ඉම්රාන්ගේ නායකත්වයේ ඉනිම නිමා වේද?

දිගටම පූටින් මහත්තයා කරකවන ගිණිබෝලවලින් ඇස් නිලංකාර කරන් හිටපු නිසා අපට අපේ වැට මායිම් ගිනි ගන්න හැටි පෙනුනෙ නැහැ. දැන් පොඩ්ඩක් අපේ අල්ලපු වතුවලට එබෙන්න කාලෙ හරි. පූටින් වගේ නෙවෙයි අල්ලපු වැටේ ඉන්න අපේ බොක්කෙ යාලුවෙකුට ටිකට් එක ඇදෙන්නයි යන්නේ. ඒ නිසා උන්නැහේ ගැනත් චචනයක් දෙකක් කතාකරමු.
පාකිස්තානයේ ක්‍රිකට් විරුවාට අගමැතිකම දාලා ගෙදර යන්න වෙයිද කියලා මේ දවස්වල ජාත්‍යන්තර මාධ්‍ය අවදියෙන් සිටිනවා. අපේ හිතවත් ඉම්රාන් ඛාන් මහත්තායාගේ ආණ්ඩුවේ ඉරණම දැඩි අවදානමකට ලක් වී තිබෙනවා. අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ගේන්න එරට විපක්ෂය කටයුතු කරමින් සිටිනවා.ඒ සඳහා වන ඡන්ද විමසීම මාර්තු 25 දින පැවැත්වීමට නියමිතයි.
මේ ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf (PTI) ආණ්ඩුවේ අවසානයද? ඔහුට පාකිස්තාන නායකත්වයේ ඉනිම අවසන් කරන්නට සිදුවේද? කාලයක් තිස්සේම මේ ප්‍රතාපවත් ක්‍රිකට් ක්‍රීඩකයා විසින් රැකගෙන ආ ආණ්ඩුවේ ස්ථාවර දේශපාලන ඉනිමේ අවසානයක් සිදුවේදැයි මේ දිනවල කතාබහක් මතුවෙලා තිබෙනවා.
පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයි (PTI) 1996 දී ආරම්භ කළේ ඉම්රාන් විසින්මයි. පාකිස්තානයේ PTI, PML-N සහ PPP යනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් තිබෙනවා. එයින් PTI කියන්නේ සාමාජිකත්ව සංඛ්‍යාව අනුව මේ වන විට එරට විශාලතම දේශපාලන පක්ෂය. පාකිස්ථානයේ සහ විදේශයන්හි සාමාජිකයින් මිලියන 10 කට වැඩි සංඛ්‍යාවක් ඉම්රාන්ගේ පක්ෂයට සිටිනවා. ඒ වගේම PTI යනු ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂ කිහිපයෙන් එකක්. PML-N යනු පාකිස්තානු මුස්ලිම් ලීගයෙන් කැඩී ආ නවාස් පාර්ශවයයි. එනම් හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පක්ෂයයි. PPP යනු හිටපු අගමැතිනී අභාවප්‍රාප්ත බෙනාසීර් බූතෝගේ සැමියා හා පුත්‍රයා නායකත්වය දරණ පාකිස්තානු මහජන පක්ෂයයි.
ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තත් ඉම්රාන්ගේ දේශපාලන ඉනිම ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ.ඔහුගේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය 1997 දී මුලින්ම මැතිවරණයට ඉදිරිපත් වුණා. නමුත් එක ආසනයක්වත් දිනාගැනීමට නොහැකි වුණා. 2002 දී ඔවුන් පාර්ලිමේන්තුවේ ආසන් 342 න් එකක් පමණක් දිනා ගත්තා. ඉම්රාන් කෙතරම් පසුබෑමටකට ලක්වුණාද කිවහොත් 2008 මැතිරවණයට PTI පක්ෂය ඉදිරිපත් වුණේත් නැහැ. නමුත් 2013 දී ආසන 35 දිනාගෙන ඉදිරියට පැමිණි ඉම්රාන්ගේ පක්ෂය 2018 දී ආසන 149ක් දිනාගනිමින් පළමු තැනට පැමිණියා. තවත් කුඩා පක්ෂ 5ක් සමග ඒකාබද්ධව රජයක් පිහිටුවීමට ඉම්රාන් ඛාන්ට හැකි වුණා.
