මිනිසුන් මුළුමනින්ම රැවටුනේ මිහිපිට කිසි දිනක නොපැවතුන ගෝඨාභය නම් ප්‍රබන්ධයකට

ගෝඨාභය වැරදීමක් වු ආකාරය
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ වැරදීමක් බව ඔහුව තෝරා ගත් මිනිසුන් විසින්ම ප්‍රසිද්ධියේ ඔහුගේ මෑණියන් මතක් කරමින් තීරණය කරමින් සිටින මේ මොහොතේ, මෙම සටහනෙන් උත්සාහ කරන්නේ ඔවුන්ට වැරදුණේ කොහොමද කියන කාරණය තේරුම් ගැනීමටයි.
හැටනව ලක්ෂයක් කියු පමණින් ඒ ඔක්කොම එකම අරමුණක සහ එක ගොඩක් පිරිසක් නොවන අතර එබැවින් මේ වැරදුණු පිරිස ලෙස සලකා බලන්න වඩාම සුදුසු කවුද යන්න පොඩ්ඩක් පැහැදිලි කරගමු.
සාමාන්‍යෙන් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය වැනි දක්ෂිණාංශික ව්‍යාපාරික පක්ෂවල විශේෂ ලක්ෂණයක් තියනවා; එනම්, ඒවායේ නායකයින්ට වඩාම සමීප වෙන පිරිස් එසේ සමීප වෙන්නේ පක්ෂය හෝ නායකයා පාවිච්චිකර ඔවුන්ට අවශ්‍ය ව්‍යාපාරික සහ අනිකුත් අවශ්‍යතා කර ගැනීමට වන අතර බලය හරහා අවශ්‍ය දේ කරගන්න පුළුවන් තාක් කල් ඔවුන් පක්ෂයේ මතවාද නායකයාගේ ගුණ නුගුණ ප්‍රතිපත්ති ආදිය ගැන කරදර වෙන්නේ නෑ.
සාමාන්‍යයෙන් එම පක්ෂ වල ඕනෑම පාලකයෙකුට වඩාත් සමීපවෙන්න සමීපවෙන්න ඉන්නේ මෙම වාසි සොයා යන දේශපාලකයින් ද ඇතුළු ඔහුව ඇත්තටම නොගන්නා පිරිස වන අතර ඔහුට වඩා ඈත්වෙන්න ඈත්වෙන්න ඔහුව තෝරා ගන්නා අය ඊට වඩා ඔහුව ඇත්තටම ගන්න අයයි. ගෝඨාභය වැනි හොඳ මිනිසෙකු ඇවිත් මේ රට දියුණු කර තමන්ට හොඳ කලදසාවක් යයි කියල හිතපු ඔහුව ඇත්තටම ගත්ත සාමාන්‍යය ජනතාවයි මේ වැරදිම කරගෙන තියෙන්නේ. අපි මේ කතා කරන්න යන්නේ ඔවුන්ට වැරදුණ හැටියි. අනිත් කට්ටිය, ඔහුව ඇත්තටම ගන්නේ නැතුව ඔහුට සමීප වුන අය බොහෝවිට මේ වන විටත් අවශ්‍ය වැඩ ටික කරගෙන අවසන් විය හැකියි. එකත් එකටම මේ වන විට ඔවුන් ඊළඟට එන පාලකයා කවුරු හෝ වේවා ඔහුට සමීප වෙන ආකාරය සොයමින් සිටියි. ඔවුන්ව තේරුම් ගැනීම එතරම් සංකීර්ණ නැහැ.
