තුන්වැනි ලෝක යුද්ධය සහ ලොකු අයියලා පස් දෙනා

යුක්‍රේන අර්බුදය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වේදැයි බොහෝ අය අහනවා. නමුත් අපිනම් මුල ඉඳන්ම කිව්වේ එහෙම වෙන්නෙ නෑ කියලා. ලෝක යුද්ධයකදී ගේමක් ගහන්න පුළුවන් ලොකු අයියලා පස් දෙනෙක් තමයි දැන් මේ ලෝකධාතුව උඩ වාඩිවෙලා ඉන්නේ. ගම්මුලාදෑනියෝ වගේ එවුන්දැලා ඒ ඒ කලාප අල්ලන් ඉන්නවා.
යුක්‍රේන ප්‍රශ්ණය ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වෙන්නනම් දෙපැත්තෙන්ම ලොකු අයියලා දෙන්නෙක් පිටියට බහින්න ඕන. දැන් සටන ඇවිලිලා තියෙන්නේ එකම පවුලක ලොකු අයියයි පොඩි මල්ලි කෙනෙකුයි අතර. රුසියාව,බෙලොරුසියාව හා යුක්‍රේනය කියන්නේ පැරණි රුස් අධිරාජ්‍යයේම කොටස්. එකම ස්ලැවැක් සම්භවය සහිත ජාතීන්. ඒ ගොල්ලො ඔක්කොම නෑදෑයො.
තාම පූටින් එක්ක හැප්පෙන්නේ සෙලෙන්ස්කි විතරයි. ඇමෙරිකාව හෝ යුරෝපා සංගමය සෙලෙන්ස්කි මහත්තයා එක්ක හිටගත්තත් යුද පිටියට බැහැලා නැහැ. ලොකු අයියලා අතර සටන තවම පවතින්නේ රාජ්‍යතාන්ත්‍රික වට මේසවල පමණයි.
සෙලෙන්ස්කි කොළුවා කරාටේ කිඩ් වගේ සෙල්ලම් දැම්මත් බයිඩන් උන්නැහේ තාමත් මිස්ටර් මියෑගි වගේ ඉන්නේ ඇයි? ඇමෙරිකාව තවමත් නොම්මර එකේ සුපිරි යුද බලවතා චරිතයට පණ පෙව්වත් රුසියාවට එරෙහිව එක වෙඩිල්ලක් හරි පත්තුකරන්න පසුබට වෙන්නේ ඇයි?. ඒකට හේතු අපි කළින් ලිපිවල සවිස්තරාත්මකව කතාකළා. ඒ වගේම ප්‍රංශය හා ජර්මනිය වැනි යුරෝපා බලවතුනුත් තාම හොරගල් අහුලන්නේ ඇයි?. ඒ ගැනත් කළින් කතාකරපු නිසා නැවත කියන්න උවමනාවක් නැහැ.

හංගේරියාවේ තාවකාලික නවාතැනක ලැගුම්ගෙන සිටින යුක්‍රේන සරණාගත පවුලක්. Photo :Anos Kummer/Getty Images/WSJ
ලෝකයේ න්‍යෂ්ටික අවි බලය හිමි රාජ්‍යයන් 9ක් තියෙනවා. ඒවා තමයි ඇමෙරිකාව, රුසියාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, චීනය, ඉන්දියාව, පාකිස්තානය,ඊශ්‍රායලය හා උතුරු කොරියාව. ඒ නිසා තුන්වැනි ලෝක යුද්ධයක් කියන්නේම All out war එකක් බව අමුතුවෙන් කියන්න උවමනා නැහැ. හතරවැනි ලෝක යුද්ධයක් කරන්න වෙන්නේ පොලු මුගුරුවලින් කියලා අයින්ස්ටයින් කිව්වේ ඒකයි. තුන්වැනි ලෝක යුද්ධයකින් පස්සේ ඒ ගැන ගැන කවි සීපද ලියන්න අපි වගේ අප්පුහාමිලා ඉතුරුවෙන්නෙත් නැති නිසා දැන්ම ඒ ගැන කියවන එක හොදයි.
