ඕරා යන්ත්‍රයේ මුළාවට හසු නොවන්න !

ඕරා යන්ත්‍රයේ මුළාවට හසු නොවන්න !

මෑතක සිට විද්‍යාත්මක ක්‍රමයක් මඟින් පලාපල කියන බවට විශාල ප්‍රචාරයක් සිදු කරමින්, මහජනයා මුළා කර මුදල් උපයන ක්‍රමයක් ජ්‍යෝතිෂඥයකු විසින් ආරම්භ කරනු ලැබ ඇත. මෙම ක්‍රමය සඳහා උපයෝගී කරගෙන ඇත්තේ, ‘ඕරා ස්කෑනරය’ හෙවත් ඕරා යන්ත්‍රය ලෙස වාණිජ වශයෙන් නම් කර ඇති උපකරණයකි. මේ උපකරණය මඟින් යමකුගේ ශරීර ‘ඕරාව’ ද, ‘ශක්ති චක්‍ර’ හත ද දැක්වෙන බව ද, ඒ අනුව පලාපල කිව හැකි බව ද, චක්‍ර දුබල නම්, ඒවා තුලිත කිරීමට අවශ්‍ය මැණික් වර්ග සපයන බව ද මෙම ජ්‍යෝතිෂඥයා විසින් පුවත් පත් මඟින් ප්‍රචාරය කරනු ලැබ ඇත. තවද, හඳහනක් නැති අයකුට ද මේ ක්‍රමය මඟින් පලාපල දැනගත හැකි බව ද දක්වා ඇත.

විවිධ මිථ්‍යාවන්ට ඉතා පහසුවෙන් රැවටෙන අප රටේ බොහෝ දෙනා ‘විද්‍යාත්මක උපකරණයකින් පලාපල කියන ක්‍රමයක්’ යන්න ඇසූ පමණින් එයට මුළා වීම පුදුමයක් නොවේ. සරල ලෙස ම පැවසුවහොත්, මෙම යන්ත්‍රයෙන් කෙරෙන්නේ විද්‍යුතය සමඟ සම්බන්ධකමක් ඇති සංසිද්ධියක් පැරණි ඉන්දියානු මිථ්‍යා මත සමඟ සම්බන්ධ කර  වර්ණ හතක් පරිගණක තිරයක් මත වැටීමට සලස්වා ඒවා ‘ඕරා’ ලෙස හෝ ‘ශක්ති චක්‍ර’ ලෙස හෝ නම් කර ඒවා අනුව පලාපල කීම ය. වර්ණ සහ චක්‍ර පරිගණක තිරය මත වැටීමට සලස්වන්නේ පරිගණක තාක්ෂණයෙනි. එයට කැමරාවක් ද, ස්කෑනර් යන්ත්‍රයක්  හෝ සංවේදන මානයක්ද උපයෝගී කර ගනු ලැබේ.

සජීව සහ අජීව ද්‍රව්‍ය වටා ‘ඕරාවක්’ ඇතැයි යන මතයට මුල් වූයේ 1900දී නිකොලා ටෙස්ලා (Nicola Tesla) විසින් කරන ලද පරීක්ෂණයකි. එහි දී ඔහු පැතලි යකඩ ලෝහ තහඩු දෙකක් අතර ඡායාරූප පටලයක් තබා එක් ලෝහ තහඩුවක් සහ ඡායාරූප පටලය අතර යම් වස්තුවක් තබා ලෝහ තහඩු දෙක විද්‍යුත් ධාරාවකට සම්බන්ධ කරන ලදී. ඉන් පසු ඡායාරූප පටලයේ සටහන් වී ඇති වස්තුවේ ඡායාරූපය වටා ආලෝකයක් ඇති බව ඔහු නිරීක්ෂණය කළේය. මෙම ක්‍රමය වැඩිදියුණු කළ කිර්ලියන් (Semyon Kirlian) 1939දී විවිධ ද්‍රව්‍යවලින් ලැබෙන ඡායාරූප වටා තිබූ ආලෝකවත් වූ ප්‍රදේශය ‘ඕරාව‘ (Aura) ලෙස හැඳින්වී ය. කිර්ලියන් තම ඡායාරූප සහ ඒවා ලබා ගත් ක්‍රමය ප්‍රසිද්ධියට පත් කළේ 1958දී පමණ ය. යම් වස්තුවක zඕරාවZ සටහන් වූ ඡායාරූප ‘කිර්ලියන‘ ඡායාරූප’ ලෙස ප්‍රසිද්ධ විය.