ඉස්ලාමාබාද් හි ඇති වී තිබෙන දේශපාලන කැළඹීමට නැවත ආවොත් විපක්ෂට අයත් PML-N හා PPP පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් 100 ක් පමණ විස්වාසභංගයට අස්සන් තබා ඇතැයි ආරංචි ලැබෙමින් පවතිනවා. ඉම්රාන් ඛාන්ගේ පාලනය යටතේ පාකිස්තානය ආර්ථික වශයෙන් අර්බුදයකට ගොස් ඇති බවයි විශ්වාසභංගයේ සඳහන් වන්නේ. ඒ වගේම ඉම්රාන්ගේ විදේශ ප්‍රතිපත්තියත් විශ්වාසභංගයෙන් ප්‍රශ්න කරනවා.
ඉම්රාන්ගේ PTI පක්ෂයේ මන්ත්‍රීවරු දුසිමකට වඩා මේ වන විට පක්ෂය හැරගොස් සිටිනවා. ආණ්ඩුව පවත්වා ගැනීමට නම් ඉම්රාන්ට ආසන 172 බහුතර බලයක් අවශ්‍ය වෙනවා. විස්වාසභංගයේදී බහුතර විස්වාසය දිනාගැනීමට බැරිවුණොත් ඔහුට අගමැතිධූරය අතහරින්නට සිදුවෙනවා. ඉම්රාන්ව හැරගිය ඔහුගේ පැරණි සගයන් විපක්ෂය සමග එකතු වී ආණ්ඩුවට එරෙහිව පිටියට ආවොත් අනිවාර්යෙන්ම ඉම්රාන් දැවීයෑමට නියමිතයි. PTI මන්ත්‍රීවරුන් 23 දෙනෙකු විපක්ෂයේ දෑත් ශක්තිමත් කිරීමට හොරගල් අහුලමින් ඉන්න බව නිල නොවන ආරංචි මාර්ග උපුටා දක්වමින් WION පුවත් සේවය වාර්තා කරනවා.
මේ අතර පැත්ත මාරු කිරීමට කුරුමානම් අල්ලන PTI මන්ත්‍රීවරුන් නටපු අඩව් ප්‍රසිද්ධියේම හෙළිකිරීමට පක්ෂයේ ඉම්රාන් හිතවාදීන් මේ වන විට කටයුතු කරමින් පවතිනවා.එරට මාධ්‍ය ඔස්සේ මේ දිනවල පැවැත්වෙන වාද විවාද වලින් කාගෙ කාගෙත් පට්ටතරේ දිගෑරෙනවා. ඒව හරියට බුල්කිනා පාසෝ රටේ තෙල් ඇමතියි, කර්මාන්ත ඇමතියි අයින් කළාට පස්සෙ ඇහෙන කතා වගේ. රමේෂ් කුමාර් කියන්නේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පක්ෂයේ සිට ඉම්රාන්ගේ දෑත් ශක්තිමත් කරන්න පිල්මාරු කරපු දේශපාලන බලකණුවක්. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. දැන් ඔහු නැවතත් විපක්ෂයට හේත්තුව දාන්න හදනවා.
ඉම්රාන්ගේ සාගර කාරියකරවනයා වූ PTI මාධ්‍ය ප්‍රකාශක ෂෙහාබ් ගිල් සමඟ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ මේ දොස්තර මහත්තයා කෙහෙවලු පටලවා ගත්තා.

“අද අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියන තමුන්නැහේ පිළිගන්නවාද පන්ජාබ් පිළිකා රෝහලට හොර බෙහෙත් පටවලා මඩිය තරකරගත්ත බව”
ෂෙහාබ් ගිල් එහෙම කියලා දොස්තර මහත්තයාගේ රෙදි ගලවපු වීඩියෝව පාකිස්තාන මාධ්‍යට මේ දවස් වල මරු කටගැස්මක් වෙලා තිබෙනවා.