න්‍යෂ්ටික බලය සහිත රටවල් කිහිපයක් තිබුණත් තුන්වැනි ලෝක යුද්ධයක පාර්ශවකරුවන් වෙන්න සුදුසුකම් ලබන ලොකු අයියලා 5 දෙනෙක් වෙනම ඉන්නවා. ඒ කවුද කියලා ඇබින්දක් සොයා බලමු.
ඇමෙරිකාව හා රුසියාව
එයින් වැඩිමල්ම අයියලා දෙන්නා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකය දෙකට බෙදාගත්තා. ඒ තමයි රුසියාව හා ඇමෙරිකාව. ඇමෙරිකාව ධනවාදී දෘෂ්ඨිවාදයේ සේනාධිනායකයා විදියට තවමත් මුල් පුටුවේ ඉන්නවා. සෝවියට් රුසියාව 1991 දක්වා සමාජවාදී දෘෂ්ඨිවාදයේ අණදෙන්නා විදියට වැජඹුණා. ඉන්පසුව සෝවියට් දේශය කඩා වැටුනත් රුසියාව පූටින්ගේ යටතේ නැවත අළුගසා දමා නැගිට සිටිනවා.

2021 දෙසැම්බර් 07 දින කළු මුහුදේ පිහිටි නිවාඩු නිකේතනයක සිට වීඩියෝ තාක්ෂනය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවුණු පුටින් photo AFP
යුරෝපා සංගමය
ඊට පස්සේ ඉන්නවා යුරෝපා සංගමය. එකම ධනවාදී ආර්ථික මොඩලයක් තුළ ක්‍රියාත්මක වන යුරෝපා සංගමය නේටෝව යටතේ එකම යුද සන්ධානයක සාමාජිකයන් ලෙස සිටිනවා. කොයිතරම් විශාල අධිරාජ්‍යයක් පවත්වා ගත්තත් මහා බ්‍රිතාන්‍යයට දැන් තනි ලෝක බලවතෙක් ලෙස නැඟී සිටින්නට හැකියාවක් නැහැ. ඔවුන් හැම විටම ඇමෙරිකාව හා ඉංග්‍රීසි බලඈණිය සමඟ එක්ව කටයුතු කරනවා. මේ ඉංග්‍රීසි බලඈණියට බ්‍රිතාන්‍යය මහ රැජිණගේ කිරීටය පිළිගන්නා කැනඩාව, ඕස්ට්‍රේලියාවෙ හා නවසීලන්තයත් ඇතුළත්. අවසාන වශයෙන් මේ සුද්දන්ගේ කිරීටය යුරෝපා සංගමය හා ඇමෙරිකාව සමඟ යුද-උපක්‍රමික වශයෙන් එක්ව කටයුතු කරන බව හංගන්න බැහැ. ඒ සමඟි පෙරමුණ ගැන කෙටියෙන් කිව්වොත් ඇමෙරිකාව, යුරෝපා සංගමය හා ඉංග්‍රීසි රටවල් ඇතුළත් බටහිර සේනාංකයට ඕනෑ විදියට තමා මේ මොහොතේත් ලෝකය කැරකෙන්නේ.
පළමු හා දෙවන ලෝක යුද්ධවල කඳවුරු දෙකකට වී ගහමරා ගත්ත යුරෝපයේ ප්‍රබලයන් එකම පොදු අරමුණකට ගොනු වෙලා ඉන්න එක ඇත්තටම ලෝකයේ සාමය පවත්වා ගැනීමට මහා රුකුලක්. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලයට පත්වන නායකයෙකුට මිසක් අධිකාරිවාදී නායකයෙකුට දැනට ඒ රටවල්වල ඉඩක් නැහැ.