යම් වස්තුවක මෙම ක්‍රමයෙන් ‘ඕරාව’ සටහන් වීම ගැන පර්යේෂණ කළ විද්‍යාඥයෝ 1976දී එයට හේතුව එම වස්තුව වටා ඇති වන විද්‍යුත් විසර්ජනයක් (Electrical Discharge) නිසා බවත්, එම ඕරාවේ ප්‍රමාණය, වර්ණය ආදී ලක්‍ෂණ ඇති වන්නේ එම වස්තුව මත ඇති තෙතමන ප්‍රමාණය අනුව බවත් පැහැදිලි කළහ. එහෙත්, විද්‍යාත්මක පැහැදිලි කිරීම් නොසැලකූ එකල පරම විඥානාර්ථවාදිනියක වූ බ්ලැවට්ස්කි මැතිනිය (Madam Blavatsky) ඉන්දියාවේ විශ්වාස අනුව යමින් ප්‍රකාශ කර තිබුණේ, ස්වභාවයේ සියලුම වස්තු වටා ඇසට නොපෙනෙන වර්ණ හතකින් සමන්විත ඕරාවක් පවතින බවය.

ඉන්දියානු හින්දු ජ්‍යෝතිෂ්‍යයේ පවතින විශ්වාසයක් වන්නේ ශරීරයේ විවිධ වර්ණවලින් යුත් ශක්ති චක්‍ර හතක් පවතින බව ය. මෙම චක්‍රවලින් ශරීරයට, මනසට සහ අධ්‍යාත්මයට (Spirit) ශක්තිය සැපැයෙන බව ද, සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මෙම චක්‍රවලින් සැපැයෙන ශක්තිය තුලිත විය යුතු බව ද විශ්වාස කෙරේ. එම චක්‍ර හත මෙසේ ය:

1. මූලාධාර චක්‍රය: මෙය කොඳු ඇට පෙළේ අග පිහිටා ඇත. මෙය නාභිය තෙක් පැතිර ඇත. රතු වර්ණයෙන් යුතු මෙය ජීවිතය පැවැත්මට අවශ්‍ය සියලු දේ සපයයි.

2. ස්වාධිශාන චක්‍රය: නාභියෙන් අඟල් කිහිපයක් පහළ සිට එහි මැද පමණ තෙක් විහිදේ. තැඹිලි පැහැ වර්ණයෙන් යුත් එය ජීවිතයේ විනෝදවත් දේ ලබා දෙයි.

3. මණිපුර චක්‍රය: බඩ ප්‍රදේශයේ පිහිටි මෙය කහ පැහැයෙන් යුක්තය. ආත්ම විශ්වාසය ද, පෞද්ගලික බලය ද ලබා දෙයි.

4. අනාහට චක්‍රය: පපුව මැද ප්‍රදේශයේ පිහිටි මෙය දීප්තිමත් කොළ පැහැයෙන් යුක්තය. උගුර තෙක් විහිදේ. මෙයින් ආදරය, කරුණාව සහ අනුකම්පාව ඇති කරවයි.

5. විශුද්ධ චක්‍රය: අකු ඇට මැද පිහිටා ඇත. එය හෘදයවස්තුව දක්වා පහළට ද, ඇස් දක්වා ඉහළට ද විහිදේ. ආදරයෙන් සහ කරුණාවෙන් සත්‍යය කීමට උපකාර වේ.

6. අජ්න චක්‍රය: ඇහි බැමි අතර පිහිටි මෙය මුඛය දක්වා පහළට ද, හිස් මුදුන තෙක් ඉහළට ද විහිදේ. තුන්වැනි ඇස ලෙස ද හැඳින්වෙන දම්වන් නිල් පැහැය ඇති මෙය මානසික බල ලබා දෙයි.

