ණය වෙනුවෙන් ජාතික ආරක්‍ෂාව බිලි දීම

ආර්ථික අර්බුදය එන්න එන්න ම උත්සන්න වේ. ආණ්ඩුවට ඒ සඳහා කිසිදු උත්තරයක් නැත. ණයට කෑම, විකුණාගෙන කෑම, හොරාකෑම එකම ක්‍රමය වී තිබේ. ඉන් එහා කිසිවක් නැත. තෙල් ගෙන්වන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තේ ය. තාවකාලිකව එය යම් අස්වැසිල්ලක් විය හැකි ය. එහෙත්, පොලියත් එක්ක නැවත එය ගෙවිය යුතු ය. ඒ වාගේ ම අනිවාර්යයෙන් ම තෙල් ඉන්දියාවෙන් ම ගත යුතු ය. තවත් ඩොලර් මිලියන 1,000ක ණයක් ගත්තේ ය. එයින් ද සියයට 75ක් ආහාර සහ බෙහෙත් ඉන්දියාවෙන් ම ගත යුතු ය. මේ ගත් ණයත් නැවත ගෙවිය යුතු ය.

මේ අතර ආණ්ඩුව තවත් ඩොලර් බිලියන 2.5ක් චීනයෙන් ලබා ගන්නට ලැහැස්ති වේ. දැනටමත් චීනය විසින් ඒ පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ. කොන්දේසි නැතිව කිව්වාට එයට ද කොන්දේසි තිබේ. මේ වන විටත් ලංකාවේ ආර්ථිකයේ මර්මස්ථාන චීනයට පවරා දී අවසන් ය. හම්බන්තොට වරාය, කොළඹ වරාය දකුණු ජැටිය, නොරොච්චෝලේ බලාගාරය ආදී මහා පරිමාණ ව්‍යාපෘති සියල්ල චීනයේ මැදිහත් වීමට යටත්ව අවසන් ය.

ඒ මුදල කිසිසේත් ම පවතින අර්බුදයට  ප්‍රමාණවත් නැත. එයට තවත් පැලැස්තරයක් ලෙස චීනයෙන් ද ණයක් ඉල්ලා තිබෙන්නේ ය. ඒ සුළුපටු මුදලක් නොව ඩොලර් මිලියන 2,500ක් ය. ඒවා ද නැවත ගෙවිය යුතු ය. මේ ගන්නා අතිවිශාල ණය මුදල් ගෙවන්නේ කොහොම ද යන්න පිළිබඳව කිසිදු සැලැස්මක් නැත. ඉන්දියාවෙන් සහ චීනයෙන් ණය ගත්ත ද, ඒ සියල්ල ම ප්‍රමාණවත් වන්නේ මාස තුන හතරකට ය. එතැනින් එහාට අර්බුදය තව තවත් දෙගුණ, තෙගුණ වන්නේ ය.

නැතැයි කී කොන්දේසි

ඒ මඳිවාට ඉන්දියාවේ සහ චීනයේ කොන්දේසි අනිවාර්යයෙන් ම ඉටු කළ යුතු ය. බැසිල් ඉන්දියාවේ සිට එන විට කිව්වේ, මොකුත් කොන්දේසි නැති බවය. එනමුදු, දැනටමත් කොන්දේසි ඉටු කරමින් ඇත්තේය. මිලියන 500 ගන්නට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට පාවා දුන්නේ ය. අද රට ගැන කතා කරන ගම්මන්පිල එය රාජපක්‍ෂලා වෙනුවෙන් මැනැවින් ඉටු කර දුන්නේ ය. දෙවැනි ණය ගන්නට පෙර මන්නාරමේ සහ පූනානිවල  සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ව්‍යාපෘති දෙක ම ඉන්දියාවට දුන්නේ ය. ගත්ත මිලියන 500න් ඉන්දියාවෙන් ම තෙල් ගෙන්වීමට සිදු වීම නිසා තෙල් ඒකාධිකාරය ඉන්දියාවට ම පැවරී අවසන් ය.
ඊ ළඟට බැසිල් ඉදිරිපත් කර ඇත්තේ, තවත් එවැනි ම මාරාන්තික යෝජනා දෙකකි. එකක්, සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිළිබඳව ද, අනෙක ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව පිළිබඳව ද වූ යෝජනාවන් ය මේ දෙක සඳහා ම ගිවිසුම් අත්සන් කිරීමට පසුගිය 21 වැනිදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඉන්දියානු ගමනට පෙර බැසිල් මේවාට ආවරණ අනුමැතිය ලබා දෙමින්, අත්සන් කර ඇත්තේ ය.
මින් පළමුවැන්නෙන් සිදු වන්නේ අපේ රටට අයත් මුහුදු කලාපය හරහා එහා මෙහා යන නාවුක ගමනාගමනයන් නිරීක්‍ෂණය කිරීම සහ හදිසි අවස්ථාවල දී ඒවාට ක්‍රියාත්මක වීම ය. කොළඹ නාවුක හමුදා මූලස්ථානය මෙහි ප්‍රධාන මූලස්ථානය ය. ඊට අමතරව හම්බන්තොට, ආරුගම්බේ, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය සහ මන්නාරම යන ප්‍රදේශවල මෙහෙයුම් ස්ථාන හයකි. මේ හරහා එකී කලාපය තුළ සෙවුම්, පිරික්සුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ. ඒ වෙනුවෙන් ඉන්දියාව ඩ්‍රෝන තුනක් සහ මුහුදු පතුල ද නිරීක්‍ෂණය  කළ හැකි වන ටොන් 4,000ක තටාකාංගණයක් ද ලබා දෙයි. ඩොලර් මිලියන හයක මුදලක් ඒ වෙනුවෙන් ඉන්දියාව වැය කරයි. ඉන්දියාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය අයත් වොරන් ඉලෙක්ට්‍රොනික් ලිමිටඩ් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ඉදිරියේ දී අදාළ ගිවිසුම අත්සන් කරනු ලබයි.