ජර්මානු චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්රෝන්
පළමුවැනි ලෝක යුද්ධයෙන් පස්සේ පරාජිතයන්ට විශාල පීඩනයක් එල්ල වුණා. ජර්මනියට විශාල යුද වන්දියක් ගෙවන්න නියම වුණා. මිනිස්සු පාන් කෑල්ලක් හොයා ගන්න බැරිව අගුපිල්වල දුක්වින්දා. දිනපු අයියලා කරපු කෙණහිලිකම් නිසා තමයි ඇත්තටම දෙවන ලෝක යුද්ධයකට පාර කැපුණේ. නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒ වැරදි ගැන ලෝකය තේරුම් ගත්තා. ඒකට සාක්ෂි තමයි ජර්මනියේ හා ජපානයේ සීග්‍ර දියුණුව. අද යුරෝපයට පාර කියන්නේ ජර්මනිය. ආසියාවට පාර කියන්නේ ජපානය. යුද්ධයකින් පස්සේ පරාජිතයාට සහෝදරයකෙුට වගේ සළකන්න කියන්නේ ඒකයි. ඇත්තටම උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ කියන්නේ “නහි වේරානි වේරාන” කියන බුදුවදනම තමයි. ලංකාවෙන් තමයි ලෝකයට ඒ ගැන එදා මතක් කර දුන්නෙත්.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බිමටම සමතලා වෙච්චි ජපානයෙන් වන්දි ලබාගත යුතුය යන ජයග‍්‍රාහී බලවතුන්ගේ ස්ථාවරයට විරුද්ධව යමින් මුලින්ම කතාකළේ ජේ.ආර්. ජයවර්ධන. වැටුණු රටකින් වන්දි ලබා ගැනීම සුදුසු නොවන බවට 1951 සැන් ප‍්‍රැන්සිස්කෝ සමුළුවේදී ඔහු ලෝකයටම කිව්වා. කුඩා රටක් වශයෙන් එදා ශ‍්‍රී ලංකාව දරන ලද ස්ථාවරය අදටත් ජපන්නු අගය කරනවා. කාට හරි තර්ක කරන්න පුළුවන් ජේ.ආර්. එදා සෝවියට් දේශයේ ස්ථාවරයට විරුද්ධව ඇමෙරිකානු පදයට නැටුවා කියලා. නමුත් ”වෛරයෙන් වෛරය නොසන්සිඳෙන” බවට ධම්ම පදය උපුටා දක්වමින් ජේ.ආර්.කරපු කථාවෙන් පස්සේ ලොව සියළුම රටවල නියෝජිතයන් විශාල අත්පොළසන් නාදයක් ලබා දුන්නා.
මහජන චීනය
හතර වැනි ලොකු අයියා තමයි මහජන චීනය. කළින් කියපු හැමෝටම වඩා චීනය යන්නේ වෙනත්ම මාවතක.ඒ අපි දන්න සේද මාවත නෙවෙයි. ඔවුන්ගේ දැක්ම වන්නේ ලෝක ආර්ථිකයේ මහා බලවතා බවට පත්වීමෙන් අනතුරුව ලෝකය හැසිරවීමේ ආධිපත්‍යය තමන් සතුකර ගැනීමයි. ඇත්‍තටම මාවෝ සේතුංගෙ චීනය තාම තිබුණානම් චීන්නු තාම ලෝක ගෝලයේ කොණකට වෙලා ගැරඬි හපහපා ඉන්නවා. හැටේ දශකයේදී ඩෙං ෂියාවෝ පෙං තමයි මේ චීන ඉදිරි පිම්මට පාර කැපුවේ.