7. සහස්වර චක්‍රය: හිස මුදුනේ පිහිටා ඇත. නිල් වර්ණයෙන් යුක්ත ය. එය ඇස් දක්වා පහළට ද, අනන්තය දක්වා ඉහළට ද විහිදේ. මෙයින් ශරීරය විශ්ව ශක්තියට සම්බන්ධ කෙරේ.

විශ්ව ශක්තියක් යනුවෙන් විශේෂ ශක්තියක් ඇතැයි යන්න මෙන් ම එය අප ශරීරයට ලබා ගත හැකි ය යන්න ද වැරදි විශ්වාසයකි. එමෙන් ම ශරීරයේ ශක්ති චක්‍ර හතක් ඇති බව ද, ඒවායේ ඇතැයි කියන වර්ණ ද, ඒවායේ බලපෑම් ද වැරදි විශ්වාස වන්නේ ඒවා තිබෙන බවට කිසිම සාක්ෂියක් නැති නිසාය.

එමෙන්ම විශ්වයේ අඩංගු ශක්ති අතුරින් අපට ප්‍රයෝජනවත් වන්නේ සූර්යයාගෙන් ලැබෙන ආලෝක ශක්තිය සහ තාප ශක්තියයි. ආලෝක ශක්තිය නිසා කොල පැහැ ශාකවලට ආහාර නිපදවා ගත හැකි වී ඇත. සතුන් එම ආහාර අනුභව කර එම ආහාරවල අඩංගු රසායනික ශක්තිය විවිධ ක්‍රියා සඳහා භාවිත කරනු ලැබේ. එහෙත්, සූර්යාලෝකයේ ඇති පාරජම්බුල කිරණ අපේ ශරීරයට අහිතකරය. මෙම කිරණ වායුගෝලයේ ඉහළ අඩංගු ඕසෝන් වායුව නිසා විනාශ වේ. සූර්යයාගෙන් ද, අවකාශයෙන් ද ලැබෙන කොස්මික් කිරණ ද අපට අහිතකරය. ඒවා ද වාතයේ අඩංගු වායු අංශු සමඟ ගැටී විනාශ ව්.

ශරීරයේ ඇතැයි විශ්වාස කරන ශක්ති චක්‍ර හතට ග්‍රහයන් ද සම්බන්ධ කරගෙන ඇත. මූලාධාර චක්‍රයට අඟහරු ද, ස්වාධිශාන චක්‍රයට සිකුරු ද, මණිපුර චක්‍රයට සූර්යයා ද, අනාහට චක්‍රයට චන්ද්‍රයා ද, විශුද්ධ චක්‍රයට බුධ ද, අජ්න චක්‍රයට සෙනසුරු ද, සහස්වර චක්‍රයට බ්‍රහස්පති ද බලපාන බව විශ්වාස කෙරේ.

ජ්‍යෝතිෂ්‍යය ග්‍රහයන් නව දෙනකුගේ බලපෑම් ගැන සඳහන් කරන නමුත්, චක්‍ර ඇත්තේ, හතක් පමණක් නිසා රාහු සහ කේතු චක්‍රවලට කෙරෙන බලපෑමෙන් ඉවත් කර ඇත. ශරීරයේ විවිධ ප්‍රදේශවලට එම ග්‍රහයන් බලපාන්නේ එම ග්‍රහයන් හා ශරීර ප්‍රදේශ අතර පවත්නා කවර සම්බන්ධයක් නිසා ද යන්න ජ්‍යෝතිෂ්‍යයේ නොදැක්වේ.

ඕරාව කෙරෙහි මහජනයා දක්වන උනන්දුව නිසා ඕරාව දැක්වෙන යන්ත්‍රයක් නිපැදවීමට වෙළෙඳ ව්‍යාපාර විසින් සංවේදනමානයක් (Sensor) ද, වෙබ් කැමරාවක් ද, පරිගණකයක් ද භාවිත කර ඕරා යන්ත්‍ර නිපදවා ඇත. ඕරාව පෙන්වන පලාපල කියන ජ්‍යෝතිෂ්‍යඥයන් විසින් යොදා ගනු ලබන්නේ එවැනි යන්ත්‍ර වේ. එහෙත්, මෙම යන්ත්‍රවලින් දැක්වෙන ඕරාව කිර්ලියන් ඡායාරූප මඟින් ලබා ගන්නා ඕරාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඕරා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය ද කිර්ලියන් ඕරා ලබා ගත් ක්‍රියාකාරීත්වයට වඩා වෙනස් වේ. ඇත්ත වශයෙන් මේවායේ ප්‍රදර්ශනය කෙරෙන්නේ කෘත්‍රිම ඕරාවකි.

