බොඩි ස්ලිම් මෙතඩ්…

ඡන්න කන්තෝරුවට ගොඩවුණේ “ෂිහ් 09.01යි කියාගෙන.” ඒ එක්ක ම ආව රාධා කියාගෙන ආවෙ “විනාඩි 05ට ෂෝට්ලීව්” කියලයි. කල්‍යාණි හතිමුනින් දාගෙන දුවගෙන ආවෙත් ඒ එක්කම. බ්‍රාන්ච් එකෙන් බාගයක් ම ආවෙ නමය පහුවෙලා.
“ලොකු ට්‍රැෆික් එකක් ද?” කියල ඇහුවෙ ලක්ෂ්මි.
“ඔව් අස්ස ඉස්තාලෙ ගාව. එන්න බෑ. පෝලිමට වාහන.” අක්කෝස කිව්වෙ පුපුර පුපුර.
“එතන ෂෙඩ් එකක් ද?” කියල ඇහුවෙ කේසි.
“ෂෙඩ් එකක් නෙවේ මඩ වළක්. ඇත්තට ම මොන එහෙකට ඔතන නඩත්තු කරනව ද වහල නො දා. මිනිස්සුන්ගෙ සල්ලිවලින් නඩත්තු වෙන උන්දලට තේරෙන්නෑ ජීවත්වෙන අමාරුව. හිනැහි හිනැහි තව වැඩි වෙයි තව වැඩිවෙයි කිය කියා තප්පුල්ලන්න විතරයි දන්නෙ. ඕක ඇරල පිනට කන්න දීලා සල්ලි කාබාසිනියා කරන එකේ වැහැව්වා කියලා මේ දූවට වෙන අලාබෙ මොකද්ද?” ප්‍රමිල කිව්වෙ තරහෙන්.
“ලාබ අලාබ ගැන වැඩක් නෑ. පෙට්‍රල්, ඩීසල් නෑ කියලා පාරෙ වාහනවල අඩුවක් වෙලා තියෙනවද? ගමන් බිමන් අඩුවෙලා ද? මොකවත් වුණු බවක් නෑනෙ. දන්සැල් පෝලිං වාගේ පෝලිං විතරනෙ. පුරවස්සන්ට අවුලක් නෑ. වස්සො ටික වලිගෙ කරකවනවා. තප්පුල්ලනවා. වෙන මොකවත් නෑ. තව කෙළවුණත් අවුලක් නෑ. මේක සිරිදූව.” ඡන්න කිව්වෙ උදුම්බරා දිහා බලාගෙන.
“හරි ඉතින් තප්පුලන්න හරි රටක් එපෑ. ඒක තියෙනවනෙ.” උදාසීන විදියට කිව්ව උදුම්බරා එබුණෙ ලිපි ගොනුවකට.
හොඳට ම පරක්කුවෙලා දුවගෙන ආව කල්‍යාණි බෑග් එකත් කරේ එල්ලගෙන ම පුටුව උඩට වැටුණෙ පපුව බදාගෙන. බ්‍රාන්ච් එකේ ම බවලතියො සෙට් එක කල්‍යාණි ගාව වටවෙලා වතුර පොවන්නයි, පවන් ගහන්නයි හදද්දි එපා කියල අතින් සන් කළ කල්‍යාණි ඔළුව උස්සල ඉකිගගහ කිව්වෙ, “1,350ට තියෙනවා කියල සතියක් විතර හිතට දුන්නු ෆන් එක උදුරගත්තු පාලන අධිකාරිය සිමෙන්ති ගාන 1,850 කරලා.” කියලයි.
මූණට මූණ බලාගත්තු බවලතියො සෙට් එක මුණු මුණු ගෑවෙ “ගෙවල් හැදිල්ල කෙසේ වෙතත්, තව ටික දවසක් යනකොට මේ ඇත්තිව පිස්සන්කොටු යවන්න වෙනවා.” කියලයි.
පහුවෙනිදා උදේ කට්ටිය නැවත සෙට් වුණේ අසෝකමාලගෙ තාත්තගෙ මළගෙදරට. පිටරට ගිහින් හිටි අසෝකමාලා තකහනියෙ ඇවිත් තියුණෙ තාත්තගෙ මළගමට. ශෝකාකූල මූණු දාගනිපු සෙට් එක බොහොම සීරුවට අසෝකමාලා ළඟට සීරුවෙන් ගියෙ ශෝකය පළ කරන්න. පුදුම උපදනසුලු මූණක් දාගත්තු අසෝකමාලා ඇහුවෙ “මොකද්ද අනේ මේ දූවට වෙලා තියෙන්නෙ?” කියලයි.
දවස ගාණෙ පටි තද වෙන බව දැනුණත්, ඒ තරමට මවිත වෙන්න තරං වෙච්චි දේ මොකද්ද කියල හිතාගන්න බැරි වුණු සීතා කිව්වෙ “රෑට නිඳාගෙන උදේ නැගිටිනකොට හරි හරි දේවල් වෙලා තියෙනවා තමා. හැමදාම වෙන හන්දා පුදුම වෙන්නෙ මොකට ද කියල හිතාගන්න අමාරුයි.” කියලයි.
“සාලිය කෝ?” කියලා ඇහුවෙ රාමා.
“ගෑස් පෝලිමේ.” අසෝකමාලා කියද්දී අසෝකමාලගෙ තුන්අවුරුදු දෝණියැන්දැ කිව්වෙ “මාමා පෙට්‍රල් පෝලිමෙ.” කියලයි.
“කාලෙකට පස්සෙ නිදහසේ මුණගැහුණු බවලතියො සෙට් එක කතා වෙවී හිටියෙ ශරීරෙ බර අඩු කරගෙන කෙට්ටු වෙන විදිය ගැන. “මං නං මාසෙක දී කිලෝ හයක් බර අඩු කරගත්තා වන්නකු මෙතඩ් එකෙන්. බඩගින්නෙ ඉන්න ඕනෙ නෑ චිකන් වුණත් කන්න පුළුවන්. පාන්, බත් තමා කන්න හොඳ නැත්තෙ.” කියපු සුජාතා නොකා ඉන්න ඕන පැය ගාණත් කිව්වා.
“ඒ මෙතඩ් ඕන නෑ. කොහොමත් දැන්නං ගේ පැත්තට පාන් ගේන්නෙ නෑ. දැන් නං වැඩිය උයන්නෙත් නෑ. මාසෙට කිලෝ දහයක් විතර අඩු කරගන්න පුළුවන් මෙතඩ් එකක් මං අනුගමනය කරන්නෙ” කියලා කිව්වෙ ප්‍රමිලා. සියලු බවලතියන්ගෙ ඇස් ප්‍රමිලා දිහාට එල්ල වෙද්දි ප්‍රමිල එක සැරේට ම කිව්වෙ “චෝරනාග මෙතඩ්” කියලයි.
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.