විශේෂයෙන් යුරෝපය හා ඇමෙරිකාව සමඟ වූ ආර්ථික සබඳතා චීනයේ ඉදිරි ගමනට බොහෝ සෙයින් වැදගත්. බටහිර තාක්ෂණය උකහා ගැනීමට චීන සිසුන් ඇමෙරිකානු විශ්ව විද්‍යාල වලට යැවීම චීනයේ ක්‍රමෝපායක්. ලී ක්වාන් යූ කියපු විදියට චීනය තව අවුරුදු 10ක්වත් මේ විදියටම අල්ලන් යාවි. ඔවුන් කොමියුනිස්ට් පක්ෂය පවත්වා ගන්නේ සමාජවාදයට යන්න නොවෙයි. කොමියුනිස්ට් යකඩ ග්‍රහනයෙන් චීනය ගිළිහුණ හොත් චීන සමාජය සී සී කඩ යනු ඇතැයි ඔවුන්ට ඇත්ත බියක් තිබෙනවා.
මාවෝ සේතුං විසින් ආරම්භ කරන ලද අඩු තාක්ෂණයෙන් යුතු මහජන හමුදාව තවදුරටත් චීනයේ නැහැ. එය නවීන අධි තාක්ෂණික හමුදාවක් බවට පරිවර්තනය වීම විස්වාස කළ නොහැකි වේගයෙන් සිදුව තිබෙනවා.
පූටින් මහත්තයා යුක්‍රේනයට බහින්න කළින් බීජිං පැත්තේ නෑදෑ ගම් ගිහින් ආවා.Winter Olympic බලන්න ගියා වගේ මතුපිටින් පෙණුනත් ඇත්තටම ඒක උපාය මාර්ගික දුත ගමනක්. යුරෝපයේ ඇතිවන යුද්ධයකදී ෂී ජිං පිංගෙ භූමිකාව කොයිතරම් වැදගත්ද යන්න පූටින් හොඳ හැටි දන්නවා.
පූටින් මහත්තයත් එක්ක බීජිං ගිය Diplomats ලා චීන නිලධාරීන් එක්ක එකතුවෙලා “අපි අඹ යාළුවෝ අපේ යාළුකම් වලට සීමාවක් නෑ” කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ඒත් ෂී මහත්තයා යුක්‍රේන අර්බුදය ඒ තරම් ඇඟට අරන් නැහැ. චීනයේ ස්ථාවරය කෙටියෙන්ම කිව්වොත් මෙහෙමයි.
“කිසිදු රටක් තවත් රටකට එරෙහිව සිදුකරන ආක්‍රමණ පිළිගන්න බැහැ. සියළු දෙනා සාකච්ඡා කර රාජ්‍යතාන්ත්‍රිකව ගැටළු විසඳාගත යුතුයි. හැබැයි නේටෝවේ බලව්‍යාප්තිය ගැන රුසියාවේ මතය සමඟ අපි එකඟයි. මේ අර්බුදයට පාර කැපුණේ බටහිර වැරදි නිසයි”
ඇමෙරිකාවයි චීනයයි අතරේ වෙළඳ යුද්ධයක් තියෙන බව ඇත්ත. ඒත් මේ දැවැන්තයන් දෙදෙනා අතරේ අවිගැටුමක් ඇතිවෙනවා නම් ඒ තායිවානය සම්බන්ධයෙන් තමයි.
තායිවානය චීනයේ කොටසක් ලෙස පිළිගැනීමට බලකරමින් කරන චීන මිලිටරි හා දේශපාලන බලපෑම් පසුගිය කාලයේ බොහෝ සෙයින් උත්සන්න වී තිබෙනවා. මිලියන 23ක ජනගහනයක් සිටින තායිවානය චීන ප්‍රධාන භූමියෙන් පිටත දූපතක් ලෙස පිහිටා තිබුණත් චීනය සලකන්නේ එය මහජන චීනයේම කොටසක් ලෙස. එය කවදා හෝ තම රටේ කොටසක් වනු ඇති බව චීනය විස්වාස කරනවා. තායිවානය යනු අවශ්‍යනම් බලහත්කාරයෙන් නැවත ලබා ගැනීමට හැකි චීනයෙන් කැඩී ගිය පළාතක් ලෙසයි චීන බලධාරීන් සලකන්නේ. නමුත් තායිවානය දිගින් දිගමට පවසන්නේ තම රට ස්වාධීන, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බව.

