“මේ වගේ නස්පැත්තියක් වෙලාවක අපේ අසල්වැසියා ගේම ගැහුවෙ කොහොමද”

අපේ අම්ම මුත්ත කාලෙවත් දැකපු නැති විලම්භීත ආර්ථිකයක තමයි දැන් අපි හිරවෙලා ඉන්නෙ. ඒකෙ දිග පළල කවුරුත් දන්න නිසා අමුතුවෙන් කියන්න උවමනා නැහැ. හැබැයි මේ වගේ නස්පැත්තියක් වෙලාවක අපේ අසල්වැසියා ගේම ගැහුවෙ කොහොමද කියලා දැන ගන්න එකනම් වටිනවා.
1991 වෙනකොට ඉන්දියාව බංකොලොත් වෙන්න ඔන්න මෙන්න වගේ තිබුණේ. ඒකට හේතු 2ක් තිබුණා. එකක් තමයි තෙල් මිල. ගල්ෆ් යුද්ධය නිසා තෙල් මිල එකපාරට අහස උසට නැග්ගා. ඒත් එක්කම ඉන්දියානු ආර්ථිකයේ අසමතුලිතතාවයයි මැදපෙරදිග රැකියා අහිමි වීමයි නිසා පිටරට ඉන්න ඉන්දියානුවෝ හම්බ කරල එවන ඩොලර් වලටත් කණකොකා හැඬුවා.
ඉන්දියාව ඒ වෙනකොට වැඩිපුර පයිරු පාසානම් තිබුණේ සෝවියට් කඳවුර එක්ක. ඇමෙරිකාවත් එක්ක ඒ තරම් ඇයි හොඳැයියක් තිබුණෙ නෑ. ලංකාවෙ ආර්ථිකේ විවෘත කරන කොට ජේ.ආර්. දිහා වපර ඇහින් බැලුවෙත් තමන්ගේ ගෙයි එළිපත්තේ ඇමෙරිකානු කොළණියක් හැදෙන්න යනවා කියන මානසිකත්වයෙන්. තමන්ගේ කපු කටින ආර්ථික ප්‍රතිපත්තිවලින් හොම්බෙන් ගිහින් ඉන්න වෙලාවක සෝවියට් දේශයත් ලෝක සිතියමෙන් හේදිලා ගිය නිසා ඉන්දියාවට යන එන මං නැතිව හිටියේ.
කොහොමද මේ අර්බුදයෙන් ගොඩ එන්නේ?
කාටද මේක භාර දෙන්නේ?
ඒ වෙලාවෙ අගමැති නරසිම්හ රාවෝ තීරණයක් ගත්තා. දේශපාලනයට එන්න හිතලවත් නැති මන් මෝහන් සිං කියල මහත්තයෙක්ව රාස්ට්‍රපති භවාන් වලට එන්නැයි කිව්වා. එහෙම ආවට පස්සේ මුදල් ඇමතිකම දීල වැඩේ ගොඩදාල දෙන්න කිව්වා.
හැබැයි මන් මෝහන් සිං කියන්නේ අට පාස් රට බාස් කෙනෙක් නෙවෙයි. ආර්ථික විද්‍යාව පිළිබඳව ඔක්ස්ෆර්ඩ් සරසවියේ PHD උපාධිධාරියෙක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙත් ලෝක ආර්ථිකය සම්බන්ධ වගකීම් දරාපු කෙනෙක්.
ලස්සනම කතාව තමයි උන්නැහේ පාකිස්තානයේ ඉපදිච්ච තලප්පාව බැඳපු සික් කාරයෙක් වීම. රාවෝට පස්සේ ලංකාවෙත් ඔය වගේම නිර්භීත තීරණයක් ගත්ත නායිකාවක් හිටියා. ඒ තමයි චන්ද්‍රිකා. එතුමිය දමිළයකු වූ කදිරගාමර්ව ගෙනත් විදේශ ඇමති කළා. ඒ උතුරේ දෙමළ අරගලයක් තිබුණු වෙලාවක. දැන්නම් හැබැයි ඒ වගේ දෙයක් කවුරු හරි කළොත් උන්දැට අබ සරණයි. එහෙම වුණොත් අර දැන් මිසින් වෙලා ඉන්න සාදුලා පස් හය දෙනාත් ආපහු කොළඹට ප්‍රාතීර්භූත වෙයි හිටු කියලා.
ඉන්දියාවෙ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 6ට බැස්සා.(අද ඒක ඩොලර් බිලියන් 631) ඉන්දියාව නම් දැවැන්තයා හතර ගාතින් වැටෙන්න තවත් සුමාන දෙකයි තිබුණේ. ඊට වඩා රට ඇදගෙන යන්න බැරි තැනටම ඉන්දියාව වැටිල තිබුණේ. විදේශ ණය ගෙවාගන්න බැරිවුණොත් ඉන්දියාවට රෙද්දක් ඇඳන් ආයෙත් ලෝකෙට යන්න බැහැ.
