බන්තොට ඉදි කරනු ලැබේ. එමෙන්ම ගාල්ල, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකළපුව, අරුගම්බේ, මන්නාරම සහ යාපනය යන ස්ථානවල  තවත් උප මධ්‍යස්ථාන 07ක් ස්ථාපනය කරනු ලැබේ.
ඒ අනුව සමස්ත දිවයිනම වට කර සමුද්‍ර නිරීක්ෂණ සහ සුපරීක්ෂණ ආරක්ෂක වළල්ලක් ඉදි කරන අතර එය සිදු කරනු ලබන්නේ ඉන්දියානු ආරක්ෂක අංශ විසිනි. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 06ක් ඉන්දියාව විසින් වියදම් කරනු ලැබේ. මෙහි නඩත්තු කටයුතුවලට පමණක් නාවික හමුදාව වියදම් දරයි. මෙයින් අප තේරුම්ගත යුතු වන්නේ අපේ රටට අයිති මුහුදු තීරයේ ආරක්ෂාව සඳහා ඉන්දියාව මෙතරම් උනන්දුවකින් මුදල් වැය කරමින්, ඔවුන්ගේ හමුදා යොදවමින් කටයුතු කරන්නේ ඇයි ද යන්න ගැන ය.

තියුණු ආවේක්ෂණ ක්‍රියාවලියක්

අනෙක් පසින් නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථානයට ජපානය ද මීට දින කිහිපයකට පෙර සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ ප්‍රදානයක් සිදු කළේ ය. මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ලබන මෙහෙයුම් තව දුරටත් කාර්යක්ෂමව කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත, ‘මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහන’ මෙම උපකරණ ලබා දුන්නේ ය.
සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් සහ සමුද්‍රීය පාරිසරික ගැටලු පිළිබඳව සොයාබැලීම සඳහා, සමුද්‍රීය වපසරිය නිරන්තර ආවේක්ෂණය කරමින් තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ එම තොරතුරු දැනගත යුතු වෙනත් පාර්ශ්වයන් වෙත මුදාහැරීම නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙම සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අරමුණ බව ප්‍රකාශ වී තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ ලෝක බල හා යුද දේශපාලනයේ එක් පාර්ශ්වකරුවකු බවට මෙම මධ්‍යස්ථානය හරහා අප ඇදදමා ඇති බවයි. අඩු-වැඩි වශයෙන් මෙතෙක් අප අනුගමනය කරන ලද නොබැඳි පිළිවෙත මෙයින් බරපතළ ලෙස බිඳවැටෙන අතර, ශ්‍රී ලංකාව, ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ පැහැදිලි පාර්ශ්වකරුවකු බවට බලහත්කාරයෙන් පත් කරගෙන තිබෙන බව පැහැදිලි වේ. එය රටේ අනාගතය බරපතළ ලෙස අනතුරට හෙළීමක් වීම වැළැක්විය නොහැකි ය.

ලාංකිකයන්ගේ දත්ත ඉන්දියාවට

දෙවැනි ඉතාම තීරණාත්මක ගිවිසුම වන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනන්‍යතා සැලැස්ම ක්‍රියාත්මක කිරීම මුළුමනින්ම ඉන්දියාවට පැවරීමයි. Sri Lanka Unique Digital Identity ^(SL-UDI) වැඩසටහන මගින් සිදු කරන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවවිද්‍යාත්මක දත්ත (Bio Metrics Data) ඇතුළත් අනන්‍යතා පත්‍ර නැති නම් ඩිජිටල් හැඳුනම් පත් පිළියෙළ කර ජනතාව වෙත නිකුත් කිරීමයි. මෙම වැඩසටහන සඳහා මුදල් යොදවන්නේ ඉන්දියාවයි. මෙම ලියුම්කරු සතු තොරතුරු අනුව මෙම වැඩසටහන සඳහා මේ වසරේ පෙබරවාරි 07දා කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබේ.
මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ ඉන්දියානු තාක්ෂණ සමාගමක් වෙත මෙම දත්ත පද්ධතිය ගොඩනැඟීම, නඩත්තුව, යාවත්කාලීන කිරීම සහ පවත්වාගෙන යෑම භාර දීමයි. එමඟින් සමස්ත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේ සමස්ත ජීව දත්ත පද්ධතිය ඉන්දියාව විසින් තමන් සතු කර ගෙන තිබේ. අඩුම වශයෙන් ඉන්දියාව සිය පුරවැසියන් වෙනුවෙන් පවා මෙවැනි ව්‍යාපෘතියක් තවමත් සකස් කර නැති තත්ත්වයක් තුළ අපේ රටේ ජනතාවගේ ජීව දත්ත රැස් කිරීම, එසේ කිරීමට බාහිර පාර්ශ්වයක් සම්බන්ධ කර ගැනීම බරපතළ ආරක්ෂක ගැටලු මතු කරන්නක් බව පැහැදිලි ය.
කොටින්ම රටේ සමස්ත ජනතාවගේම සියලුම ජීව දත්ත පද්ධතිය ඔවුන් සතු වීම බරපතළ තත්ත්වයක් වන අතර, ලෝකයේ කිසිදු රටක් මෙවැනි දත්ත පද්ධතියක් ලෝකයේ වෙනත් රටක් වෙත ලබා දෙන්නේ නැත. නමුත්, අපේ රටේ එසේ සිදුව ඇත.