 
 
 
 
තායිවාන ගුවන් හමුදාවේ යුධ අභ්‍යාසයක්
කොහොම වුණත් ඉන් එහාට ගොස් තායිවානයේ කටයුතු වලට මැදිහත් වෙන්න චීන රජය මෙතෙක් කටයුතු කළේ නෑ. ඊට හේතුව ඇමෙරිකාව තායිවානය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වීම. තායිවානයට එරෙහි යුද්ධයකදී තායිවානය වෙනුවෙන් ඇමෙරිකාව සටනට එන බව චීනය දන්නවා.ඇමෙරිකාව පරාජය කිරීමේ බලය නුදුරේම තමන්ට ලැබිය හැකි බව ෂී ජිං පිංගේ මතයයි. තවමත් චීනය හා ඇමෙරිකාව යන රටවල් දෙකම බැළලියකට කුරුමානම් අල්ලන බළල් නාම්බන් වගේ තායිවානය සම්බන්ධයෙන් එකිනෙකා දෙස සැකයෙන් බලා සිටිනවා.
මේ ඔක්කොම අලකලංචි මැද්දේ ඊයෙ පාන්දර බයිඩන් මහත්තයායි ෂී ජිං පිං මහත්තයයි Online තාක්ෂණය ඔස්සේ එකට හමුවුණා. දෙන්නම තමතමන්ගේ කාර්යාල වල ඉඳන් අත් වනලා කටපුරා හිනා වෙලා සාකච්ඡාව පටන් ගත්තා. චීන රාජ්‍ය රූපවාහිනියනම් කියන්නේ “මේ යුද්ධය කාගෙවත් අවශ්‍යතාවයක් නොවෙයි” කියලා චීන ජනාධිපතිවරයා බයිඩන් මහත්තයාට කිව්වා කියලයි. රුසියාවට මිලිටරි හෝ මුදල් ආධාර දෙන්න එපා කියල බයිඩන් මහත්තයාත් චීනයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා.
මේ මොහොතේ චීනය රුසියාවට හමුදා ආධාර දුන්නොත් අනිවාර්යයෙන්ම ඒක චීනය හා ඇමෙරිකාව අතර Proxy war එකක් වෙනවා. Proxy war කියන්නේ රටවල් දෙකක් අතර ඇති වන යුද්ධයකදී යම් මූලෝපායික ප්‍රතිථලයක් බලාපොරොත්තුවෙන් තුන් වන පාර්ශවයේ රටවල් ඊට මැදිහත්වීම. හැමවිටම මහා බලවතුන් තමයි මේ Proxy යුද්ධවල පාර්ශවකරුවන් වුණේ. සෝවියට් දේශය හා ඇමෙරිකාව අතර එවැනි Proxy war කිහිපයක් සිදුවුණත් සීතල යුද්ධය අවසානයෙන් පස්සේ ඒ කතාව හමාර වුණා. මේ අර්බුදයේදී මතවාදීව රුසියාව පැත්තේ හිට ගත්තත් චීනය තවමත් ඉන්නේ නිහඩ ස්ථාවරයක. ඇත්තම කිව්වොත් මේ වෙලාවේ උපාසකයා වගේ හිටියොත් පස්සේ මීයො දෙන්න දෙන්නා අල්ලන්න පුළුවන් බව ෂී මහත්තයා තේරුම් අරන් ඉන්නවා. රුසියාව දිනුවත් පැරදුනත් ෂී මහත්තයා දිනුම්.

