අර්බුදය හා ඇවිළෙන ජනතා කෝපය

ආර්ථික අර්බුදය හමුවේ දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ යන්නා සේම භාණ්ඩ හිඟයක් ද ඇතිව තිබේ. තෙල් බවුසරයක් පිරවුම්පොළට පැමිණෙන විට මිනිසුන් රතිඤ්ඤා දල්වා එය පිළිගන්නා තැනට ආණ්ඩුව විසින් රට ගෙනැවිත් තිබේ. ගෑස් ලොරි නවත්වා ගෑස් ටැංකි බලහත්කාරයෙන් රැගෙන යන තැනට රට ගෙනැවිත් තිබේ.
අතීතයේ ජනතාව වෛද්‍යවරුන්ට, විදේශිකයන්ට ඕනෑම තැනක ප්‍රමුඛතාව දුන්නේ, මානුෂීය ගුණ සප්ිරි ජාතියක් ලෙස ලොවට පෙන්වා දෙමිනි. උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ මනුෂ්‍යත්වය ගිලිහෙමින් තිබේ. ඉන්ධන පෝලිම පැන යන්නට කිසිවකුටත් ඉඩ දෙන්නේ නැත. ඉන්ධන පෝලිම පැන ආ විදේශීය කාන්තාවක් හරවා යවන්නට ජනතාව කටයුතු කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල පසුගිය දිනවල සැරිසරනු දක්නට ලැබිණි.
එකිනෙකා මරාගැනීම
ඉන්ධන පෝලිම පැන ආ ත්‍රිරෝද රථ රියැදුරා සමඟ වාද කළ යතුරුපැදිකරුට හිමි වූයේ මරණය ය. නිට්ටඹුව ඉන්ධන පිරවුම් හලක දී පෝලිම් පැන ඉන්ධන ලබා ගත් ත්‍රිරෝද රථ රියැදුරකු හා පෝලිමේ සිටි යතුරුපැදිකරුවකු අතර බහින්බස් වීමක් ඇතිව තිබේ. පෝලිම පැන ඉන්ධන ලබා ගත් ත්‍රිරෝද රථ හිමිකරු ඉදිරියට ගොස් මඟ රැක සිට යතුරුපැදිකරු පැමිණි පසු ඔහු නවතා පිහියකින් ඇන ඝාතනය කර ඇත.
පිළියන්දල ඉන්ධන පිරවුම්පොළේ හිමිකරුට ඉන්ධන ලබා නොදුන්නැයි පෝලිමේ සිටි පිරිසක් පහර දී ඇත. බූලිවලට ඉන්ධන ලබා දීම නිසා පෝලිමේ සිටි තමන්ට ඉන්ධන නැති වූ බව කියමින් මේ පිරිස ඉන්ධන හල් හිමියාට හා සේවකයන්ට පහර දී ඇත. ජනතාව තමන්ගේ පීඩනය තමන්ගේම පන්තියේ මිනිසුන් වෙතින් පිටකර ගනිමින් සිටිති.
භූමිතෙල් පෝලිම්වල සිටින අය මැරීවැටෙන යුගයක් උදා වී තිබේ. ඉන්ධන පෝලිම්වල සිටි හතර දෙනෙක් මේ වන විට මිය ගොස් ඇත. ඔවුහු සියලු දෙනාම වැඩිහිටියෝ ය. තමන්ගේ නිවසේ දරුවන් රැකියාවට යන බැවින්, ඔවුන්ට උදවු වෙන්නට ගිය මේ අය පෝලිමේ සිටිය දී ඇති වූ ආතතිය හේතුවෙන් මිය ගොස් තිබේ. සමහර පුද්ගලයන් පැය 24ම පෝලිමේ සිටියවුන්ය.
සමහර කාන්තාවන් පාන්දර 5.00ට ගෑස් පෝලිමට එකතු වූ අය ය. එහෙත්, ඔවුනට ගෑස් සිලින්ඩරය ලැබී තිබුණේ නැත. මහනුවර එක් කාන්තාවක් සිය අතදරුවා සමඟ ගෑස් පෝලිමට පැමිණ සිටියේ උදේ 6.30ට ය. එහෙත්, එදින ද ඇයට ගෑස් ලැබුණේ නැත. කට්ටිය ගෑස් සිලින්ඩර තුන, හතර රැගෙන යන නමුත්, තමන්ට දහවල් වන තුරුත් ගෑස් සිලින්ඩරය නොලද බව ඇය මාධ්‍ය හමුවේ කීවා ය.