මොනවද මේ ඩෝනියර්?

මුදල් ඇමැතිවරයාගේ මාර්තු මස ඉන්දියා සංචාරයට පෙර ඉන්දියාව බලහත්කාරයෙන් අත්සන් කරගෙන ඇති අනෙක් ගිවිසුම වන්නේ DO – 228  නමැති ඩෝනියර් යානා 02ක් ශ්‍රී ලංකාවට ලබා දීමට අදාළ ගිවිසුමයි. මෙරට සමුද්‍ර ආවේක්ෂණ කටයුතුවලට යැයි කියමින්, මෙම යානා දෙක අපේ රටට ලබා දීමට ඉන්දියාව මේ වන විට කටයුතු කරමින් තිබේ. Hindustan Aeronautical Limited නමැති ඉන්දියානු ගුවන් යානා තාක්ෂණ සමාගම විසින් ජර්මන් අවසරය ඇතිව මෙම ඩෝනියර් යානා නිපදවනු ලැබේ. මෙයින් එක් යානයක් අපේ රටට ප්‍රදානයක් ලෙස ඉන්දියාව ලබා දේ. අනෙක් යානය අපේ රට මිලට ගත යුතු ය.
පවතින දත්තවලට අනුව මෙවැනි යානයක මිල ඇමෙරිකානු ඩොලර් මිිලියන 20-24ත් අතර වේ. මෙවැනි යානයක් නිපදවා ලබා දීමට කාලයක් ගත වන බැවින්, එම කාලය තුළ එනම් වසර 02ක කාලයක් සඳහා තමන් සතු ඩෝනියර් යානයක් ලබා දීමට ද මෙම ගිවිසුම මඟින් ඉන්දියාව විසින් එකඟ වී තිබේ. ඒ සමඟ ඉන්දියානු ගුවන් හමුදාවට අයත් නිලධාරීන් පස්දෙනකු ඉදිරියේ දී අපේ රටට පැමිණෙන අතර, ඔවුන් සඳහා නවාතැන් ඇතුළු සියලු වියදම් අදාළ වසර 02ක කාලය තුළ දැරීමට මෙම ගිවිසුම අනුව අපට සිදු වේ. එමෙන්ම මෙම ගුවන් යානා සැපයීම ආරක්ෂක උපායමාර්ගයක් ලෙස මෙන්ම කෙළින්ම ඉන්දියාවේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමේ එක් පියවරක් ලෙස ද සැලැකිය හැකි ය.

පාවෙන තටාකාංගණය

මේ අතර ටොන් 4,000ක් පමණ වන පාවෙන තටාකාංගණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීමට ද ඉන්දියාව කටයුතු කර ඇත. එයට අදාළ ගිවිසුම ද කලබලයේ අත්සන් කරන ලද ගිවිසුම්වලට ඇතුළත්ය. ශ්‍රී ලංකා නාවික හමුදාව සිය නෞකා නඩත්තු කටයුතු වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 600කට වැඩි මුදලක් දරනු ලැබේ. දැනට මෙම සියලු නඩත්තු කටයුතු සිදු කරනු ලබන්නේ ‘කලම්බු ඩොක්යාඩ්’ නම් මෙරට පිහිටි සමාගම විසිනි. නමුත්, මෙම වෙළෙඳාම අත්පත් කර ගැනීමේ පළමු උපායමාර්ගයක් ලෙස මෙම පාවෙන තටාකාංගණය අපේ රටට නොමිලයේ දීම සිදු කරනු ලැබීම පිටුපස ඇති සත්‍යය බව පැහැදිලි ය. ගෝවා නැව් තටාකාංගණ සමාගම විසින් මෙම ප්‍රදානය සිදු කරන අතර, එහි දෙවැනි අදියර ලෙස අපේ රටේ සියලුම නැව්වල නඩත්තු කටයුතු මෙම සමාගමට පැවරීම සිදුවන බවට කිසිදු සැකයක් තබා ගත යුතු නැත.