රුසියාවට පමුණුවා ඇති බටහිර ආර්ථික සම්බාධක නිසා පූටින් කොහොමත් චීනයට හේත්තු වෙන එක පුදුමයක් නොවෙයි. යුක්‍රේන අර්බුදය නිසා ලෝකයේ බොරතෙල් මිල ඉහළ ගියත් රුසියානු ගෑස් හා තෙල් චීනයට අඩු මුදලට ලැබෙනවා. චීන ආර්ථික සිහිනයට තිබනෙ ලොකුම ගැටළුවත් බලශක්තිය. ශ්‍රී ලංකාව හරහා හෝ පාකිස්තානය හරහා මැදපෙරදිගට කිට්ටු වෙන්න හදන්නෙත් ඒකයි. “එක් තීරයක් එක් මාවතක්” ස්ලෝගන් එකේ එක් අරමුණක් තමයි චීනයට ඇති පොසිල ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීම.
ඒ වගේම රුසියාව එක්ක යුවාන් වලින් ගනුදෙනු කරන්නත් චීනය බලාපොරොත්තු වෙනවා. ඩොලරයට විකල්පයක් ලෙස චීන මුදල් ඒකකය ජාත්‍යන්තර ගනුදෙනු වලදී උඩට ගෙන ඒම චීනයේ දීර්ඝකාලීන සැලැසුමක්.
ලෝක ආර්ථිකයෙන් හතරෙන් පංගුවකට හිමිකම් කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය. එහි චීනයේ කොටස සියයට 15යි. ලෝක ආර්ථිකයේ තවත් හතරෙන් එකක් යුරෝපා සංගමය විසින් දරා සිටිනවා. චීන බඩු වලට හොඳ මාකට් එකක් අවශ්‍යයි. චීන බඩු වැඩියෙන්ම විකිණෙන්නේ යුරෝපාකරයේ. යම් ආකාරයකින් රුසියාව ලෝකයේ හුදකලා වුව හොත් ලෝක වෙලඳපලේ චීනයට ඇති කීර්ති නාමයටත් කැළැලක් වෙනවා.මේ නිසා ෂී ජිං පිං මහත්තයා මේ මොහොතේ ඉතාම සූක්ෂම විදියට අර්බුදය කළමණාකරනය කරමින් සිටින බව කිව හැකියි.
ඉන්දියාව
දැන් අපි එමු පස් වැනි ලොකු අයියා ලඟට. එයා ඇත්තටම අපෙත් ලොකු අයියා නිසා කලින් කියපු හැමෝටම වඩා උන්දෑ අපට වැදගත්. ඒ අපේ අල්ලපු වැටේ ඉන්න අසල්වැසියා. ඉන්දියාව එක්ක බලද්දී අපි කොච්චර ලොකුද කියනවානම් එහේ කට්ටිය එකතුවෙලා මූදට මූත්‍රා කළත් අපේ මුතු ඇටේ යට වෙනවා. එහෙව් දැවැන්තයෙක්ගෙ එළිපත්තේ මෙහෙම හරි ඔලුව උස්සන් ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඒකට එක හේතුවක් තමයි අනාදිමත් කාලයක සිට භාරතය සමග අපට තිබුණු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම්. අපි දන්න ඉතිහාසයේ භාරතයේ විශාලතම අධිරාජ්‍යය පවත්වාගත් අශෝක රජු වුණත් ලංකාවට සැළකුවේ ගෞරවයෙන්. ලංකාව කියන්නේ වෙනම සංස්කෘතියක් තියෙන තමන්ගෙ බාල සහෝදරයෙක් විදියට තමයි ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිළිගන්නේ. බහුතර ඉන්දියානු ජන මනස හැදී තිබෙන්නේත් එහෙමයි. ඉන්දියාව කොයි රටක් එක්ක ක්‍රිකට් මැච් එකක් ගැහුවත් අපි ගන්නේ ඉන්දියාවට විරුද්ධ පැත්ත. එත් බහුතර ඉන්දියානුවන් එහෙම නෙවෙයි. ඉන්දියාව ගහන්නෙ නැත්නම් ඔවුන්ගේ ඊළග තේරීම ලංකාව.