ඇත්තටම රටක් කියන්නේ මොකක්ද එය හදනවා කියන්නේ මොකක්ද ඊට ගත යුතු තීරණ ගන්නෙ කෙසේද ඊට අවශ්‍ය දැනුම කුමක්ද මේ කිසිත් නොදන්නා සාමාන්‍ය මිනිසා බොහෝ විට රට හැදීම තේරුම් ගෙන තිබුණේ පවුලක් හැදීම හෝ පාසලක් පාලනය කිරීම වැනි බාහිර හතුරන්ට ගසා එළවා තම දරුවන්ට ආදරය ඇති පියකු දැඩි විනයක් ඇතුව හැසිරීමේ චරිත ලක්ෂණයක් ලෙසයි. එය ඔවුන් එදිනෙදා ජීවිතයේ හොඳ පියකු ගේ පාලනය ඇතුළුව මිනිස්සු හදන හැටි ගැන කියන දේවල් වලින් පැහැදිලි වෙනවා. දේශපාලන සංකීර්ණතා නොදන්නා ඔවුන් සාමාන්‍යයෙන් එය හඳුනගන්නෙ ප්‍රතිරූපයක් (image) හරහායි. බොහෝ කාලයක සිට නීතිය සහ පිළිවෙලේ ආධිපත්‍ය යටතේ වැඩී නැති මෙම ජනතාව යම් කිසි තැනක් ‘හැදීම’ සම්බන්ධයෙන් විශ්වාස කරන්නේ ක්‍රමයක් නොව පුද්ගල පෞර්ෂයක් නැත්නම් ප්‍රතිරූපයක්. (ඇත්ත වශයෙන්ම අපට පාලකයෙකු අවශ්‍ය වෙලා තිබුණේ ඔහුගේ චරිත ලක්ෂණ වලින් රට කරවීමට නොව මෙම නැති වූ ක්‍රමය ( System) නිර්මාණය කර ගැනීමටයි).
එදා ගෝඨාව තෝරාගත් ජනතාව ඉදිරියේ වඩාත් කැපී පෙනුනේ අද මෙන් මූලික අවශ්‍යතා පිළිබඳ දුෂ්කරතාවයකට වඩා අපරාධ දූෂණ වංචා අක්‍රමිකතා ආදියයි. (පොදුවේ අපි දියුණු නැති රටක් කියන එක කවදත් ඒ ජනතාව තුළ නිදන්ගතව තිබුණා).ඊට අමතරව යමක් තිබුණේ නම් ඒ වූ කලි ඒ වන විටත් රාජපක්ෂලා විසින් නිර්මාණය කරල තිබුණු භීතිය වූ මුස්ලිම් දමිළ ආදී අන්‍ය ජාතිකයන්ගෙන් සිංහලයාට වීමට නියමිත තර්ජනයි. ගෝඨාභයව නාකත්වයට යෝජනාවන කාලය වන විටත් මිනිසුන් කලක ඉඳන් පොදුවේත් විශ්වාස කරමින් තිබුණ දෙයක් නම්, එනම් අරකී ප්‍රශ්ණ වලට විසදුම ලෙස, මේ රට හදලා ගන්න නම් රට දැඩි ඒකාධිපතියෙක් වැනි නොසැලෙන නොබියව තීරණ ගන්න නායකයෙක් අතට යා යුතු බව. ඒ බව මිනිසුන් තුළින් අපහැදිලිව හා විවිධ ලෙස නිතර කියවුනේ “රටට ආදරේ කරන ඒකාධිපතියකු”අවශ්‍ය ලෙසයි.
කෙසේ හෝ ගෝඨා එවැනි ප්‍රතිරූපයක් ඇති පුද්ගලයකු ලෙස මතුවන්නේ ඉබේම නොවේ. එය අර රටට ආදරය කරන ඒකාධිපති වැනි ජනතාව තුළ අපැහැදිලිව ඒ වන විටත් තිබුණු අදහසට අනුව ගෝඨා පිළිබඳව එම ප්‍රතිරූපය ඔහුගේ පාර්ශ්වය විසින් ඉතා සැලසුම් සහගතව ක්‍රමානුකූලව නිර්මාණය කර ප්‍රචාරය කරන ලද එකක්. මේ සඳහා ගෝඨාභය පැමිණිය කාලයේ ඒ පිළිබඳව කරන ලද ප්‍රචාරක දැන්වීම් නිරීක්ෂණය කරන්න. ඒ සියල්ලේම ඇත්තේ රටට ආදරේ කරන ඒකාධිපතියා අදහසට සහයෝගය දක්වන ප්‍රතිචාරක ප්‍රොපගැන්ඩායි. අයුක්තිය අසාධාරණය දූෂණයට එරෙහිව දැඩිව ක්‍රියාකරන ජාතියට ආදරය මිනිසා! මහින්ද එක්ක කරපු සෙල්ලම් ගෝඨා එක්ක බෑ කියලා අයියාගෙන් මල්ලිව වෙන්කර ගනිමින් මිනිස්සු කියනවා අපිට ඇහුනා.