ඉන්දියානු ආර්ථිකයට ඒ වෙලාවෙ මුලින්ම උවමනා වෙලා තිබ්බේ යන්තම් ඔලුව කෙළින් තියාගන්න. ඒ වෙනුවෙන් මන් මෝහන් සිං හදිසි පියවර තුනක් ගත්තා.
එකක් තමයි රුපියලේ අගය අවප්‍රමාණ කිරීම. මුලින් සියයට නවයකින් බස්සලා ඊට දවස් දෙකකට පස්සේ තවත් සියයට එකොළහකින් බැස්සුවා. මුලින්ම එහෙම කළේ අපනයන වෙළඳපළ ශක්තිමත් කරන්න.
ඊට පස්සේ ආණ්ඩුව සතු රත්තරන් සංචිතය එංගලන්ත බැංකුවකට උකස් කරලා ඩොලර් මිලියන 400ක් ගත්තා. ඊට කළින් මැතිවරණය වෙලාවෙ ඉන්දියාව උකසට නෙවෙයි රත්තරන් ටිකක් ස්විස් බැංකුවකට සින්නක්කරව විකුණලා ඩොලර් මිලියන 200ක් අරන් තිබ්බා.
ඒ වගේම ඉන්දියාව IMF එකෙන් තවත් ඩොලර් බිලියන 2ක හදිසි ණයක් අරන් තිබ්බා. හැබැයි IMF ගියොත් මැරෙනවා කියන්න තරම් බක පණ්ඩිතයො ඒ ආණ්ඩුවෙ හිටියෙ නෑ.
ඒ වගේම ඉන්දියානු වෙළඳ ප්‍රතිපත්තියේ හා කර්මාන්ත ප්‍රතිපත්තියේ ව්‍යුහාත්මක වෙනස්කම් කීපයක් කළා.අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමාකළා.අපනයන සහනාධාර ඉවත් කළා. එතෙක් රජයේ සමාගම් හරහා කෙරුණු ආනයන වෙනුවට පෞද්ගලික අංශයටත් ආනයන කිරීමට ඉඩ දුන්නා.
බොහෝ අංශවල රාජ්‍ය අංශයේ එකධිකාරය අවසන් කළා. එතෙක් 40%ක් ව තිබුණු සමාගම්වල සෘජු විදේශ ආයෝජන 51%ක් දක්වා වැඩි කළා. බොහෝ ආයෝජකයන් එතෙක් රජයෙන් ලබාගත යුතු වූ කාර්මික බලපත්‍ර ක්‍රමය අහෝසි කළා. විදේශිකයන් විසින් කරන ආයෝජන සඳහා පනවා තිබුණු යල්පැන ගිය නීති ලිහිල් කළා.
මේ පියවර නිසා ඉන්දියාවේ ව්‍යාපාර කිරීම පහසු වුණා. විදේශ ආයෝජන ගලාගෙන ආවා.ඒ වගේම විදේශ භාණ්ඩවලින් මාකට්ටු පිරී ගියා.
ඒ වගේම තමන් සතුව ඇති කලු සල්ලි හෙළි කිරීමට ජනතාවට අවස්ථාවක් දුන්නා. ආණ්ඩුව ඒව හම්බ කර ගත්තේ කොහොමද අහ අහා පස්සෙන් පැන්නුවේ නැහැ. නඩු දාන්න, දඩ ගහන්න ගියේ නැහැ.
2004 මැතිවරණයෙන් ගාන්ධිලාගේ ඉන්දීය කොංග්‍රසය ජයග්‍රහණය කළා. සෝනියා ගාන්ධි තමන්ට ලැබුණු අගමැතිකම භාර නොගෙන ඒක මන් මෝහන් සිංට ලබා දුන්නා.
සිං මහත්තයා නිසා ඉන්දියාව සිංගප්පූරුවක් වුණා කියල අපි කියන්නෙ නැහැ. හැබැයි උන්නැහේ තමයි හතරගාතෙන් වැටිල හිටපු ඉන්දියාව දෙපයින් නැගිට්ටුවල ගත්තේ. සංවෘත රෙදිපිළි ඔතාගෙන ඔතෑනි ගතියෙන් හිටපු ඉන්දියානු ආර්ථිකය පණගහන්න ගත්තේ ඊට පස්සේ. ඒක හරියට මාවෝගේ යකඩ සපත්තුවට හිරවෙලා හිටපු චීනය ඩෙං ෂියාවෝ පෙං යටතේ උඩට ආවා වගේ. අපේ රටවල්වලත් නේරුලා, ගාන්ධිලා, මාවෝලා ගැන ඕනෑ තරම් කවි සී පද ලියැවෙනවා. ඒත් මන් මෝහන් සිංලා ගැන ඩෙං ෂියාවෝ පෙංලා ගැන එහෙම නෑ.
ඒකට පුදුම වෙන්න දෙයක් නෑ.ඒ අපේ හැටි. දුටුගැමුණුලා ගැන මහාවංශයේ පිටුගණන් ලියැවුණාට ගමරාළලාගේ ගෙවල් වල අටුකොටු පුරවපු වසභලා දෙවන, අග්බෝලා ගැන ලියවෙන්නෙ වදන් කිහිපයයි.

– ශානක ලියනගම (fb)

සබැඳි

Leave a Reply

Your email address will not be published.