අවුරුදු කිහිපයක් පාකිස්තානයේ යම් දේශපාලන ස්ථාවරත්වයක් පවත්වා ගත් ඉම්රාන්ගේ ආණ්ඩුව බිඳවැටුනොත් ඒක එරට ප්‍රජාතන්ත්‍රවාදයටනම් ඒ තරම් ගුණදායක නැහැ. පාකිස්තාන පාලනයට එල්ලවන මිලිටරි බලපෑම් යම් ආකාරයකට සමතුලිත කර ගැනීමට ඉම්රාන්ට හැකිවුණේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයාගත් නායකත්ව ගුණාංග හා කීර්තිය නිසාමයි. අගමැති ධූරයෙන් ඉවත්වන ලෙස පාකිස්තාන හමුදාපතිවරයා විසින් ඉම්රාන්ගෙන ඉල්ලා ඇති බවට ද වාර්තා පලවනවා. මාර්තු මස 22-23 දෙදින තුළ ඉස්ලාමාබාද්හි පැවැත්වෙන ඉස්ලාම් රටවල සහයෝගිතා සංවිධානයේ (OIC) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවෙන් පසු ඉම්රාන්ට එලෙස ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වී ඇතැයි සඳහන්.
මේ අතර තමන් හැර ගිය සගයන්ට නැවත පැමිණ තමන් සමග එකතුවන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටිනවා. තමන්ගේ හිතේ කහටක් නැති බවත් ඔවුන්ට සමාව දෙන බවත් ඔහු සඳහන් කළා. තමන් ද ඇතුළුව හැමෝම අතින් වැරදි සිදු වී ඇති බව ඔහු පිළිගත්තා. එසේම ජනබලය පෙන්වීමට මාර්තු 27 වෙනිදා ඉස්ලාමාබාද් නුවරට දශලක්ෂයකට අධික ජන ගඟක් ගෙන්වීමට ද අගමැතිවරයා සූදානම් වෙනවා.
ක්‍රිකට් පිටිය අතහැරියා වගේ දේශපාලන පොර පිටිය අතහරින්න ඉම්රාන් මහත්තයා සූදානම් බවක් කොහොමවත් පෙනෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිපත්ති විවාදාත්මක වුණත් පාකිස්තානය ස්ථාවර දියුණු රාජ්‍යයක් කිරීමට ඔහුට දැඩි උවමනාවක් ඇති බවනම් ඇත්ත. තමන්ව හැර ගිය ගෝල බාලයන්ට ඔහු ප්‍රසිදධ රැළියකදී අනතුරු හැඟවූවා.
“දැන් උඹලා කියන දේ මිනිස්සු පිළිගන්නෙ නැහැ. සමාජ මාධ්‍ය වලින් මිනිස්සු ඇත්ත හොයා ගන්නවා. ඒ අය උඹලව ද්‍රෝහීන් විදියට හංවඩු ගසාවි. උඹලට මඟුලකට තුලාවකට යන්නවත් බැරි වෙයි. මිනිස්සු ගල් ගසාවි. දරුවොන්ගෙ කරදඬු උස් උනාම උන්ව දීග දී ගන්නවත් උඹලට බැරිවේවි. මිනිස්සුන්ගෙ අතින් වැරදි වෙන්න පුළුවන්. ඒත උඹලාගේ දරුවන්ගෙ නාමයෙන් මෙවැනි වැරදි කරන්න එපා. මම උඔලාට පියෙක් වගේ නායකයෙක්. ඒක තේරුම් ගනිල්ලා.”
මේ අතර අගමැතිවරයා හා පාකිස්තාන හමුදා අතර තිබුණු කසාදයත් කටුගෑවෙන තැනටම වැඩ සිද්ධ වී ගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. පාකිස්තානයේ බලයට එන කුමන නායකයෙකුට වුණත් එරට හමුදාපතිත් එක්ක කොක්ක එල්ල ගෙන වැඩේ ගෙනියන්න බැරි බව කවුරුත් දන්නවා. මේ මොහොතේ ඉම්රාන් වෙනුවෙන් ඇප වෙන්න හමුදාව අදිමදි කරන බවක් පේනවා. විශ්වාස භංගයේදී සද්දෙ වහලා ඇහැකන පියාගෙන ඉන්න හමුදාව තීරණය කරපු බවයි වාර්තා වෙන්නේ. එයින් අනියම් ආකාරයෙන් කියවෙන්නේ හමුදාව විපක්ෂයට සහයෝගය දක්වන බව. ඒ වගේම ඉම්රාන්ට දැන ගෙදර යන්න කාලෙ හරි බව හමුදාව තීරණය කර ඇති බව.
