රට ම පාරට !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගනු ලබන අත්තනෝමතික තීරණ හේතුවෙන් ජනතාව මුහුණ පාන බරපතළ ගැටළුවලට විරෝධය පළකරමින් ජනතාව විශාල වශයෙන් මගට බැසීමට පටන්ගෙන තිබේ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සංවිධානය කරන විරෝධතාවලට අමතරව, ජනතාව සාමූහිකව කොටස් වශයෙන් සංවිධානය වී මෙවැනි විරෝධතා පැවැත්වීම ද විශේෂත්වයකි. ඉන්ධනහල් අසල, ගෑස් වෙළෙඳසැල් අසල මෙවැනි විරෝධතා පැවැත්වීම ආරම්භ කෙරුණේ මීට සති කිහිපයකට පමණ පෙර සිට ය. එම විරෝධතා පවත්වන්නන්ට එරෙහිව අදහස් දැක්වීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් ආසන සංවිධායකවරුන් විසින් අදාළ ස්ථාන ඉලක්ක කොටගෙන විවිධ පිරිස් යෙදවුවද, එය අසාර්ථක වී තිබිණි. ඊට හේතු වී තිබුණේ ජනමාධ්‍ය ප්‍රචාර ඉලක්ක කරගෙන එවැනි සැලසුම් සකස් කළද, අදාළ සැලසුම් දවස පුරා ම ක්‍රියාත්මක කිරීමට සිදු වීම නිසා ය.
මෙසේ කුඩා කොටස් වශයෙන් පැවැත්වූ විරෝධතා, මේ වන විට නිවාස අසල, මංසන්ධි අසල වශයෙන් සංවිධානය වනු දැකිය හැකි අතර, විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවලට ද විශාල ජනතාවක් සහභාගි වනු දැකිය හැකිය. පසුගිය 15දා සමගි ජන බලවේගය මගින් කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ අතර, සිකුරාදා (18) සමාජවාදී තරුණ සංගමය විසින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.
මීට අමතරව ජාතික ජන බලවේගය මගින් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ජනතාව මුහුණ දෙනු ලබන ගැටළු සම්බන්ධයෙන් විරෝධය පළකරමින් දැවැන්ත විරෝධතා රැසක් පවත්වනු ලබයි. එසේම ලංකා ගුරු සේවා සංගමය මගින් දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන රැස්වීම් සඳහා ද විශාල පිරිසක් සහභාගි වනු දැකිය හැකිය.
එසේම බිබිල ප්‍රදේශයේ අක්කර 62,500ක් සිංගප්පූරු සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමට විරෝධය පළකරමින් පසුගිය 12දා දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණු අතර, ඊට දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගි වූහ. මේ අතර ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ අත්තනෝමතික තීරණවලට විරෝධය පළකිරීමේ විරෝධතා රැසක් ද පසුගිය සතියේ පැවැත්වුණු අතර, ඉදිරියේදී ද එවැනි විරෝධතා රැසක් පැවැත්වීමට නියමිත ය.
බඩු මිල සීග්‍රයෙන් ඉහළ යෑම, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සහ ඒවායේ මිල අත්තනෝමතික ලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් පිළිගත හැකි කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතර, විවිධ හේතු දක්වමින් ඇඟ බේරාගැනීමේ ක්‍රමවේදයක් පමණක් ආණ්ඩුව අනුගමනය කරමින් සිටී. මේ අතර ආණ්ඩුව නියෝජනය කරන ආසන සංවිධායකවරුන්, ශාඛා සමිති ප්‍රධානීන් ඇතුළු පිරිස් ද ජනතාව සමග එක්ව විරෝධතාවලට සම්බන්ධ වනු දැකිය හැකිය. ඔවුන් පවසන්නේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ට ලබාදීමට පිළිතුරු නැති බවත්, ඇමැතිවරුන් මෙන් කොළඹට වී සිටීමට තමන්ට හැකියාවක් නැති බවත් ය.

කොළඹ

බිබිල- වෙල්ලස්ස

Leave a Reply

Your email address will not be published.