කුසගින්නේ සිටිමින් ජනතාව මේ පොරබදන්නේ ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට ය. නැතිනම් භූමිතෙල් ටිකක් ලබා ගැනීමටය. ඒ සිය දරුවන්ගේ කුස පිරවීමටය. පාලකයන්ට නොදැනෙන්නේ ද ජනතාවගේ මේ අවශ්‍යතාවය ය. මෙලෙස පෝලිම්වල සිටින ජනතාව පාලකයන්ට බැණවදින්නේ අසභ්‍ය වචනයෙනි. ඔවුන් පිට කරන්නේ තමන්ගේ පීඩනය ය.
පෝලිමේ සිටිනවුන් එකිනෙකා ඇනකොටා ගන්නවා සේ ම මහජන සාමය රකින්න පැමිණෙන පොලිසිය සමඟ ද ඔවුහු ගැටුම් ඇති කර ගන්නෝ ය. දින ගණනාවක් ගෑස් පෝලිමේ සිටි අගලවත්ත, බේරුවල ජනතාව පසුගියදා
ගෑස් ලොරියක් වටලා බලහත්කාරයෙන් සිලින්ඩර රැගෙන ගොස් ඇත. එවැනිම සිද්ධියක් නිට්ටඹුව ප්‍රදේශයෙන් ද වාර්තා විය. අවසානයේ ගෑස් රියැදුරාට නිට්ටඹුව පොලිසියට පැමිණීමට සිදු වූයේ ජනතාව බලෙන් ගෑස් ලබා ගැනීමට උත්සාහ කළ නිසාවෙනි.
නැව් ආවත් ඩොලර් නැත!
ගෑස් හිඟයක් මතු වූයේ, ඩොලර් අර්බුදය හේතුවෙනි. ගෑස් නැව් දෙකක් ලංකාවට පැමිණ තිබුණ ද, ඩොලර් නොමැති වීම හේතුවෙන් ඒවා ගොඩබෑමට නොහැකි විය. මේ නිසා දින කිහිපයක් ගෑස් බෙදාහැරීම නියමිත පරිදි කර ගැනීමට නොහැකි විය. ගෑස් නැව් 6ක් මේ වන විට පැමිණෙමින් තිබෙන බැවින්, ඉදිරි සතිය වන විට ගෑස් හිඟය අවසන් වනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
එසේම ලාෆ් ගෑස් තවමත් වෙළෙඳපොළේ නැත. ඔවුන් කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4,199.00ක් දක්වා වැඩි කළ ද, ඔවුන්ගේ ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළේ නැත. ලිට්‍රෝ ගෑස් සමාගම ද ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලා ඇතත්, ආණ්ඩුව තවමත් ඊට අවසර ලබා දී නැත.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දක්වා ගෑස් ආනයනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ඩොලර් තමන්ට ලැබී ඇතැයි ද ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. එහෙත්, අවුරුද්දෙන් පසු තත්ත්වය කෙසේ වේ දැයි කිව නොහැකි බව ඔහු කියා සිටියේ ය. ඉන්ධන සම්බන්ධයෙන් වන තත්ත්වය ද මෙයට සමාන ය. සෑම තැනම තවමත් ඉන්ධන පෝලිම් දක්නට තිබේ.
භූමිතෙල් හිඟය තවදුරටත්?
ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ඉන්ධන හා ගෑස් පෝලිම් මේ සතිය වන විට අවසන් කිරීමට ය. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දක්වා කෙසේ හෝ පෝලිම් නැති රටක් ඇති කිරීම වෙනුවෙන් ඔවුහු කටයුතු කරමින් සිටිති. ඉන්දියාවෙන් ලද ණය ඒ වෙනුවෙන් වැය කරමින් සිටිති. භුමිතෙල් හිඟය එසේ අවසන් කිරීමට නම්, භූමිතෙල් ආනයනය කිරීමට සිදු වේ.
අත්‍යවශ්‍යම කරුණකට හැර මින් පෙර මෙරටට භූමිතෙල් ආනයනය කළේ නැත. මන්ද රට තුළ භූමිතෙල් නිෂ්පාදනය කෙරුණේ සපුගස්කන්ද පිරිපහදුවෙන් වීම නිසා ය. බොරතෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදන ලෙස භූමිතෙල්, ගුවන් යානා තෙල්, දැවිතෙල්, තාර, ඉටිපන්දම් වැනි දේ ලැබුණේ ය. නමුත්, පිරිපහදුව බොරතෙල් නොමැතිව ඉකුත් 15දා සිට යළිත් වසා දැමුණේ ය. එම නිසා දැන් ඉහත කී සියලු අතුරු නිෂ්පාදන ද ආනයනය කිරීමට සිදුව තිබේ.