ඕරා යන්ත්‍රය මඟින් දැක්වෙන ඕරාව අනුව පලාපල දැනගැනීමට එන තැනැත්තා වෙබ් කැමරාව ඉදිරියේ වාඩි වී සංවේදනමානය මත තම අත තැබිය යුතුය. එවිට මඳ වේලාවකින් පරිගණක තිරය මත ශරීරයේ උඩ කොටසේ රූපයක් ද, වර්ණ හතකින් යුත් ශක්ති චක්‍ර ද, විවිධ ප්‍රමාණයේ ස්ථම්භ ප්‍රස්ථාර ද, වෙනත් සිතියම් ද දැක්වෙනු ඇත. මේවා දැක්වෙන ක්‍රමය යන්ත්‍රයෙන් යන්ත්‍රයට වෙනස් වේ. සමහර යන්ත්‍ර ත්‍රිමාණ රූප දක්වනු ඇත.

මෙම යන්ත්‍ර ක්‍රියා කිරීමේ දී යම් තැනැත්තෙක් සංවේදනමානය මත අත තැබූ විට එහි විවිධ ස්ථානවලින් අතේ විද්‍යුත් සන්නායකතාව පිළිබඳ දත්ත ලබාගෙන පරිගණකය වෙත යවනු ලැබේ. වෙබ් කැමරාවෙන් ලැබෙන රූපයෙන් ලැබෙන තොරතුරු ද ලබා ගන්නා පරිගණකය එයට ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහනක් හෙවත් මෘදුකාංගයක් අනුව ක්‍රියාත්මක වේ. අතෙන් ලැබෙන දත්ත අනුව ශක්ති චක්‍ර දිස්විය යුතු අන්දම ද, ඒවායේ වර්ණ හා ප්‍රමාණයන් ද පරිගණක වැඩසටහන අනුව ක්‍රියාත්මක වී ඒවා තිරය මත දිස්වීමට සැලැස්වේ.

මෙම යන්ත්‍රවලින් දැක්වෙන වර්ණ හෝ ඒවායේ ප්‍රමාණ හෝ යමකුගේ ශරීර සෞඛ්‍යය මත හෝ කේන්ද්‍රයේ සටහන් කර ඇති ග්‍රහයන් මත හෝ රඳා නොපවතී. අතේ තොරතුරුවලින් ශරීරයේ ඕරා දක්වන්නේ කෙසේ ද යන්නවත් ශාස්තර ඇසීමට යන අය ජ්‍යෝතිෂ්‍යඥයන්ගෙන් විමසන්නේ නැත්තේ ඇයි ?

මෙය සම්පූර්ණයෙන් ම ප්‍රෝඩාවකි. ඇමෙරිකාවේ මුලින් නිපද වූ මෙම යන්ත්‍රවලට විවිධ ක්‍රම අනුව ශාස්තර කියා මුදල් උපයන අයගෙන් වන ඉල්ලුමට අනුව ඉන්දියාව විසින් ද මෙම යන්ත්‍ර නිපදවනු ලැබේ. අන්තර්ජාලය මඟින් ගෙන්වා ගත හැකි මේවා ඩොලර් සිය ගණනේ සිට 4,000ක් තරම් මිලකට ලබා ගත හැකිය. මේවාට නොරැවටෙන ලෙස ද, විචාර බුද්ධියෙන් කටයුතු කරන ලෙස ද මහජනයාගෙන් ඉල්ලමු.

.ඩී. ගුණසේකර

හිටපු අධ්‍යක්ෂ, පශ්චාද් උපාධි ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව.

ජාතික අධ්‍යාපන ආයතනය


Leave a Reply

Your email address will not be published.