ආයිබොවන්ඩ සජී..,

 
වැඩකාරයන්ගෙ බොරුයි- බොරුකාරයන්ගෙ වැඩයි වං ෂොට්වලින්ම පෙන්නල දුන්නට ටැන්කියු හොඳේ.. ඒ විතරක්යැ, කොළොම්පුරේ වටලන්ඩ ආපු වීදි හටන්කාරයන්ගෙ සීන්ස් ටිකත් මාරයි ඈ.. වෙන්ඩ ප්‍රොසිඩොන්ගෙ කෙළි මෙහෙමනං පොට්ට චෑන්ස්සෙකකින් හරි වුණොත් ප්‍රොසිඩොන් කොහොමට හිටියිද බොසා.? වළං කඩේට පැන්න ගොන් නාම්බට දෙවෙනි වෙන එකක් නැතිවෙයි කියලයි අපේ කිරි අත්තනං දෙඩුවෙ. ගෙවල්වලටම කොටුවෙල ඉන්න අපේ පොඩි එවුන්ටත් බොස්ගෙ නාගසලං බෑන්ඩ්කාරයො දීපු ආතල් එකත් පට්ටම පට්ටයි හරියෙ. හිනාකාලම පොඩි උන්ගෙ බඩකටවල් මොනතරන් ඉස්මුරුත්තෙට ගියාද කිව්වොත් උන් එදා රාත්තිරියට කෑම කෑවෙත් නැහැ. කතිරයක් ගහන්ඩ ඇහැක් තරමට උන් ලොකු මහත් වෙච්ච දවසක සජියට දොඹෙන්ම දෙන එකනං ෂුවර් ඇන් ෂොට්.
කන්ඩ දියව් බොන්ඩ දියව් කියල කෑමොර දීපු හටන්කාරයන්ට අරක්කු-සූස්ති ප්‍රොතිකර්මෙ දීපු ගමන් බඩගින්නයි-සාපිපාසෙයි දූරින්බූත වෙලා ගිය හැටිත් නියමයි. ගිනිකෙළි සංදර්සන පටන් ගත්තහම තමයි ආයිබොවන්ඩ අපිටත් පට්ටම ආෂික් එකක් දැනුණෙ. ඔහෙලගෙ ආදුර්සෙම අරගෙන අග්නි දෙයියන්ට පූජා පවත්තන්ඩය කියල ගෑස් කඩ-පැට්රෝල් ෂෙඩ්වල පෝලින් ගැහිල හිටපු ජනතාවත් දැනුවත් කොරන්ඩ තිබුණනෙ අපූරුවට. සරවුන්ඩින් කළම්බෝ ෂෝ එක අස්සෙ රටම ඒකාලෝක කරන ජාතික ගිනි කෙළි සංදර්සනයක් දෙන්ඩ තරං මොළයක් ඔහේගෙ සුපිරි බුද්දි මංඩලේ එක පඬියෙකුටවත් තිබුණෙ නැති එක නොවැ අබිලික්කෙක.
අපේ සජිය ආවොත් එකෙන්ම දෙනවා කියලත් ප්‍රොම්ස් කරනවා ඇහුණා සාජ්ජෙ මැද්දෙන්. බොක්කටම වැදිල යන එන මං නැතුව ඉන්න හුදී ජනයාට වගේම හොඳටම කොරල පෙන්නපු අපෙ සෑර්ටත් තරු පෙනිල තියෙන මේ වෙලාවෙ එකෙන්ම දෙන කතාවනං නියමෙටම මාර්කට් කොරගන්න ඇහැකියි නොවැ. හැබැයි ලොක්කා ඔහේගෙ හටන් පෙරමුණේ ඉන්න හාදයන්ට වරද්දන්නෙ නැතුව මතක් කොරල දෙන්ඩ වටින තවත් මසුරං කියමනක් තියෙනව. මතකද යහපාලන සංදියෙ ඔහේ ඇමති පට්ටමක් දරනකොට ජොබ් දීපු ලස්සන. අන්න ඒ වෙලාවේ බාවිතා කොරපු උසනං සිකුරිටි-කොටනං කම්කරු ටෝක් එකත් ටොපටම නග්ගල ගන්ඩ ඇහැකි හටන් පාටයක් විත්තිය අමතක කොරන්ඩ එපා.
කොළොම් පුරේ මහරැජින රෝසි ඉන්දැද්දි මුන්නැහැගෙ කස්ටිය වර්චස් කොරපු පාරවල් සුද්ද කොරන කොන්තරාත්තුව අපේ ඔටුන්න හිමි කුමරාගේ නිල් බළකායට පංගනාත්තු කොරපු එකනං අන්තිම කැතයි සජී. නාමල් බේබි පුංචි එකා කාලෙ ඉඳලම සජී බබාගෙ දඟකාර කලාස්මේටෙක් විත්තිය අපි දන්නවා. ඒ කොහොම වුණත් උන්නැහැගෙ බාප්පොච්චි සිංහාසනෙන් තොලොංචි කොරන හටනට නාමල් බේබිව ගාව ගත්ත එක ගැන චම්පික ගොයියනං කරබාගෙන ඉන්න එකක් නැහැ.. මෑන්ස් දැනටමත් මහදැනමුත්තා වගෙ අර හතළිස් ගානක ගෝල රොත්තකුත් පිරිවරාගෙන ඉන්නෙ ඇට බෝල ගහන්ඩ නෙමේනෙ ආයිබොවන්ඩ.
ඒක නෙමේ බොස්, පාතාල ලෝකෙටම ඇහෙන්න එදා කොළොම්පුරේ ඉඳන් ඔහේ වන් මෑන් ෂෝ එකක් දුන්නෙ ගෝටගෙන් ගේම ඉල්ලනවට වඩා ඔහේගෙ ඇඟේම වහල ඉන්න මැක්කන්ට රෙඩ් ලයිට් පත්තු කොරන්ඩය කියන කතාවෙ ඇත්තක් තියේද?  පෙළපාළියෙ එද්දි වොයිස් කට් දීපු මැක්කොයි-කුක්කොයි තමුන්නැහැට වඩා පිම්බෙන්ඩ දඟලපු දැඟලිල්ලනන් අපිත් දැක්ක නොවැ. අපේ සෑර් විමලෙලාට දුන්න වගේ දොඹෙන්ම දීලා දාන්ඩ සජී.. ආයෙ ඉතිං නෝ කතා නෝ සිනා●
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.