ක්‍රිකට් උන්මාදය සහිත පාකිස්තානයේ හමුදාව සැළකෙන්නේ තුන්වන අධිරාජ්‍යය ලෙසයි. බොහෝ විට දේශපාලන කුණාටුවකදී ජය පැරදුම තීරණය වන්නේ හමුදාවේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව. හමුදාව පිටියට බැස්සෙ නැතත් තිරය පිටුපස සිට තරඟයේ තීරකයා ලෙස කටයුතු කරනවා. මේ විශ්වාසභංගයත් හමුදාවේ පොලිටිකල් ගේම් එකක් බව හිතන්න පුළුවන්.
මේ නිසාම හමුදාවේ පුටු මාරුවක් කර ගැටළුව ගොඩින් බේරාගැනීමට ඉම්රාන්ගේ ඇති කැමැත්ත හංගන්න බැහැ. ඔහු පසුගියදා හමුදාපති ජනරාල් කමාල් ජාවඩ් බවුජාට අගමැති මැඳුරට ආප්ප කන්න එන්න කිව්වා. එය හමුදාව දිනා ගැනීමට අගමැතිවරයා ගහපු අවසාන තුරුම්පුව ලෙස සැළකෙනවා. දෙදෙනා අතර සංවාදය පැය ගණනක් ඇදී ගිය බව පැවසෙනවා. OIC සමුළුවට මුස්ලිම් රටවල් 57 ක නායකයන් ඉස්ලාමාබාද් නුවරට එන අල්ලපනල්ලේ ගෙදර ගිනි පත්තු කර ගන්න බැරි නිසා සමුළුවට පස්සේ ඉල්ලා අස්වීමේ ලියුම අස්සන් කරලා ගෙදර යන්නැයි හමුදාපතිවරයා අගමැතිතුමාගෙන් ඉල්ලපු බවට කසුකුසු ඇසෙනවා.
කොහොම නමුත් පාකිස්තානයේ හමුදාපතිවරයෙක් ඉවත්කිරීම කියන්නේ බෙල්ල ගහල යන වැඩක්. හමුදාපතිවරයා පත්කරන්නේ අගමැතිවරයාගේ කැමැත්තට අනුවයි. ඒත් ඒක යකා බැඳගත්තා වාගේ වැඩක් බව ඉතිහාසය විසින් ඔප්පු කරනවා.
මුලින් බංග්ලාදේශය පැවතුනේ පාකිස්තානයේම කොටසක් විදියට. එය නැගෙනහිර පාකිස්තානය වශයෙන් හැඳින්වූවා. පාකිස්තානය සමග තිබුණු යුද්ධයෙන් පස්සේ බංග්ලාදේශය වෙනම රටක් විදියට කැඩී ගියා. ඊට පස්සේ අගමැති සුල්ෆිකාර් අලි බූතෝ විසින් හමුදාපති වරයා ගෙදර යවලා ඒ පුටුවට තමන්ගෙ බොක්කක් ගෙනාවා. උන්නැහේගෙ නම ෂියා උල් හක්. අවුරුදු පහකට පස්සේ මොකද වුණේ කියලා බොහෝ අය දන්නවා. කන්න දීපු අත හපා කාපු ෂියා උල් හක් තමන්ගේ අගමැතිවරයා බලයෙන් පහකරලා රටේ නායකයා බවට පත්වුණා. ඒ විතරක් නෙවෙයි. ලෝක නායකයන්ගේ ඉල්ලීම්ත් නොසළකා අලි බූතෝ මහත්තයාව එල්ලා මැරුවා.
ඉතිහාසය බොහෝ විට ප්‍රතිනිර්මාණය වෙනවා. එය එකවරක් ඛේදවාචකයක් විදියටත් ඊළඟට විගඩමක් විදියටත් ක්‍රියාත්මක වන බව කිව්වේ කාල් මාක්ස්.
