මේ වෑයමට කිසිවකු නොම වනු උරන – කොටුවෙන් කොටුව නරඹමු කැබිනට් තොරණ

කැබිනෙට්ටුවේ පුටුවල හිමිකම් දරන
අයගේ කැරැට්ටුව කීමට මුල පුරන
මේ වෑයමට කිසිවකු නොම වනු උරන
කොටුවෙන් කොටුව නරඹමු කැබිනට් තොරණ
එක්කං ආවෙ වගෙ කියමින් පුටින්ය
බැලුවම අනේ වැඩ ඔක්කොම කටින්ය
එන්නේ හාල් ඩිංගත් දැන් රටින්ය
ගියොතින් ගෙදර ලංකාවම තුටින්ය
වැඩ කළෙ අලුත්ගමගේ නම් අමු කැවිලා
හති දැන් ගොවියන්ට ගොවිතැන ගැන තැවිලා
දෙමු පම්පෝරි නැතිමුත් ගොවි දුක නිවිලා
පඩයක් නොගිය ලෙස ඉමු හිටියත් රෙවීලා
⁣රටේ සුව සැදුම දැන් කෙහෙලිය සතුය
තීරණ ගැනුමෙ අයිතිය ඔහුටම නතුය
ප්‍රයිවට් සෙකට්‍රිට ගත යුත්තෙම පුතුය
පවුලේ සෞඛ්‍යට මුල් තැන දිය යුතුය
දෙන්නම් ඇමතිකම් එන්නැද්දෝ රංගේ
ඇහු එස්.බී.ත් හි⁣ටියේ වී නැතිබංගේ
ඒ හැටි නොසලකන කොහොමත් විළිසංගේ
ලැබුණා එකක් ඔහුටත් අන්තිම ඩිංගේ
වැටුණේ හෙල්ත් කෝවිඩ් කල ඇයගෙ පිටේ
දැම්මා මුට්ටි දුව දුව ඇය හතරවටේ
ඇගෙ ශක්තිය ඇතිද බලශක්තියට රටේ
දේවිය පවිත්‍රා මිණිපුර මැනික් කැටේ
ලැබුණේ ලොකුගේට කාරිය තෙලේය
මිනිහත් ඉතිං එය හොදටම කළේය
වෙනසක් වුණේ දින දින තෙල් මිළේය
තෙල් පෝලිම්වලත් මිනිසුන් මළේය
ධීවර ප්‍රජාවම දැන් නැට්ටට ලොස්ය
උන් දැන් තියන්නේ හැම තිස්සෙම දෙස්ය
එක්ප්‍රස් පර්ල් වන්දිය ඒකත් මිස්ය
මාලුත් රවට්ටන්නේ ඩී.ඩග්ලස්ය
දෙන දේ කකා වෙන දේකට හිස නැවිලී
ඉන්නේ වැවිලිකරුවොත් දැන් දැන් ඇවිලී
නිම නෑ පොහොර පස්සෙන් දුවනා දිවිලී
පතිරණ කොහොම කරමුද බං අපි වැවිලී
ඉස්සර ලයිට් ගියෙ සද්දෙට ඩලස් ගගා
වැඩ කොයිහැටි වෙතත් ඇත ළග කතා මෙගා
දන්නා කියන උන් ඉදිරියෙ මොටද රඟා
පත්තරයක් බලන් ඉමු දැන් ගහං ලගා
හාබර් පැත්තෙ හෙම ඔබ ගියහොතින් මිත
අතිශය දක්ෂ රංඟන ශිල්පියෙක් ඇත
ගිනිගත් නැවට තාමත් වන්දියක් නැත
ආඩම්බරයි කලුතර රත්තරන් පුත
ඉස්සර වමේ කකුලකි නමගිය චතුර
නොබියව එදා ගියෙ ඔහු පොලිටික්ස් අතුර
බැහැපං වාසු වැට උඩ නොයිදා මිතුර
නැත්නම් විශය වගෙමයි උඹ ඇල්වතුර
තිබුණේ ඇමතිකමකට කවදත් හිතය
ඇත්තේ ඇමතිකමටම ගැලපෙන ගතය
දිය යුතු සිරිපාල කම්කරුවට සෙතය
ඇත්තේ අවුලකට උන්දැට නිදිමතය
ඉන්නේ විදෙස් කටයුතු ගැන ජී.එල්.ය
ඇවිදින් ඇමතිකම් කෙරුමට බොහො කල්ය
උගතෙක් ලෙසින් ඉස්සර ලැබුණේ මල්ය
පොලිටික්ස්වලට ආවොත් උගතත් දෙල්ය
රැකුමට කියා වනජීවියො සහ වනය
සී බී.අතට දුන්නේ එහි මුල් තැනය
රැකගන්නවාටත් වැඩියෙන් එම ධනය
මිනිහත් දෙසන්නේ වැඩිපුර වැදි බණය