ඩිජිටල් හැඳුනුම්පත

දෙවැන්න ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව පිළිබඳ ගිවිසුම ය. එයට ඩොලර් මිලියන 300ක මුදලක් ඉන්දියාව ලබා දෙයි. එකී ගිවිසුම අත්සන් කරනු ලබන්නේ ද එම සමාගම සමඟින් ම ය. ලංකාවේ ආණ්ඩුව ඉන් සිදු කරන්නට යන්නේ අලුත් හැඳුනුම් පතක් හඳුන්වා දෙන්නට ය. එම හැඳුනුම් පතේ පුද්ගලයාගේ නම, ගම, ලිපිනය, වයස, ලේ වර්ගය ආදී සියලු ජීව විද්‍යාත්මක තොරතුරු ඇතුළත් ය. ඩිජිටල් කාඩ්පතක් වන මේ මඟින් ඕනෑ ම පුද්ගලයකුගේ සියලු ම ජීව දත්ත ලබා ගත හැකි ය. මේ ක්‍රියාවලිය මුළුමනින් ම ඉන්දියානු සමාගමකට පැවරේ.
නන්දසේන ආණ්ඩුව ඉන්දියාව සමඟ එකඟ වී ඇත්තේ, ඉතා ම බරපතළ ලෙස හානිදායක කරුණු දෙකකට ය. මේ දෙකින් ම සිදු වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ ස්වෛරීත්වය මුළුමනින් ම ඉන්දියාවේ ණය මුදලකට පාවා දීම ය. තෙල් ටැංකි පාවා දීමටත් වඩා මේවා බරපතළ ය. සෘජුව ම අප රටේ ආරක්‍ෂාව ඉන්දියාවේ පාලනයට යටත් කර තිබේ.

මොරගොඩගේ භූමිකාව

මේ සියල්ල ඉන්දියාවේ සිට මෙහෙයවනු ලබන්නේ මිලින්ද මොරගොඩ ය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඔහු ය. ඔහුගේ පාවා දීමේ ඉතිහාසය මේ රටේ ජනතාවට හොඳට මතක ය. එදා රනිල් වික්‍රමසිංහ හා එක්ව රට විකුණන, රට බෙදන ගිවිසුම් ගැහුවේ මොහු ය. ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ලෙස මිලින්ද මොරගොඩ යටතේ ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ රනිල් රට බෙදීමේ, පාවා දීමේ ගිවිසුම අත්සන් කළේ ද මිලින්ද මොරගොඩගේ මැදිහත් වීමෙනි. ගිවිසුම අත්සන් කරද්දී, රනිල් පිටුපසින් ම වාඩි වී සිටියේ මොරගොඩ ය. ‘පාත් ෆයින්ඩර්’ ආයතනයේ ප්‍රධානියාව සිටිමින්, රටට හතුරු සියල්ල සිදු කළේ උත්පත්තියෙන් ම ඇමෙරිකානු පුරවැසියකු වූ, වොෂින්ටන්වල උපත ලැබූ මොරගොඩ ය. ඒ පාවා දීම දිගින්දිගට ම කරමින්, අදටත් සිදු කරමින් සිටියි. රාජපක්‍ෂලා හරහා ද සිදු කරන්නේ එකී ඓතිහාසික පාවා දීමේ ක්‍රියාවයි.
රට තුළ පෝලිම් ඇති කරලා, රට හිඟන තත්ත්වයට පත් කරලා, අන්තිමට කන්න ණය ගන්න තත්ත්වයට පත් කළේ මෙවැනි ඒජන්තයන් ය. අවසානයේ ඒ හිඟන තත්ත්වය පාවිච්චි කරලා, රටත්, රටේ ජනතාවත් උකසට තබන්නේ මෙවැනි දේශද්‍රෝහීන් ය. ඒ දේශද්‍රෝහීන්ව තානාපතිවරු කර ඇත්තේ, රනිල්ගේ වැඩේ ඒ විදියට ම කරන්නට ය. ඉන්දියාවෙන් සල්ලි දීපු එක ගැන රනිල් පාර්ලිමේන්තුවේ දී ස්තුති කරන්නේ මේ නිසා ය. රාජපක්‍ෂලා අද කරන්නේ ද එදා රනිල් කරපු දේ ම ය. එහි කිසිදු වෙනසක් ඇත්තේ නැත. වෙනසකට අත්තේ, රටවල් වෙනස් වීම පමණක් ම ය.