1998 දී එවකට අගමැති නවාස් ෂරීෆ් විසින් හමුදාපති ජන්ගීර් කර්මාත් ගෙදර යවලා ඒ තනතුරට තමන්ගෙ දකුණු අත වගේ හිටිය පර්වේස් මුෂාරෆ්ව පත්කරනවා. ඊට අවුරුද්දකට පස්සේ මුෂාරෆ් මහත්තයා ලංකාවේ නිල සංචාරයකට එනවා. ඒ අතරේදී එතුමාව හමුදාපති ධූරයෙන් ඉවත් කරන්න අගමැතිවරයා ලියුම අස්සන් කරනවා. මුෂාරෆ් කොළඹින් ගුවන් යානයට නගින කොටත් පාකිස්තාන හමුදාපති නිල ඇඳුම ඇඳන් හිටියේ. උන්නැහේට මේ බව ආරංචි ආරංචි වුණේ වළාකුළු දිහා බලබලා තේ කෝප්පයක් බිබී ඉඳිද්දී.
අහසේ ඉන්න ගමන්ම හමුදා කුමන්ත්‍රණයක් කරන්න මුෂාරෆ්ට පුළුවන් වෙනවා. කොහොම හරි පාකිස්තාන හමුදාපති රැගෙන කොළඹින් පිටත් වූ ගුවන් යානය පාකිස්තානයේ ඉස්ලාමාබාද් ජාත්‍යාන්තර ගුවන්තොටුපළට ගොඩබැස්සේ පාකිස්තානයේ නව නායකයා රැගෙන. ලෝක ඉතිහාසයේ උඩුගුවනේ ඉඳන් රටක් ඇල්ලූ එකම අවස්ථාව මේක. පසුව මුෂාරෆ් මහත්තයා දේශපාලන පක්ෂයකුත් පිහිටුවාගෙන අවුරුදු ගණනාවක් එරට ජනාධිපති විදියට කටයුතු කළා. හැබැයි වාසනාවට බූතෝට අත්වුණා වගේ නස්පැත්තියකට නම් නවාස් ෂරීෆ් මහත්තයාට මුහුණ දෙන්න වුණේ නැහැ.
ඉම්රාන් මහත්තයාට මේ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්ද කියලා තවම කියන්න කල් වැඩියි. පාකිස්තානයේ අගමැතිකම් කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්. 1947 දී පාකිස්තානය බිහිවීමෙන් පස්සේ මේ වන විට අගමැතිවරු 18ක් එරට පාලනය කර තිබෙනවා. හැබැයි මේ කාටවත් තමන්ගේ ධූර කාලය හමාර කරලා ගෙදර යන්න වුණේ නැහැ. සමහරු හමුදා කුමන්ත්‍රණ වලින් බලයෙන් පහවුණා. සමහරුන්ට දේශපාලන බලපෙරළි වලින් ඉවත් වෙන්න සිදුවුණා. තවත් සමහරෙකු ඝාතනය වුණා.
ඉම්රාන්ගේ නිල කාලය හමාර වෙන්න තව තියෙන්නේ අවුරුද්දක් විතරයි. හමුදාවත් සමඟ අමනාපයෙන් ඔහුටත් ඉදිරි ගමනක් නැති බව පැහැදිලියි. දැන් අගමැතිතුමාගෙ කතා ඇහුවම එතුමාට අල්ලපු රටට යටින් තියෙන රටේ දේශපාලනය සිහිවෙනවා. ඒව ඇහුවම ඉම්රාන් පාකිස්තානයේ අගමැතිද විපක්ෂ නායකයද කියල හිතෙන තරම්.
“ඉන්දියාවට නිදහස් විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා. ඔවුන් QUOD සන්ධානය යටතේ ඇමෙරිකාවත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. එහෙම වුණා කියලා යුක්‍රේන ප්‍රශ්නයේදී ඉන්දියාව කාගෙවත් පැත්ත ගත්තේ නැහැ. ඇමෙරිකාව රුසියාවට දාපු සම්බාධක නොසළකා ඔවුන් රුසියාවෙන් ලාබෙට තෙල් ගන්නවා. මොකද ඉන්දියානු ප්‍රතිපත්ති හැදෙන්නේ ඉන්දියාවෙ මිනිස්සු වෙනුවෙන්.” ඉම්රාන් මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ මහජන රැළියකදී.
