ඵලදායීතාව…

“ඉස්කෝලෙ ළමයින්ට පෙළපොත් ගහන්න කොළ නෑ” කියාගෙන කන්තෝරුවට ගොඩවුණේ ප්‍රමිලා. එතකොටත් බ්‍රාන්ච් එක ම හිටියෙ ඒ ෆෝ කප කපා.
“ආයෙමත් උදාවෙලා ඵලදායීතා වසන්තෙ.” රාධා කිව්වෙ රෙජිෆෝම් එකක හිල් හදන ගමන්.
“හිල් ටික තියෙනවා දාන්න බඩු නෑ. දෙන්න මට ජිද්‍රකයක් මේ ගොනුව හිල් කරගන්න.” උදුම්බරා කියද්දී, ඉදිරිපෙළ පසුපෙළ දෙපෙළෙ ම කටවල් නතරවෙලා තිබුණෙ කන් ළඟ.
“ගොනු හිල් කරලා මඳි ගස්බඳිනවා මිසක්.” ඡන්න කිව්වෙ උදුම්බරා දිහා බලාගෙන.
“අයියෝ කවුද මේ බ්ලොක් එක හැදුවෙ. හදලා තියෙන හිල්වලට දාන්න බඩු නෑ. තියෙන බඩු දාන්න මේ හිල් සෙට් වෙන්නෑ.” එහෙම කෑගහන්න පටන් ගත්තෙ ලාච්චුව ඇතුළට රෙජිෆෝම් අච්චුව දාගත්තු කල්‍යාණි.
“කෑ නොගහ තියෙන දෙයක් පුළුවන් හැටියට දා ගනින්.” කියල ඡන්න කිව්වෙ කට කොනකින් හිනැහෙන ගමන්.
පිටිපස්සෙ තිබුණු ෆයිල් ගොඩ දිහා බලපු කුමාරි ඇහැව්වෙ “මේ ටිකට මොකද කරන්නෙ?” කියලයි. ඒ දිහා බලපු කල්‍යාණිත් අහස පොළොව ගැටලන්න කල්පනා කරලා කිව්වෙ “මේ ටික රෙකෝඩ් රූම් දාන්නත් බෑ. ඇතුළෙ තියාගන්න ඉඩකුත් නෑ. මක්කරන්න ද?” කියලයි.
“උපදෙස් පතමු.” කිව්ව පබා කෝල් කළේ වෙන කන්තෝරුවක උන්නු මිතුරියකට.
“යටියන්තොට යවලත් බෑ නෙ ෆයිල් කැතයි කියල. හංගගන්න තමයි වෙන්නෙ. හැබැයි, මතක ඇති තැනක. මං ඒ වගේ ෆයිල් ටිකක් ගෙදර ගෙනිච්චා. ආච්චිගෙ මළගෙදරට ගේ අස්කරලා දැන් ඒ ටික හොයාගන්න බෑ. හංගගනින් මතක ඇති තැනක.” මිතුරිය කිව්වෙ ඒ විදියට.
“හරි” කියලා දුරකථනෙ විසන්ධි කළ පබා සද්දෙට කිව්වෙ “ශෝක වෙන්න කාරි නෑ. හෙට මං කාර් එක අරං එන්නං. තියෙන එකක් ඒකට දාලා වැඩේ ඉවර වුණා ම ආයෙ අරං එමු.” කියලයි.
“බ්‍රාන්ච් එකේ බිම හැම තැනම වයර් ගොඩවල්නෙ. කැතයි නෙ පේනකොට. මොකක් හරි කරන්න වෙනවා ඒ ටිකට.” සුන්දරී කිව්වෙ බිම තිබුණු වයර් කෝඩ් දිහා බලාගෙන.
“මාර වැඩක් නෙ ඒවා ගෙදර ගෙනියන්නයෑ. වයර් කෝඩ් නැතුව කම්පියුටර් වැඩ කරන්නෙ ඇඟිල්ල ගහලයෑ? ඒවා නියමාකාරෙන් කරල නැති එක අපේ වරදක් ද?” සීතාගෙ සද්දෙ කාලි ආවේශ වුණා වගේ.
පහුවෙනිදා උදේ කට්ටිය සැදීපැහැදී හිටියෙ ඵලදායීතාව මැනීමේ සෙට් එක එනකල්. ඒ අස්සෙ වොෂ් රූම් එක පැත්තට දුවං යන ලක්ෂ්මි පස්සෙන් දුවපු ඒඕ මහත්තයා කෑගැහැව්වෙ “සීට් එකේ වාඩිවෙලා ඉන්නැතුව කොහෙ දුවනව ද” කියාගෙන.
“වොෂ් රූම් එකේ ගඳ එනවා බ්‍රාන්ච් එකට අඩිය තියෙන කොට ම. දොර වහන්න යන්නෙ. ඵලදායීතාවෙ එතැන ම ලොප් ටොයිලට් ගඳ ආවොත්.” ලක්ෂ්මි උත්තර දුන්නා.
ටික වෙලාවක් යද්දි බ්‍රාන්ච් එකට පාත් වුණේ නිරීක්ෂණ සෙට් එක. වයර් ගොඩක පැටළිලා කරණමක් ගැහැව්ව එක නිරීක්ෂණ මහත්තයෙක් නතර වුණේ කල්‍යාණිගෙ පුටුව ළඟ හතරගාතෙන්.
“සෑර්” ගාගෙන උන්දැගෙ ළඟට දුවං ආවෙ  නිරීක්ෂණේට ආව පරිවාර සෙට් එක. “හරි හරි” කියල දනිපනි ගාලා නැගිට්ටෙ වයර් සිස්ටම් එක ගැන දෝස්මුරයක් දාගෙන. මුණ කළු කරගත්තු ආයතනෙ ලොක්ක රවන මුණක් දාගෙන බැලුවෙ බ්‍රාන්ච් එකේ ඉන්න සියල්ලන් ම දිහා.
“මොන මඟුලක් ද? වයරින් කරන එක අපේ රාජකාරියක් නෙවෙයි. වයර් කෝඩ් ටික ගලවලා කම්පියුටර් ඕෆ් කරන්නද? පිස්සු.”උදුම්බරා කෙඳිරුවෙ සීතගෙ කනට.
“පන්චරේ ටිකක් දෙන්නකො.” බ්‍රාන්ච් එකේ සිද්ධ වෙන්නෙ මොනව ද කියලවත් වගේ වගක් නැතුව ෆයිල් ගොඩක ඔළුව ඔබන් හිටි කේසි ඉල්ලුවෙ කුමාරි දිහාට හැරිලා.
මූණ කළු කරගත්තු ලොකු තැන හැරිල බැලුවෙ කේසි දිහා.
“රට ම අඩුපාඩුවෙන් ඉන්න වෙලාවෙ අපිත්   පිරිමහගෙන වැඩ ටික කරන් යනවා සෑර්.” උදුම්බරා ලව්ලි ටෝන් එකකින් කිව්වෙ නිරීක්ෂණ ලොකුතැනගෙ මූණ දිහා බලාගෙන●

සබැඳි

Leave a Reply

Your email address will not be published.