චීනයට බිලි වීම

මේ අතර ආණ්ඩුව තවත් ඩොලර් බිලියන 2.5ක් චීනයෙන් ලබා ගන්නට ලැහැස්ති වේ. දැනටමත් චීනය විසින් ඒ පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ. කොන්දේසි නැතිව කිව්වාට එයට ද කොන්දේසි තිබේ. මේ වන විටත් ලංකාවේ ආර්ථිකයේ මර්මස්ථාන චීනයට පවරා දී අවසන් ය. හම්බන්තොට වරාය, කොළඹ වරාය දකුණු ජැටිය, නොරොච්චෝලේ බලාගාරය ආදී මහා පරිමාණ ව්‍යාපෘති සියල්ල චීනයේ මැදිහත් වීමට යටත්ව අවසන් ය. එයට අමතරව චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නට ද ලැහැස්ති වේ.
මේ වන විටත්, ඒ කියන්නේ, පහුගිය අවුරුද්දේ ලංකාවේ ආනයන වියදම ඩොලර් මිලියන 20,000කි. මින් චීනයෙන් පමණක් ඩොලර් මිලියන 4,700ක භාණ්ඩ ගෙන්වාගෙන ඇත. ඒ කියන්නේ, මුළු ආනයනවලින් හතරෙන් පංගුවකි. අප චීනයට යවා ඇත්තේ, ඩොලර් මිලියන 374ක භාණ්ඩ ය. චීනය කියන්නේ දැවැන්ත නිෂ්පාදනයක් සහිත විශාල වෙළෙඳපොළක් ඇති රටකි. පුංචි ලංකාව භාණ්ඩ අපනයනයට හා ආනයනයට ඇති සීමා නිදහස් කළොත්, ඉන් උපරිම වාසිය ලැබෙන්නේ චීනයට ය. මේ ලැහැස්ති වෙන්නේ අපේ මුළු ආර්ථිකය ම චීනයට බිලි දෙන්නට ය.
නිදහස් වෙළෙඳ ගිවිසුමක් නොමැතිව තත්ත්වය එසේ නම්, ගිවිසුමක් ගැහැව්වොත්, තත්ත්වය ගැන සිතා ගත හැකි ය. අද රටේ ඇති වී තිබෙන තෙල් පෝලිම්, ගෑස් පෝලිම් කිරිපිටි පෝලිම් හරහා ආර්ථිකය මුළුමනින් ම බිඳවැට්ට වීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ මෙයයි. රටේ ආර්ථික ස්වාධීනත්වය නැති වූ තැන සියල්ල පාවා දෙන, බිලි දෙන තත්ත්වයට පත්ව මුළුමහත් ශ්‍රී ලාංකීය ජාතිය ම ඉන්දියාවට, ඇමෙරිකාවට, චීනයට පාවා දීම සහ බිලි දීම සිදු වේ.

හැත්තෑහතර වසරක කරුමය

ඉතිහාසයේ පළමුවැනි වතාවට රටේ ජනතාවට කන්න නැතිකමට ණය ගන්න වුණේය. ඒ තත්ත්වය ඇති කළේ අවුරුදු හැත්තෑහතරක් තිස්සේ රට පාලනය කළ නරුම පාලකයන්ය. අපි සියලු දෙනා ම අත්විඳින්නේ එකී හැත්තෑහතර අවුරුද්දක ශාපයයි. ඒ ශාපයෙන් මිදෙන්නට රාජපක්‍ෂලා වාගේ ම සජිත්ලාට ද, රනිල්ලාට ද හැකියාවක් නැත. රට මේ තත්ත්වයට පත් කළේ ඔය දෙගොල්ලන්ම ය. ආයෙත් වතාවක් බලය ඉල්ලන්නට ඔය කිසිවකුටත් සදාචාරමය අයිතියක් නැත්තේ ය. මේ සා විශාල අනතුරකට රට ඇදවැට්ටවීමේ වරදට ජනතාව විසින් ඔවුන්ට දඬුවම් දිය යුත්තේය.
මෙතෙක් කාලයක් පාවා දෙන්නන්ට, හොරුන්ට භාර දී තිබුණු රට ඉන් මුදාගත යුතු ය. රටේ ජනතාවත්, රටත් බේරා ගත හැකි සැබෑ ජනතා නායකත්වයකට රට වහා ම භාර දිය යුතු ය. තව එක මොහොතක් බලා නොසිට වහ වහා කළ යුත්තේ එයයි●

 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.