ගැටුම වෙනුවට ආදරය…

අම්මා කෙනෙක් කියන්නේ තමන්ගෙ දරුවට හොඳක් වෙනවා නම් ජීවිතය වුණත් දෙන්න කැමති ආදරයේ ප්‍රතිමූර්තියට. මේ දරුවෝ ඩිංග ඩිංග ලොකු වෙනකොට විවාහ වෙන වයසට ආවහම ලෝකෙ ඉන්න හොඳම ලේලිව, බෑනව විවාහ කරලා දෙන්න තමයි හැම අම්මා කෙනෙක්ම උත්සාහ කරන්නේ. විවාහයෙන් පස්සේ මේ අම්මා කියන භූමිකාව කොහොමද වෙනස් වෙන්නේ කියන එක ඇත්තටම ගැටලුවක්. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් දුවගේ සැමියාට ආදරෙන් සැලකීම සමස්තයක් විදිහට ගත්තහම බහුතරයක් ලෙස සලකන්න පුළුවන්. අම්මලා තමන්ගේ ලේලියට ආදරෙන් සලකනවා නම් ඒ කලාතුරකින් කියන වග නම් ලංකාව වගේ රටකට නොරහසක්.

ලේලි ගැන වෙන දෘෂ්ටිකෝණයකින් බලන්නත්, දුව ගැන තවත් දෘෂ්ටි කෝණයකින් බලන්නත් එකම අම්මට පුළුවන් ද? ඇත්තටම ඒක ද මවු සෙනෙහස ?

තමන්ගෙ පුතාට ඇත්තටම ආදරය කරන අම්මා කෙනකුට පුළුවන් වෙන්න ඕන තමන්ගේ ලේලිට ඒ වගේම ආදරේ කරන්න. ඒත් වර්තමානය වන විට නැන්දම්මා – ලේලි ගැටුම පවුල් විසිරී යාමට ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. දුවෙකුයි පුතෙකුයි ඉන්න මවක් පුතාගේ විවාහයේ දී හිතනවා “ලේලිට කලින් මෙයා මගේ පුතා වුණේ. වැඩි අයිතියක් තියෙන්නේ මට. පුතා වැඩියෙන් සලකන්න ඕන ලේලිට නෙමෙයි මටයි” කියලා. ඒ අම්මාම තමන්ගේ දුවගේ විවාහයේ දි කියනවා “පුතේ අපි දුවව හැදුවේ මලක් වගේ. ඔයත් ඒ වගේම බලාගන්න ඕනේ, වෙනසක් කරන්න එපා” කියලා. ලේලි ගැන වෙන දෘෂ්ටිකෝණයකින් බලන්නත්, දුව ගැන තවත් දෘෂ්ටි කෝණයකින් බලන්නත් එකම අම්මට පුළුවන් ද? ඇත්තටම ඒක ද මවු සෙනෙහස ?
ලංකාවේ විවාහයෙන් පස්සේ සැමියාගේ නිවසේ බිරිඳ නැවතිය යුතු වීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. කුමක් හෝ හේතුවක් මත බිරිඳගේ නිවසේ නැවතීමට සැමියාට ආරාධනා කළොත්, බොහෝ පිරිමින් බොහෝ විට එය ප්‍රතික්ෂේප කරනවා. ඊට බොහෝ විට හේතු විදිහට කියන්නේ “අම්මයි, තාත්තයි දාල මට කොහෙවත් යන්න බැහැ. මං ගියාම එයාලව කවුද බලාගන්නෙ? ඔයාව මං අපේ ගෙදර එක්ක යන්නෙත් එයාලව බලාගන්න කවුරුවත් නැති හින්දා මට බෑ උපන්ගම දාලා යන්න” වැනි අදහස්. මෙම අදහස් කොතරම් අසාධාරණ ද? දුවෙකුට තමන්ගේ දෙමවුපියන් අතහැර සැමියාගේ නිවසට ගිය විට ඇගේ දෙමවුපියන් තනි වෙන්නේ නැති ද? එවිට ඔවුන් බලා ගන්නේ කවුරුන් ද? චාරිත්‍රානුකූල සියලු දේ සර්ව සාධාරණ නොවේ.
බොහෝ මවුවරුන් තම පුතුගේ විවාහයෙන් පසුව පුතාගේ පවුල් ජීවිතයට අනවශ්‍ය ලෙස අත දැමීමට යාම සැබැවින්ම පදාචාරාත්මක නොවන සිදුවීමකි. දෙමවුපියන්ගෙන් වෙන්ව නව නිවසක පවුල් ජීවිතය ඇරැඹීමට පවා ඉඩකඩ නොදෙන තරම් ඇතැම් මවුවරුන් කෲරසහගතය. තම ලේලියගේ හොද්දේ ලුණු බැලීමටත්, ඇගේ ඇඳුමේ දිග පළල මැනීමටත්,  ඇවිදින ඉරියව්වේ පවා ඇදයක් දැකීමටත් තරම් ඇතැම් මවුවරුන්ගේ ක්‍රියාකලාපය ඉතා වැරැදිසහගත ය. ඒ අතර තම මවගේ වචන විශ්වාස කරමින් බිරිඳට වෙනස්කම් කරන සැමියන් ද සමාජයේ ඕනෑ තරම් දකින්නට පුළුවන. මේ හේතුවෙන් ලංකාවේ කාන්තාවන්ගෙන් බහුතරයක් විවාහ ජීවිතය පීඩාකාරී ලෙස ගත කරති.
ඒ අතර තම පුතුට වඩා ලේලියට ආදරයෙන් සලකන දිව්‍යාංගනාවන් වැනි නැන්දම්මාවරුන් ද නැත්තේ නොවේ. එහෙත්, තවමත් පොදුවේ ලාංකීය සමාජ ක්‍රමය ඇතුළේ කාන්තාව අතිශයින්ම පීඩා විඳින අවස්ථාවක් ලෙස නැන්දම්මා – ලේලි ගැටුම හැඳින්විය හැකිය. බටහිර රටවලට සාපේක්ෂව ආසියාතික රටවල මෙම තත්ත්වය වඩාත් බරපතළ ය.
ඒ නිසා නව පරම්පරාව වෙනස් මානයකින් සිතන පිරිසක් බවට පත් විය යුතු ය. සාම්ප්‍රදායික නැන්දම්මා – ලේලි ගැටුමට තිත තබා බුද්ධියෙන් තීරණ ගෙන සාර්ථක පවුල් ජීවිතයක් පවත්වාගෙන යන තරුණ තරුණියන් බවට ඔවුන් වෙනස් විය යුතුය. එසේ වෙනස් වෙමින්, ආත්මාර්ථකාමය වෙනුවට අනෙකාට ආදරය කරන්න ගෙදරින්ම පටන් ගන්නේ නම් ලංකාවම මීට වඩා ලස්සන තැනක් කිරීමට හැමටම හැකි වනු ඇත.

■ චමෝදි පෙරේරා

 
 

Leave a Reply

Your email address will not be published.