අතීතයේ දකුණු ඉන්දියාවෙන් සොළී ආක්‍රමණ සිදුවුනත් ඉන්දියානු රාජ්‍යයයැයි හදුනාගත හැකි භාරතයෙන් අපට යුද තර්ජන එල්ල වෙලා නැහැ. ක්‍රි.පූ. හත්වැනි සියවසේ ලියැවුණු වාල්මිකීගේ රාමායනයේ තියෙනවා ලංකාපුරයට ‍එරෙහිව කරපු යුද්ධයක් ගැන. හැබැයි ඒක ගොඩ බෙදා ගන්න බැරිව එහෙම නැත්නම් ලංකාව අත්පත් කර ගන්න කරපු යුද්ධයක් නෙවෙයි. රාවණා ගිහින් රාමගේ ආර්යාව උස්සන් පැන්න නිසා තමයි මේ යුද්ධය ඇවිලෙන්නේ. පරම්පරා ගණනාවක් කටින් කට පැවත ගෙන ආපු මේ ඉතිහාස සිද්ධිය වාල්මිකී කාව්‍යයක් විදියට ලිව්වා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුළුමනින්ම ප්‍රබන්ධයක් වෙන්නත් පුළුවන්. කොහාම නමුත් දේව කතාවල තාර බර අයින් කරල ගත්තම රාම-රාවණා සටන ලෝක යුද්ධයක් විදියට හිතන්න පුළුවන්. බොහෝ විට මිලියන ගණනින් මිනිස්සු මියැදෙන්න ඇති. ඒ කාලෙ විදියට මහා පිපිරවීම් සිදුවෙලා තිබෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ මනසට ගෝචර නොවන හිස් තැන් වලට දෙවියන් එබ්බවීමෙන් එවැනි පුරාවෘත්ත සම්පූර්ණ කරගන්න පුළුවන්.
ගමේ චණ්ඩියාගේ භූමිකාව පසෙක තබා ලොකු අයියා විදියට වැඩකරන එකේ ක්‍රෙඩිට් එක කොහොමත් ඉන්දියාවට දෙන්න ඕන. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය නොබැඳි සමුළුවේදි කිව්වෙ ‘ඉන්දියානු සාගර කලාපය කියන්නේ ලෝකයේ ආගමික තොටිල්ලක් නිසා අවි ගැටුම් වලින් තොරව අපට නිවිහැනහිල්ලේ ඉන්න දෙන්න” කියලයි. ඇය ඉන්දියාවත් සමග ඉතා කදිම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වා ගත්තා. ඉන්දියාවට අයිති කච්චතිව් දූපත නැවත ලංකාවේ නමට ලියාගන්නත් ඇයට හැකි වුණා. කොහොම නමුත් ලංකාව විවෘත ආර්ථිකයට පිවිසීමත් සමඟ ඉන්දියාව අපි දිහා බැලුවේ වපර ඇසින්. ජවහර්ලාල් නේරුගේ තිබුණු භූ දේශපාලනික දැක්ම ඔහුගේ දරු මුණුබුරන්ට තිබුණේ නැහැ. වඩමාරච්චි මෙහෙයුම සාර්ථක වෙද්දී රජිව් ගාන්ධි අපට බාල්දියක් පෙරළුවා. ඉන්දියානු ගුවන් හමුදාව උඩින් ඇවිත් උතුරට පරිප්පු දැම්මා. ඒ නොමේරූ වැඩවල පරිප්පුවත් එතුමාම කාපු බව කවුරුත් දන්නවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉන්දීය අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු මහතා සමග ඉන්දියාවේදී
