ආණ්ඩුව පැන්නීම පමණක් ප්‍රමාණවත් නොවේ !…

ආණ්ඩුව බලයට ආවේ ජනතාව පෙළෙන අමාරුකම්වලින් මුදාගෙන රටට සෞභාග්‍යය උදා කරන බවට පොරොන්දු වෙමිනි. එහෙත්, අද රටේ ඇතිව තිබෙන තත්ත්වය අනුව රට තිබූ තැනින් බොහෝ පහළට ඇදදමා අවසන් ය. ඉතිහාසයේ පෙර නොවූවිරූ අන්දමින් ආර්ථිකයේ සියලු ක්‍ෂේත්‍ර කඩාවැටෙමින් තිබේ. එහි මුළුමහත් පීඩාව පැටවී තිබෙන්නේ ජනතාව මත ය. තෙල්, ගෑස්, කිරිපිටි ආදිය ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම්වල ය. බඩු මිල කවරදාකවත් නැති තරම් වේගයෙන් ඉහළ යමින් පවතී. පෝලිම්වල සිටිය දී ඇදවැටී ජනතාව මිය යාමත්, තවත් පැත්තකින් ආරවුල් ඇති කරගෙන ගහමරා ගැනීමත් නිතර වාර්තා වීමට පටන්ගෙන තිබේ.
මේ තත්ත්වය හමුවේ සෑම තැනකම කතාබහ පවතින්නේ ආණ්ඩුව ගෙදර යැවීම පිළිබඳවයි. සාමාන්‍ය ජනතාව නම් නිතරම ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් අමතන්නේ ‘ශුද්ධ සිංහල’ බසෙනි. අතිශයින්ම පීඩාවට පත්ව සිටින ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ මේ පීඩාවෙන් නිදහස් වීමට ය.

ලාංකීය දේශපාලන ඉතිහාසය පුරාම සිදු වූයේ එකම වර්ගයේ කණ්ඩායම් දෙකක් විවිධ වෙස්මුහුණු දමාගෙන කොල පාට හා නිල් පාට පෙන්වමින් යළි යළිත් ජනතාව රැවටිල්ලට ලක් කළහ. මේ දෙපිරිසම එකම පාලක පන්තිය ය. එහෙත්, එක් වරකට බලය හොබවන්නේ එහි එක් කණ්ඩායමක් පමණි. වසර 74ක් තිස්සේ ඇදවැටුණු මේ වළේ ජනතාව යළි යළිත් ඇදවැටිය යුතු ද?

සබුද්ධික ජනතාව වඩ වඩාත් අවධානය යොමු කළ යුතු පැනය ඇත්තේ මෙම මොහොතේ බව අපගේ වැටහීමයි. මෙවැනි වටාපිටාවක් බොර දියේ මාළුබෑමට බලා සිටින බංකොළොත් දේශපාලන බහිරවයන්ට අවස්ථා නිර්මාණය කරන බැවිනි. අපේ රටේ ඉතිහාසය දෙස බලන විට ක්ෂණික විසඳුම් ලෙස කියන සුරංගනා කතාවලට රැවටීම දිගින්දිගටම සිදුව තිබේ. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නේ ය.
පසුගිය වසර 74ක් පුරාවටම බලයේ සිටි ආණ්ඩු ජනතාව විසින් එළවා දැමුණු බව සියලු දෙනා දන්නා කරුණකි. ඒ සෑම අවස්ථාවක්ම නිර්මාණය වූයේ බලයේ සිටි පාර්ශ්වය ජනතාව මත අධික බර පැටවීම නිසා ය. එහෙත්, ඒ සෑම අවස්ථාවකම ජනතාව බලයේ සිටිනවුන් එළවා දැමීම ගැන සිතුවත්, බලයට ගෙන එන්නේ කවුරුන් ද යන්න ගැන එතරම් ගැඹුරින් සිතා බැලුවේ නැත. ඒ නිසාම ලාංකීය දේශපාලන ඉතිහාසය පුරාම සිදු වූයේ එකම වර්ගයේ කණ්ඩායම් දෙකක් විවිධ වෙස්මුහුණු දමාගෙන කොල පාට හා නිල් පාට පෙන්වමින් යළි යළිත් ජනතාව රැවටිල්ලට ලක් කළහ. මේ දෙපිරිසම එකම පාලක පන්තිය ය. එහෙත්, එක් වරකට බලය හොබවන්නේ එහි එක් කණ්ඩායමක් පමණි. වසර 74ක් තිස්සේ ඇදවැටුණු මේ වළේ ජනතාව යළි යළිත් ඇදවැටිය යුතු ද?
ඇතිව තිබෙන තත්ත්වය හමුවේ බුද්ධිමය සංවාදය වෙනුවට එදා දවසේ ජීවත් වීමේ ප්‍රශ්නයට ජනයාට මුහුණ පෑමට සිදුව තිබෙන බව සැබෑ ය. එහෙත්, ජනතාව මේ තත්ත්වයට ඇදදැමූවේ මේ පාලක පන්තියම ය.
ඉතිහාසය පුරාම ආණ්ඩු ගෙදර යවා තිබේ. ආණ්ඩු ගෙදර යැවීම එතරම් අපහසු නැත. එහෙත් අමාරු වන්නේ ජනතාවගේ සැබෑ වුවමනාවන් නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. මේ දක්වාම කළ නොහැකි වූයේ ද එයයි.
සමාජ විප්ලව සිදු වන්නේ අර්බුදකාරී සමාජ – දේශපාලන තත්ත්වයන් තුළම ය. පහළ පාන්තික ජන කොටස් පීඩාවට පත් වීම මඟින් පාලක කණ්ඩායමට එරෙහි විරෝධය ද තීව්‍ර වේ. මේ විරෝධය තමන්ගේ පටු බල ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට මාන බලන රැවටිලිකාර අවස්ථාවාදීන් හඳුනාගත යුතු ය. ඔවුන්ගේ ව්‍යාජ ජනතා ප්‍රේමය හෙළිදරවු කළ යුතු ය. ඔවුන්ගේ බලලෝභී ව්‍යාපෘති පරාජය කිරීමට කටයුතු කළ යුතු ය. එසේම නැඟ එන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවේ වරප්‍රසාද අහිමි මැති, ඇමැතිවරු ආණ්ඩුවට එරෙහි වන්නා සේ පෙන්වමින් ගෙන යන නාටකය ද හෙළිදරවු කළ යුතු ය.
පාලක පන්තියේ කණ්ඩායම් දෙකටම විශාල අභියෝගයක් වෙමින් ගොඩනැඟෙන ප්‍රගතිශීලී බලවේගය පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත් කළ යුතු ය. ඒ සඳහා ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වැඩි විභවයක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලි ය. ජාතික වශයෙන් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ද ශක්තිමත් වන සමාජ ව්‍යාපාරයක් බවට එය පත් විය යුතු ය. පාලක පන්තියේ ඕනෑම කුමන්ත්‍රණයකට මුහුණ දෙමින් ඒවා පරාජය කළ හැකි ජනතා බලයක් ගොඩනැඟීම මේ අර්බුදයට ඇති එකම හා අවසාන සැබෑ විසඳුමයි●
 
 

Leave a Reply

Your email address will not be published.