විශේෂයෙන් ගෝඨාට තිබුණු හමුදාමය පසුබිමත් මෙම ප්‍රතිරූපය ගොඩ නැගෙන්න සෑහෙන සහයක් වුනා. පසුගිය කාලයේ යුද්ධය වෙනුවෙන් හමුදාවේ ප්‍රතිරූපයත් මෙවැනිම ආකාරයකට ගොඩනඟලා තිබුණ ප්‍රබන්ධයක්. ජාතියට ආදරේ කරන නිර්භීත සිංහල බෞද්ධ රණවිරුවා! මොන රටේ ගත්තද හමුදාව යනු මිනීමැරීම සාධාරණය කරන දෘෂ්ටිවාදයක් විසින් මෙහෙයවන කුලී හේවායන් පිරිසක් පමණයි. එබැවින් හමුදා පසුබිම හරහා ගෝඨාට සිදුවුණේ ප්‍රබන්ධයකින්ම ප්‍රබන්ධයක්ම නිර්මාණය උනාට වැඩි යමක් නෙවෙයි.(අවසානයේ ජනතාව විසින් එදා සිංහල ජාතිය බේරා ගැනීමේ වීරයන් කළ මෙම කුලී හේවායන්ම දැන් දූෂිත ගෝඨා ආරක්ෂා කරන්නට එම ජනතාවට එරෙහිව කටයුතු කරනවා දැකීම අතිශය උත්ප්‍රාසජනක යි).
අර ප්‍රථිරූපයට තීරණාත්මක බලපෑමක් කරන බාහිර රූපය ගත්තම, ගෝඨාභයගේ නිකන්ම (plain) සුදු හෝ චාම් වර්ණ අත්කොට කමිසය සමග කළු වර්ණයක් වැනි දිගු කලිසම සහ පැසුණු කෙස් සහිත ප්‍රභූ වැඩිහිටියා මෙම ජනතාව තුළ ඇති කළේ ඔවුන්ගේ සමාජයේ වඩාම වගකිවයුතු සහ ගෞරවය දිනූ යම් උගත්කමක් ඇති මඟුල්තුලා, පුණ්‍ය සහ සුභසාධන කටයුතු ආදියේදී ගුරු හුරුකම් හෝ නායකත්වය දෙන සිංහල බෞද්ධ වැදගත් වැඩිහිටියායි- මහත්මයායි- පියායි. (දැනට පාර්ලිමේන්තුව ඉන්න බහුතරයක් හොරු ගම් පළාත් වල මේ භූමිකාව කර ඡන්දය දිනු අයයි)
අමතරව කලින් රාජපක්ෂ විසින් යුද්ධය දිනීමෙන් උපයාගත් ‘ ‘රාජපක්ෂ’ සංකල්පීය ප්‍රාග්ධනය දෙවරකට ආයෝජනය කර ඒ වන විට යම් අතිරික්තයක් තිබුන නම් එය අවසාන වතාවට ආයෝජනය කළේ ගෝඨාභය මතයි. එම වටිනාකම්ද මායාවක් බව දැන් තහවුරු වී අවසන්.
මහින්දගේ පාලනය යටතේ ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන්ට ඇතුළු තමා යටතේ සිටින නිලධාරී ලොක්කන්ට කේන්ති ගිහින් කුණුහරපෙන් බනින එකත් කේන්තියට එම නිලධාරීන් එහෙට මෙහෙට මාරු කරන එකත් ප්‍රකට කරුණක් වුණා. මේ බැනවැදීම් පිළිබඳ හඬ පට පවා එළියට ඇවිත් විදෙස් මාධ්‍යවල පවා ඔහුව දැඩි ලෙස විවේචනය කර තිබුණා. මෙම ලක්ෂණය තේරුම් ගත යුත්තේ අසාධාරණය අයුක්තිය සහ පිළිවෙල ඇති කිරීමට ඇති අනුරාගයකින් ආ ලක්ෂණයක් ලෙසට නොව සාමාන්‍ය පන්ති පසුබිම් වලින් ඇවිත් අධික බලයක් සහ මුදලක් අත්පත් කරගත් පසු පහල ඉන්න උන්ට කුණුහරුපයෙන් බනින ශ්‍රී ලංකාවේ උද්දච්ච සමාජ පන්තීන් වල ලක්ෂණයක් ලෙසටයි. සමහරවිට ගෝඨා සම්බන්ධයෙන් දැඩි සහ ඒකාධිපති යන අදහස ප්‍රචාරය වන්නත් මෙයත් හේතුවක් වෙන්න ඇති. මෙම චරිත ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ නායකයකු ලෙස ශික්ෂණයක් නැතිකම, කරුණු ගැඹුරින් තේරුම් ගන්නට නොහැකියාව,උග්‍ර නිලධාරීවාදය ආදිය යි. කෙසේ හෝ ගෝඨා පාලනයට ආපසු මෙම අශිෂ්ට හැසිරීම ඔහු විශාල වශයෙන් ප්‍රදර්ශනය නොකරන්න පරිස්සම් වුනා. නමුත් ගෝඨා සම්බන්ධයෙන් දැඩි සහ ඒකාධිපති යන අදහස ප්‍රචාරය වන්නත් මෙයත් හේතුවක් වෙන්න ඇති බවට සැකයක් නැහැ. මේ ලක්ෂණය ඔහුගේ පාර්ශ්වය අර්ථකථනය කලේ අර රටට ආදරේ කරන ඒකාධිපතියා හදන්නයි.