මේ ගැන නැවත හිතන කොට ඉම්රාන්ට තමන් හිතන තැනට පාකිස්තානය රැගෙන යන්න මිලිටරි නායකයන් ඉඩ නොදෙනවාදැයි සැක හිතෙනවා.ඩොලර් බිලියන 60 ක චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝවට ඉම්රාන් කැමැත්ත ප්‍රකාශ කළේ කැමැත්තෙන්ද නැත්නම් මිලිටරි බලපෑම නිසාදැයි කෙනෙකුට හිතන්නත් පුළුවන්. අවුරුද්දකට කළින් කොළඹට ආපු වෙලාවෙත් ඉම්රාන් කිව්වේ චීන ආර්ථික කොරිඩෝරය සමග එක්කාසු වෙලා එකට නැඟිටුමු කියලයි.
2019 දී පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත කණ්ඩායම් විසින් කාෂ්මීරයේ ඉන්දියානු කලාපයට අයත් පුල්වාමා හි පොලිස් කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළා. එයින් පොලිස් භටයන් 40 ක් මිය ගියා. ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ඈතට වන්නට පිහිටි ජයිෂ්- ඊ- මොහමඩ් ත්‍රස්ත කඳවුරකට ඉන්දියානු යුධ ගුවන් යානා විසින් පහර දුන්නා. ඉන්දියාව තමන්ගේ ගුවන් සීමාව අතික්‍රමණය කිරීම ගැන පාකිස්තානය තදින් විරුද්ධ වුණා.
එසේ පැමිණි ඉන්දියානු ගුවන් යානයක් පාකිස්තාන ගම්මානයකට කඩාවැටුණා. ගුවන් නියමුවා වුණේ අභිනන්දනන් වර්ධමාන්. අතටම අසු වූ සතුරාට ගම්මුන් පහර දෙද්දී ඉම්රාන් පාකිස්තාන හමුදාව යවා ඔහුව බේරා ගත්තා. මේ අතරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්තානට තර්ජනය කළේ ගුවන් නියමුවා නිදහස් නොකරන්නේනම් යුද ප්‍රකාශ කරන බව. ඉන්දියනු මහා මැතිවරණය ආසන්නයේ සිදු වූ මෙම සිදුවීම මෝඩිට ඉල්ලමක් වගේ වුණා. පාකිස්ථානයෙන් ගේම ඉල්ලලා ඔහු තමන්ගෙ ඡන්ද ගොඩ වැඩි කර ගත්තා. ඉන්දියාව හා පාකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික උණුසුම ඉහළ යද්දී ඉම්රාන් ඛාන් ඔහුගේ සුපුරුදු ක්‍රිකට් භාෂාව භාවිතා කළා. ඉන්දියාවේ කුලප්පු කිරීම් හමුවේ ඉවසිලිවන්තව ක්‍රීඩා කළ ඉම්රාන් ඛාන් අභිනන්දනන්ව ගෞරවාන්විතව නිදහස් කළා. ඒ පිළිබඳව සාමකාමී ලෝකයේ ප්‍රසංශාව ඉම්රාන්ට හිමි වුණා.
ඒත් මීට දශක කිහිපයට එහා ගියොත් ඉන්දියාව හිටියේ සෝවියට් දේශය සමඟ. සියා උල් හක් අගමැතිවරයාගේ සමයේ පාකිස්තානය යනු ඇමෙරිකාවේ දැඩි මිතුරෙක්. දැන් ඒ සියල්ල කණ පිට හැරිලා.