පැවරුණු ටුවරිසම් ගම්පහ ඇමති පුතා
පවුලෙන් දේශපාලනයට පැමිණ ඇතා
ඇහෙනව විටින් විට පවසන විවිධ කතා
නම වාගෙම වැඩත් තිබුණොත් හැඩයි ඉතා
අපෙ ඉකොනොමිය ගොඩ අරගත් ඇතාණෝ
ඒ ගැන සියල්ලම දත් නැණවතාණෝ
රාජපක්ෂලගෙ මද්දුම පුතාණෝ
මිනිහා ඩුවල් සිටිසන් මොළ හතාණෝ
ගුණවර්ධන කියා රට තොට නම රැන්දූ
දැන් නම් සමරසිංහද සැකයකි කැන්දූ
සතෝසේ මල්ල ගැන ගයනා කවි සින්දූ
මාර වැඩේ වුණෙ ලංකාවට බන්දූ
යහපාලනේ එන්නට කිට්ටුව දිනක
හිටියේ පනී නොපනී වාගේ තැනක
ලෝකල් ගවර්මන්ට් ගැන බල බල කොනක
සයිලන්ස් මොකෝ ඉස්සර මොර දුන් ජනක
වෙනදා වගේ නොව අද නූගතුන් හැලී
ඇවිදින් වියත්මග උදවිය නමින් දිලී
වන් ලෝ වන් කන්ට්‍රි කියමින් කරන කෙළී
කදිමයි වැඩේ සිදුවෙන අයුරු නම් අලී
කරනා තරුණ මැතිඳුණි සොමියෙන් ක්‍රීඩා
නොකරනු බාප්පා මෙන් රටකට ප්‍රෝඩා
ඉන්නට රටක් නැති තැන ජනයට නාඩා
මිනිසුන් කියන්නේ දැන් පවුලම පෝඩා
කොළඹින් එකට පැමිණිය සේකර වීර
පෙන්නන පොලිස් වැඩ කිඩ එහෙමත් මාර
රට තුළ සමව ගැලුවත් නීතිය දෝර
සමහරු කිච කරති මිනිහා ලෙස කෘෘර
ඉවසා පොහොට්ටුවෙ කෙනහිලි නොයෙක් දුක
කියනව අමරවීරල දැන් කතා නෙක
බේරාගෙන ඉතිං රැවුලයි කැඳයි දෙක
ගමු පරිසරේටත් වැඩියෙන් පුටුව රැක
හිටියේ බොරලුගොඩ සිංහයො වමේය
ඒ අය වැඩ කළේ අරගල බිමේය
පුතු නම් ටිකෙන් ටික දකුණට නැමේය
දැන් ඔහු එඩියුකේෂන් මැතිකමේය
කැඩුමට මයික් මිනිහා හෙන ඇළුම්ය
කරගැහුවේ ප්‍රවාහනයට දිලුම්ය
ඇත්තේ ඉතිං වැඩිපුර බොරු වෙලුම්ය
මේවා නුවර උන් පුම්බපු බැලුම්ය
දිව්වත් අරන් ණය ලෝකෙන් දෑත පපා
ජොනිගේ සුදිය යන එක පාරවල් කපා
ගුගුරයි මැතිසබේ දත්මිටි එහෙම හපා
මිනිහට හූ කියා ඉල්ලං කන්න එපා
විශයට අනුව භූමියටම ලොබ පාන
එහෙමයි ඉඩම් ඇමතිල ඉන්නත් ඕන
නිතරම වොයිස්කට්වල පේනව මූණ
පරසිදු අනුරපුර එස්.එම්.සඳසේන
කාරිය කරන්නේ ඉරිගේෂන්වලනේ
ඔහු වෙයි දෙටු පුතා පවුලෙන් මැදමුලනේ
ඔබලා පිළිබඳව දැන් රටටම මල නේ
මල්ලිල හදාගත්තොත් දැන්වත් එළ නේ
නායකයෙක්ය මෙතුමා නම් ජනමූල
කියමින් කලාකරුවාත් කෙරුවනෙ ආල
ගුලිකරගෙන අතේ ඔහු එක එක බෝල
මිනිහා තමයි ගැහුවේ නියමෙට රෝල
කවි රස බීමෙ අයිතිය ඔබ හට හිමිය
මේකට කමෙන්ට් දෑමට දැන් ඉඩ දෙමිය
ඒවා බල බලා මම ගන්නෙම් සොමිය
කැබිනට් ජාතකේ දැන් මෙතනින් නිමිය

– ප්‍රියන්ත කොඩිප්පිලි (FB)
2022 අප්‍රේල් 01

සබැඳි

Leave a Reply

Your email address will not be published.