මෙතැනදී අපේ ජනතාවට ප්‍රධාන වැරදීම් දෙකක් සිද්ධ වුණා. එකක් ගෝඨා පිළිබඳව විශ්වාස කළ ප්‍රතිරූපයම වැරදියි. ගෝඨාට එහෙම පෞරුෂයක් ප්‍රතිරූපයක් නැහැ. අනික එම චරිත ලක්ෂණ තිබ්බ ප්‍රතිරූපයක් වුවත් ඔවුන් බලාපොරොත්තු වෙන රට නිර්මාණය කරන්නට ඊට නොහැකියි. ඒ වගේම කෙනෙක් රටකට කෙතරම් ආදරේ කලත් රට දියුණු කරන්න බැහැ, ඒකාධිපතියෙක් වුණත් රටක් දියුණු කරන්න බැහැ. රටක් දියුණු කිරීමට අවශ්‍ය වන්නේ රටක් දියුණු කරනවා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව මනා අවබෝධයක් ඇති රටේ වෙලා තියෙන අර්බුද ද මැනවින් තේරුම් ගන්නට පුළුවන් ඊට පිළිතුරු හොයන්නට පුළුවන් සහ ඒ උවමනාව ඇති ගෝලීය සන්දර්භයක් තුළ දේශපාලනය ප්‍රගුණ කරපු නායකයෙකුටයි. නමුත් ගෝඨා පාලනයට ආපු දවසේ සිට අපි දැක්කා ඔහුගේ සම්මුඛ සාකච්ඡා, ජාතිය ඇමතීමේ කතා මෙන්ම විවිධ ක්ෂේත්‍ර චාරිකා වලදීත් ඔහු කෙතරම් දේශපාලනය පිළිබඳව නොදැනුවත් ද විෂයට කෙතරම් ආධුනික ද රටේ ප්‍රශ්න ගැන පවා කෙතරම් අඩු නොමේරූ දැනුමක්ද තියෙන්නෙ කියන එක. ඒ වගේම ඔහු පෙන්නුම් කළා මේ රට වෙනස් කිරීමට අවශ්‍ය නීතියේ ආධිපත්තිය ස්ථාපිත කිරීමේ සිට අවශ්‍ය කිසිදු තීරණයක් ගැනීමට ඔහුට දැණුමක් හෝ ශක්තියක් නැති බව. මහින්ද යටතේ හිටපු කිසිදු හොරෙක් හෝ දූෂණයක් ඔහු යටතේ වෙනස් වුණේ නෑ.
මේ අනුව මිනිසුන් මුළුමනින්ම රැවටුනේ මිහිපිට කිසි දිනක නොපැවතුන ගෝඨාභය රාජපක්ෂ නම් ප්‍රබන්ධයකටයි.
මෙසේ පුද්ගලයෙකුට නැති හැකියාව සහ චරිත ගුණවලින් ප්‍රතිරූපයක් හදා සමාජ වගකීමකින් තොරව මිනිසුන් රවටා තමන්ට අවශ්‍ය දෙයක් ඒ හරහා කර ගැනීම නායකයින් හරහා විතරක් නොවේ එදිනෙදා සිවිල් සමාජයේ දී ද ඉතා සුලභව සිද්ධ වෙනවා. දෙයියනේ මේ අර අපි හිතපු එකා නෙමේනෙ කියලා එක්තරා තැනකදි අපට හිතෙන්නේ එතකොටයි.
ඒ වගේම හොදට හෝ නරකට ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ නායකයන් තෝරා ගත්තේ මීට වඩා වෙනස් ක්‍රමයකට ද නෙවෙයි. දැන් ඇත්තේ වෙනස්ව සිතීමට උත්සාහ කිරීමයි.

– ධනංජය කරුණාරත්න

සබැඳි

Leave a Reply

Your email address will not be published.