ඇමෙරිකාව පාකිස්තානය දිහා වපර ඇහින් බලන්න ආසන්නම හේතුව ඇබොට්ටාබාද් සිදුවීම කියල මතයක් තිබෙනවා. ඇමෙරිකානු හමුදාව ඔසාමා බින් ලාඩන් සොයාගෙන ඇෆ්ගනිස්තානයට ආවත් ඔහු ඇත්තටම හිටියේ පාකිස්තානයේ. කොච්චර තාක්ෂණයක් තිබුණත් ඇමෙරිකාවට බින් ලාඩන්ව සොයාගන්න අවුරුදු 10 ක් ගියා. ඒ වෙනකොටත් බින් ලාඩන් ඇබොට්ටාබාද් නගරයේ අවුරුදු හතරක්ම ජීවත්වෙලා තිබුණා. බින් ලාඩන් හිටපු නිවාසය තිබුණේ පාකිස්තානු හමුදා ඇකඩමියකට ඉතා ආසන්නයෙන්.බොහෝ විශ්ලේෂකයන්ට අනුව ලොව විශාලතම බුද්ධි සේවය වන්නේ ද පාකිස්තානයේ ISI සංවිධානය. එවැනි පරිසරයක් තුළ බින් ලාඩන්ට තමන්ගේ පවුල සමඟ එරට ආරක්ෂක අංශවල ඇස් වලට දැලි ගහලා ප්‍රධාන පෙළේ හමුදා නගරයක ජීවත් වෙන්න පුළුවන්ද කියන සැකය මතුවුණා.
කොහොම නමුත් ජනාධිපති ඔබාමා විසින් ඊට පස්සේ පාකිස්තානය වැඩිය ඇඟට ගත්තේ නැහැ. සැකය විශේෂයෙන්ම එල්ල වුණේ පාකිස්තාන දේශපාලන නායකත්වයට වඩා හමුදාවට. සිද්ධියෙන් පස්සේ පාකිස්තානු හමුදාවට ලැබුණු ඇමෙරිකානු ආධාර හා පුහුණුවීම් කෙමෙන් අඩු වී ගියා. නිරවි යුද සමයේ තමන් සමඟ හිතවත්ව සිටි පාකිස්තානය සම්බන්ධයෙන් ඔබාමා මහත්තයා රාජ්‍යතාන්ත්‍රික නිහඬතාවයක් අනුගමනය කළ බව හිතන්න පුළුවන්.
“පාකිස්තානය බින් ලාඩන්ට රැකවරණය දෙන බව වොෂිංටනය ප්‍රකාශ කළා නම් එය අනිවාර්යයෙන් ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන රාජ්‍යයක් වෙනවා. එහෙම වුණානම් පාකිස්තානයටත් ඉරානයට වගේ සම්බාධක පැනවෙනවා. නමුත් ඇමෙරිකාව පාකිස්තානය සම්බන්ධයෙන් ඒ වගේ දැඩි තීරණයක් ගත්තේ නැහැ.” යනුවෙන් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හා ඔබාමා පාලනයන් තුළ දකුණු ආසියානු කටයුතු පිළිබඳ උපදේශකයා වූ බෲස් රීඩෙල් පසු කාලයක පවසා තිබුණා.
ඉම්රාන් ඛාන් කියන්නේ ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කොයිතරම් දරුණු විදියට ප්‍රතිවාදියා සමග ගැටුනත් තරඟයෙන් පස්සේ එකට අඩියක් ගහන්න ක්‍රීඩයෙකුට පුළුවන්. මිලිටරි බලපෑමට යට වෙච්ච සම්ප්‍රදායික පාකිස්තාන දේශපාලනය ඉක්මවා රාජ්‍යතාන්ත්‍රික සංහිඳියාවකින් කටයුතු කරන්න ඉම්රාන් උත්සාහ කළේ ක්‍රීඩාවෙන් උකහා ගත ඉවසීම හා ජීව ගුණය නිසයි. ඉම්රාන්ට හෙට ගෙදර යන්න වුණොත් ඒ විශ්වාසභංගයේ මතුපිටින් පෙනෙන චෝදනා නිසා නොවෙන්න පුළුවන්.ලෝක භූ-දේශපාලනය ගැන අවබෝධයෙන් දේශපාලනය කරනවානම් තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රවලට අනුව අනුන්ගේ සීනි කිරන්න යන්න හොද නැහැ. එහෙම වුනොත් නොබැඳි පිළිවෙතකට ආපසු අනුගතවීම ලෙහෙසි නැහැ.

– ශානක ලියනගම

ලෝකය එකම යායක්

සබැඳි

Leave a Reply

Your email address will not be published.