ඩොලර් අර්බුදයත් සමඟ එම ද්‍රව්‍ය ආනයනය කරාවි ද නැති ද යන්න ගැටලුසහගත ය. එම නිසා භූමිතෙල් ගැටලුව තව දුරටත් පවතිනු ඇතැයි තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. මේ අතර භුමිතෙල් තොග නිදහස් කරන්නේ ද සීමාසහිතව වීම ද භූමිතෙල් පෝලිම් ඇති වීමට තවත් හේතුවක් වී තිබේ. බස් රථවලට භූමිතෙල් නිකුත් කරනවා ය යන කාරණය මත මෙම සීමා කිරීම කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. එම නිසා භූමිතෙල් තොග පිරවුම්පොළවලින් ඇණවුම් කළ ද, ඒවා නිකුත් කරන්නේ සීමාසහිතව ය. සතියකට ඉන්ධන පිරවුම්පොළකට නිකුත් කරන්නේ තෙල් ලෝඩ් එකක් පමණකි. එනම් ලීටර් 6,600ක් පමණකි.
ඉන්ධන අර්බුදය හමුවේ තෙල් සංස්ථාවේ ද ගසාකෑම් සිදු වන්නේ ය. එනම්, තෙල් ඇණවුම් කරද්දී, කඩිනමින් තෙල් ගෙන්වා ගැනීම වෙනුවෙන් රුපියල් 5,000.00ක මුදලක් එක ඇණවුමක් වෙනුවෙන් ගෙවීමට සිදුව ඇතැයි බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. තෙල් ඇණවුම් කිරීම සංස්ථාව මඟින් පරිගණකගත කොට තිබේ. එහි දී පිරවුම්පොළකින් තෙල් ඇණවුම් කළ විට එම ඇණවුම පොරොත්තු ලේඛනයේ මුලට ගෙන ඒමට පරිගණක ක්‍රියාකරුට අල්ලස් දීමට සිදුව තිබේ.
අර්බුදයෙන් ගසාකෑම
එයට ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක සහයෝගයක් ලැබෙන බව තෙල් සංස්ථාවේ අනෙකුත් වෘත්තීය සමිති චෝදනා කරයි. මුදල් ගෙවන ඉන්ධන පිරවුම්හල්වලට දිගටම ඉන්ධන යැවීමටත්, අනෙක් අයට ප්‍රමාද වීමටත් හේතු සොයාබැලීමේ දී මෙම කරුණු අනාවරණය වී තිබේ.
තෙල් බෙදාහැරීමේ කටයුතු සිදු වන්නේ අලෙවි කළමනාකරු (සිල්ලර) යටතේ ය. ප්‍රාදේශීය ගබඩා 8ක් ඔහු යටතේ පවතියි. එම ගබඩා සියල්ල පරිගණකගත කර ඇති බැවින්, රට පුරා බෙදුම්හල්වල තිබෙන තෙල් තොග පිළිබඳ වාර්තාවක් දිනපතා ඔහුට ලැබේ. එලෙස තිබිය දීත්, ඔහු යටතේ සිටින පිරිස මෙලෙස කරද්දී, ඔහු නිහඬව සිටීම ගැන තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කනගාටුව පළ කරයි.
එම කාරණය මත යුද හමුදාව තෙල් සංස්ථාවේ පිරවුම් පොළවලට යොදවා ඇති අතර, මේ වන විට පිරවුම් හල් වෙනුවෙන් ඉන්ධන ඇණවුම් කරනුයේ, යුද හමුදාව විසිනි. ඇණුවම් කළ තොගය නිසි වේලාවට පැමිණියේ දැයි සොයාබලා වාර්තා කිරීමට යුද හමුදාවට අණ ලැබී ඇත.
මුතුරාජවෙල හා කොළොන්නාව තෙල් ගබඩාවල මේ වන විට සංචිත තොග කිසිවක් නැත. නෞකා මඟින් ගොඩබාන තෙල් ලැබී ඇති ඇණවුම් ප්‍රකාරව බෙදාහැරීමට තෙල් සංස්ථාව පියවර ගැනීම මෙයට හේතුව වී තිබේ.
ගජ වාසි ලබන සේවාවක්
පිරවුම්පොළවලින් ලැබෙන තෙල් ඇණවුම්වලට අදාළ ඉන්ධන තොග යොමු කරන පිරිස හඳුන්වන්නේ ‘ග්‍රැන්ටි ෆෝමන්වරුන්’ ලෙස ය. ඔවුන් පැය 8ක රාජකාරි කාලයකට හිමිකම් කීව ද, ඔවුනට ලබා දී තිබෙන ඉලක්ක ඊට පෙර සම්පූර්ණ කළ විට ඔවුන් පැය 8ක් රාජකාරී කළා සේ සලකා ඉන්පසුව ගත වන සෑම පැයක් වෙනුවෙන්ම දිරි දීමනාවක් ලබා දෙන්නේ ය.
