වැරදුණු කුරුමානම ! “තමුසේ කරපු වැඩ හින්දා ආණ්ඩුවේ අපිට රෙද්දක් ඇඳන් ඉන්න බැහැ”

ජාතික ජන බලවේගය පසුගිය 23දා නුගේගොඩදී පැවැත්වූ විරෝධතා පා ගමන සහ රැළිය කඩාකප්පල් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වන නිශ්ශංක සේනාධිපති උත්සාහ දැරූ බව කරුණු සහිතව අනාවරණය වෙලා තියෙනවා.
සේනාධිපතිගේ පිටකෝට්ටේ පිහිටි කාර්යාලය අවට සහ බැද්දගාන රථගාලක් අසල රැළිය දින උදෑසන පිරිසක් එකතු වෙමින් සිටියා. එම පිරිස රැගෙනවිත් තිබුණේ උද්ඝෝෂණයට බාධාකිරීමේ සැලසුමකට. මෙසේ එකතු වූ පිරිස නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාඩ් සමාගමේ සේවකයන් බව ඔවුන් ම කියා තිබුණා.
‘අපි නිශ්ශංක මහත්තයාගේ ඇවන්ගාඩ් එකෙන්. උදේම ලැස්ති වෙන්න කියලා පණිවිඩයක් එව්වා. මෙතැන්ට ගෙනැත් දැම්මා. තව ටිකකින් කරන්න ඕනෙ වැඩේ කියන්නම් කිව්වා. දැන් ඉතින් මෙතැන්ට වෙලා බලාගෙන ඉන්නවා’ යනුවෙන් ඔවුන් කියලා තිබුණා. එම ස්ථානයේ ND 8167, NB 0780, ND 5771, NE 0444, ND 3097 අංක සහිත බස් රථත් ගාල්කරලා තිබුණා.
හොඳම වැඩේ වුණේ ඊටපස්සෙ. මේ පිළිබඳව ආරංචිය ලැබීමත් සමඟ ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනෙකු නිශ්ශංක සේනාධිපතිට දුරකතනයෙන් කතා කරලා.
‘තමුසෙට පිස්සුද ඕයි මේ පිස්සු වැඩ කරන්නේ. තමුසෙගේ මිනිස්සු මරාගන්නද හදන්නේ. තමුසේ කරපු වැඩ හින්දා ආණ්ඩුවේ අපිට රෙද්දක් ඇඳන් ඉන්න බැහැ. ඔය ජේවීපීකාරයන් එක්ක හැප්පෙන එක නවත්තනවා. ඉල්ලන් කන්න එපා. රට ගිනි තියන්න එපා. අද ඕල් පාර්ටි මීටින් එක. තමුසේ කෙළවා ගත්තහම අපි ඔක්කොම එතැන නානවා.
තමුසේ බැලුවද අර ටිල්වින් සිල්වා කියපු කතාව. තමුසේ හැරෙන කොට ඒ මිනිස්සු මුළු කතාවම රටට කිව්වා. ලැජ්ජයි ඕයි, ලැජ්ජයි. ලොක්කටත් කියනවා මම කිව්වා කියලා. කරුණාකරලා පිස්සු කෙළින් නැතුව ඔය පිස්සෝ ටික අරගෙන යනවා ඕයි.’
මේ ඇමැතිවරුන් දෙදෙනාගේ නම් කියන්න හැකි වුණත්, අපිට තොරතුරු සැපයූ විශ්වාස කටයුතු මූලාශ්‍ර දෙකක්ම ඉල්ලුවේ නම් සඳහන් කරන්න එපා කියලා. අපි ඒ ඉල්ලීමට ගරු කරනවා. මේගොල්ලො මේ කියන්නෙ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මෙහෙම සැලසුමක් තියෙනවා කියලා රැළියට කලින්ම කියපු එක ගැන. ලොක්කටත් කියනවා කියලා කියන්නෙ ඉතින් සේනාධිපතිගෙ ලොක්කා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන…
මේ ඇමතුම්, සැලසුම හෙළි වීම් නිසා කට්ටිය විසුරුවලා, වැඩේ අත්හරින්න සේනාධිපති කටයුතු කරලා.
මේ කියන සේනාධිපති කොහොම කෙනෙක් ද?
දැනට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පිහිටුවලා තියෙන නාරාහේන්පිට බිල්ඩිමට එහා පැත්තෙ තියෙන්නෙ ඇවන්ගාඩ් ආයතන කාර්යාලය. මේ කාර්යාලයට වාහනයක් රිවස් කරපු සිද්ධියකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඉහළ නිලධාරියෙක් සහ ඇවන්ගාඩ් කළමනාකාරවරයෙක් අතර ටික දවසකට කලින් උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තිබුණා. දවස් දෙකයි. අර කියන පොලිස් නිලධාරියට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්. ඉහළින් ආපු නියෝග.
හැබැයි ජන බලය ඉස්සරහා ඔය නියෝග කෝකත් අනෙක් පැත්තට කැරකෙනවා. නුගේගොඩ වුණේ ඒක.

Leave a Reply

Your email address will not be published.