ඉන්දියාව මේ මොහොතේ ඉතාම නිවැරදි ආකාරයට කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා. අනිකුත් මහා බලවතුන් එක්ක එක පෙළට හිට ගන්න මෝඩි මහත්තයාට තවම බැහැ. ඒ වුණත් ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය හරියටම හරි. හිමාල දේශසීමාවේ චීනය එක්ක කොක්ක ඇදගෙන ඉන්න ඉන්දියාව චීනයත් එක්ක තියෙන තරහට රුසියානු නහය කපා ගනීවියැයි බොහෝ අය හිතුවත් එහෙම වුණේ නැහැ. නේරුලාගේ කාලේ ඉදන් ඉන්දියාවේ වැඩි නැඹුරුව තිබුණේ සෝවියට් දේශය එක්ක හිටගන්න. මන් මෝහන් සිං අගමැති වෙලා නිදහස් වෙළදපොළට ඇති බාධා ඉවත් කිරීමත්. චීනයත් එක්ක තිබෙන දේශසීමා අරගලත් නිසා ඉන්දියාව පසුකළෙක බටහිර පැත්තට ඇදීගියා. නමුත් ඉන්දියාව මේ මොහොතේ අපේ කලාපයේ බලවතා විදියට මධ්‍යස්ථ ස්ථාවරයක ඉන්න නිසා ලෝක යුද්ධයක් ඇවිළුනත් අපේ පැත්තට මිසයිල පාත් වෙන එකක් නැහැ.
18 වන සියවසේ මධ්‍යධරණී මුහුද තමයි ලෝක ආර්ථිකයේ මර්මස්ථානය වුණේ. 19 වන සියවස වන විට එය අත්ලාන්තික් සාගරයට මාරුවුණා. 20 වැනි සියවස වන විට ලෝක ආර්ථිකය කේන්ද්‍රගත වී තිබුණේ පැසිෆික් හෙවත් ශාන්තිකර සාගරය වටායි. නමුත් 21 වැනි සියවස ඉන්දියානු සාගර යුගය බව තමයි කෆ්ලින් ආදී ඇමෙරිකානු විශ්ලේශකයන්ගේ මතය. ජනාධිපති බැරැක් ඔබාමා ආසියා-ශාන්තිකර කලාපයේ ආර්ථික බලවතුන් වන ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සමඟ එකතු වී චීනයට එරෙහි පුළුල් සන්ධානයක් ගොඩ නැගුවේත් ඒ නිසයි.. එකී සන්ධානය දැන් හැඳින්වෙන්නේ The Quad යනුවෙන්. මේ රටවල් හතරම චීනය සමඟ මේ වන විට එතරම් හිත හොඳින් නෙවෙයි පසුවන්නේ.
පූටින් යුක්‍රේනයට දාන සෙල්ලම් මෝඩි මහත්තයා ලංකාවට දාන්න ආවොත් ෂී ජිං පිං මෙහෙට කාලතුවක්කු එවන්නෙ නැහැ. ඕනමනම් එයාගේ යාළුවො ටික විතරක් එහෙට ගෙන්න ගනීවි. රජිව් ගාන්ධි අපට පරිප්පු දාන වෙලාවෙත් ඇමෙරිකාවෙ රේගන් මහත්තයා අපට පාන් එව්වෙ නැහැ. ඒක තමයි ලෝක භූ-දේශපාලන යථාර්තය. අපට ඉන්දියාව වැදගත් වන්නේ යම් සේද ඊට වඩා කිහිප ගුණයකින් ඔවුන්ට ලංකාව වැදගත්. ඉන්දියාව තමන්ගෙ හොදම රාජ්‍යතාන්ත්‍රිකයන් ලංකාවට එවන්නේත් ඒ නිසයි. ඉන්දියාව අපේ ඓතිහාසික හතුරා ලෙස නොසළකා දීර්ඝකාලීන මිතුරා ලෙස සළකන විදේශ ප්‍රතිපත්තියකින් අපට ඉන්දියාව සමගම ඔළුව උස්සන්න පුළුවන්.

– ශානක ලියනගම
ලෝකය එකම යායක්

සබැඳි

Leave a Reply

Your email address will not be published.