ඒ අනුව මෙම පිරිස් සාමාන්‍යයෙන් මසකට පැය 300ක පමණ අතිකාල කරන බව තෙල් සංස්ථා ගිණුම් අංශ වාර්තා අනුව පැහැදිලි වේ. ඒ අනුව තෙල් සංස්ථාවේ මෙම අංශයේ සේවකයෝ මසකට රුපියල් ලක්ෂ 5ක පමණ වැටුපකට හිමිකම් කියන්නෝ ය. සංස්ථාවේ සියලු සේවකයන් රුපියල් ලක්ෂය ඉක්මවා වැටුප් ලබන්නේ මෙලෙස අතිකාල දීමනා ලබා ගැනීමෙනි. පිටත තෙල් පෝලිම් පැවැතීම නිසා තෙල් සංස්ථාවේ සේවකයන්ට සංස්ථාව ඇතුළේ ඇති පිරවුම් පොම්ප මගින් ඉන්ධන ලබා දෙන්නේ ය. එම පිරිස් එලෙස ලබා ගන්නා ඉන්ධන පිටතට ගෙන යන බවට ද මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ.
තෙල් පෝලිම් නතර වීමට තවත් සති දෙකක් පමණ ගත වනු ඇතැයි තෙල් සංස්ථාවේ ආරංචිමාර්ග සඳහන් කරයි. එනම්, තෙල් හිඟයක් පවතින බැවින්, බොහෝ දෙනෙක් තෙල් ගබඩා කර ගැනීමටත්, බූලිවලට ගෙන ගොස් හොර පාරේ විකිණීමටත් පුරුදුව සිටින බැවින්, තෙල් පෝලිම් තව දුරටත් පැවැතිය හැකි බව ඔවුන්ගේ තර්කය වී ඇත.
දේශීය කිරිපිටි මිලත් ඉහළට!
මේ අතර කිරිපිටි පැකැට්ටුවක මිල ද ඉහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් කටයුතු කළේ ය. ඒ අනුව කිලෝවක පිටි පැකැට්ටුවක මිල රුපියල් 1,950.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ග්‍රෑම් 450ක පිටි පැකැට්ටුවක මිල රුපියල් 720.00ක් දක්වා ඉහළ දමා තිබේ. මිල ඉහළ දැමුව ද, ඩොලර් අර්බුදය හේතුවෙන් ඔවුන්ට ප්‍රමාණවත් තොග ආනයනය කිරීමට නොහැකි වී ඇති බව කිරිපිටි සමාගම් සඳහන් කරයි.
ආනයනික කිරිපිටි සමාගම් පිටි මිල වැඩි කිරීමට හේතු ලෙස දැක්වූයේ, ඩොලරයේ අගය ඉහළ යාම හා ඉන්ධන මිල ඉහළ යාම යන කරුණු ය. එසේ තිබිය දී, දේශීය කිරිපිටි සමාගම් විසින් ද කිරිපිටි මිල ඉහළ දමා තිබේ. ඔවුනට ඩොලරයේ බලපෑමක් නැත. එහෙත්, මිල ඉහළ දමා තිබේ. කිරිපිටි ආනයනික සමාගම් කිලෝවක් රුපියල් 800.00කින් ඉහළ දමද්දී, දේශීය කිරිපිටි සමාගම් ද රුපියල් 600.00කින් මිල ඉහළ දමා තිබේ.
දේශීය කිරිපිටි සමාගමක් වන පැලවත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක ඉකුත් වසරේ කියා සිටියේ, තමන්ට විදේශයන්ට අපනයනය කිරීමට තරම් ප්‍රමාණවත් කිරි තොග තිබෙන බැවින්, ඒ වෙනුවෙන් පහසුකම් සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ය. එසේ කී දේශීය කිරිපිටි සමාගම ද පිටි මිල ඉහළ දැමීම කනගාටුවට කරුණකි.
ජනතාව මේ වන විට විශාල මූල්‍ය හා ආර්ථික පීඩනයකට මුහුණ දී සිටිති. සමහරුනට මුදල් ඇතත්, භාණ්ඩ නොමැති තත්ත්වයක් උද්ගතව තිබේ. මේ තත්ත්වය කෙදින අවසන් වේ ද යන පැනය සහ මේ ආණ්ඩුව ගෙදර යා යුතු ය යන හඬ ජනතාව තුළින් මතුවෙමින් තිබේ.

– ලසන්ත වීරකුලසුරිය

සබැඳි

Leave a Reply

Your email address will not be published.