ධීවර වරාය සියල්ලම ඉන්දියාවට

ඊළඟට අත්සන් කර ඇති ගිවිසුම වන්නේ අපේ රටේ ධීවර වරාය ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව මැදිහත් වන ගිවිසුමයි. ඒ ඔස්සේ මූලික වශයෙන් පේදුරුතුඩුව, පේසාලේ, ගුරුනගර් සහ බලපිටිය යන ස්ථානවල ධීවර වරායන් ඉදිකිරීමට ඉන්දියාව මැදිහත් වීමට නියමිත ය. මෙහි ඇති බරපතළකම වන්නේ වෙනත් අන්‍යොන්‍යව එකඟ විය හැකි අපේ රටේ ඕනෑම ස්ථානයක අනාගතයේ ධීවර වරායන් ඉදිකිරීම සහ පවත්වාගෙන යෑම සඳහා ඉන්දියාවට මැදිහත් වීමට ඇති අයිතියට අදාළ වගන්තියක් ද මෙම ගිවිසුමට ඇතුළත්ව තිබීමයි. මෙම අවබෝධතා ගිවිසුම ඉතා බරපතළ වන්නේ රටේ ඕනෑම තැනක අවශ්‍යතාව පරිදි ධීවර වරාවල් ඉදිකිරීමට ඉන්දියාවට මැදිහත් වීමට අයිතියක් ලබා දී තිබීමයි.

දිගුකාලීන සැලසුමක්

මුදල් ඇමැතිවරයාගේ සංචාරයේ දී ඉන්දියාව විසින් ණය ලබා දෙනු ලැබුවේ කිසිදු කොන්දේසියක් නොමැතිව බවට ආණ්ඩුව සිදු කරන ප්‍රකාශයේ ඇති ව්‍යාජ බව මෙම ගිවිසුම් 05න් පමණක් අපට තේරුම් ගත හැකි ය. පුදුමය වන්නේ කැබිනට් මණ්ඩලය මේ ගිවිසුම් සියල්ල අනුමත කර තිබීමයි. දේශපාලනිකව තමන්ට හිතවත් පාලනයක් ඇති කර ගැනීම, ආර්ථික වශයෙන් තමන්ට අවශ්‍ය පරිදි මර්මස්ථාන අත්පත් කර ගැනීම ඉන්දියාව උපායමාර්ගික ලෙස සිදු කරන ක්‍රියාවලියකි. අද අපේ රටේ සිදු වන්නේ එයයි.
තමන්ට නියමින් හෝ අනියමින් පාලනය කර ගත හැකි පාලකයන් පිරිසක් බලයට ගෙනැවිත්, පවතින ආර්ථික අර්බුදය යොදා ගනිමින් සහ අනතුරුව ක්‍රමක්‍රමයෙන් රට තුළ ආර්ථික අර්බුදය උපක්‍රමික ලෙස උත්සන්න කොට රටත්, ජනතාවත් අසරණ කොට ඒ මතින් රටේ මර්මස්ථාන අත්පත් කර ගැනීම මෙන්ම ආරක්ෂාවට අදාළ ස්ථාන අත්පත් කර ගැනීම ඉන්දියාව අපේ රටේ මේ වන විට සිදු කරන ක්‍රියාවලියයි. 74 වසරක අමනෝඥ ආණ්ඩුකරණය සහ රාජ්‍ය පාලනය මෙවැනි තත්ත්වයක් ඇති කර ගැනීම පහසු කර තිබේ.
මේ සියල්ල සිදු කරන්නේ ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ දිගුකාලීන සැලැස්මකට අනුව සහ රාජපක්ෂලා දැනුම්වත්ව බව මේ රටේ ජනතාව තේරුම් ගන්නේ නැති නම් තවත් බොහෝ දේ ඉදිරියේ දී ද අපේ රටට අහිමිව යනු ඇත●

අනුහස් බණ්ඩාර

 
 
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.