ආනන්ද හිමියන්ගේ අනතුරු ඇඟවීම සෞභාග්‍යයේ දැක්මට ද?

ආනන්ද හිමියන්ගේ අනතුරු ඇඟවීම සෞභාග්‍යයේ දැක්මට ද?

වර්තමාන ආණ්ඩුවේ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් ලබන 03 වැනිදා නිකුත් කිරීමට නියමිත ය. එසේ තිබිය දී, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මීට සති දෙකකට පෙර ප්‍රකාශ කර තිබුණේ, රට බරපතළ ආර්ථික අර්බුදයක පවතින බවයි. මෙම ආණ්ඩුව බලයට පත් කිරීමට කොටන් අදින ලද ප්‍රමුඛයකු වන ඒ හිමියන් මෙම ප්‍රකාශය කරන ලද්දේ නිකම් ම නොවන බව පැහැදිලි ය.

මේ නිසා රට පවතින ආර්ථික අර්බුදයේ තරම පියවරෙන් පියවර ඔඩුදුවන ලද ආකාරය තේරුම්ගෙන සිටීම වැදගත් ය. ඒ සඳහා රටේ ණය බර වැඩි වූ අන්දම කදිම ප්‍රවේශයක් සපයයි. 1950දී අපේ රටේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් ය. මේ අනුව ඒ වන විට රජය ලබාගෙන තිබූ මුළු ණය ප්‍රමාණය විශාල අර්බුදකාරි තත්ත්වයක නොතිබූ බව පැහැදිලි ය. එය වඩාත් හොඳින් තහවුරු වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16.9කට සමාන වීම තුළිනි.

ඉන් දශකයකට පසු 1960 අවසන් වන විට මුළු ණය බර රුපියල් මිලියන 2,282ක් දක්වා වැඩි වී තිබිණි. එනම්, වසර දහය තුළ වැඩි වූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,628කි. එම වසර තුළ එක් දිනකට ලබාගෙන තිබෙන සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් ලක්‍ෂ හතරහමාරකි. (රුපියල් 4,46,027.00ක්) 1970 වසර අවසන් වන විට මේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 8,689ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එම දසවසරට අදාළව ලබාගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් මිලියන 6,407කි. ඊට අදාළව එක් දිනක් තුළ ලබා ගත් සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් ලක්‍ෂ දහහතහමාර (රුපියල් 17,55,342.00)කි.

එසේ ම 1980 වසර අවසන් වන විට රජයේ මුළු ණය බර රුපියල් මිලියන 51,346ක් දක්වා ඉහළ නැඟ තිබිණි. එම දස වසර තුළ ලබාගෙන තිබූ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 42,657ක් ය. එම දශකයේ දිනක සාමාන්‍ය ණය ගැනීම රුපියල් එක්කෝටි දහහත් ලක්‍ෂය (රු. 1,16,86,849.00)කි. වසර 1990 අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 3,10,779ක් දක්වා ඉහළ ගොස් තිබිණි. දශකය තුළ දී රුපියල් මිලියන 2,68,122කින් ඉහළ යාමක් ය. එම දශකයේ එක් දිනකට ලබා ගත් සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි හතහමාර (රු. 7,34,58,082.00)කි.

අප රට නිදහස ලබා අඩ සියවසක් සම්පූර්ණ වූයේ 1998දී ය. ඊට ආසන්න දශකය වූ 2000 වසර අවසන් වන විට රටේ මුළු ණය බර රුපියල් මිලියන 12,18,700ක් දක්වා වැඩි වී තිබිණ. දශකය තුළ වැඩි වූ ප්‍රමාණය රුපියල් මිලියන 9,07,921කි. එම දශකයේ දිනකට ලබාගෙන තිබූ සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි විසිපහ (රු. 24,87,45,479.00)ක් විය. වසර 2010 අවසන් වන විට මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 45,90,245කි. දශකය තුළ ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් මිලියන 33,71,545ක් වී තිබිණි. එම දශකයේ දිනකට රුපියල් කෝටි අනූදෙක (රු. 92,37,10,959.00)ක් බැගින් ලබාගෙන තිබිණි. අවසන් වරට ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව එළිදැක්වූයේ 2018දී ය. ඒ පසුගිය වසර වෙනුවෙන් ය. ඒ අනුව 2018 අවසන් වන විට රජයේ මුළු ණය බර රුපියල් මිලියන 1,19,77,539ක් වී තිබිණි. එම වසර අට තුළ ලබාගෙන තිබූ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 73,87,294ක් විය. එම වසර අට තුළ එක් දිනක දී ලබා ගත් සාමාන්‍ය ණය මුදල රුපියල් කෝටි දෙසියපනස්තුන (රු. 252,98,95,205.00)ක් වී තිබිණි.

සංඛ්‍යා කියැවීම වෙහෙසකර කටයුත්තක් වුව ද, එදා 1950 දශකය තුළ එක් දිනකට ලබාගෙන තිබුණු ණය ප්‍රමාණය රුපියල් ලක්‍ෂ හතරහමාරේ සිට 2018 වසර අවසන් වන විට එක් දිනක් තුළ දී සාමාන්‍ය රුපියල් කෝටි 253ක් ලබා ගැනීම දක්වා බරපතළ තත්ත්වයකට රට පත් වී ඇති බව පැහැදිලි වේ. මෙම සංඛ්‍යා කියවන විට ඔබට දැනෙන හැඟීම කුමක් දැයි කිව නොහැකි ය. ඇතැම් විට හීන්දහදිය දමන තත්ත්වයක් විය හැකි ය. තම දරුවන්ගේ හෙට දවස ගැන අතිශය බියකරු චිත්‍රයක් ඇඳෙනු විය හැකි ය. මෙහෙ ම ගියොත් කොහෙන් කෙළවර වේ දැයි අප කාටවත් සිතා ගත නොහැකි ය.

වර්ෂ 1948 නිදහස ලබා ගත්තා යැයි කියන තැන් සිට මේ දක්වා ගෙවී ගිය වසර 72ක කාලය තුළ බලයට පත් ආණ්ඩු 15ක් විසින් දුන් පොරොන්දු අතර මූලික හරය වූයේ කුමක් ද? රට සංවර්ධනය කරන බව නොවේ ද? එසේ නම්, දැන් සංවර්ධනය වී ඇත්තේ කුමක් ද? බොහෝ දෙනෙක් නිතර කියවන පරිදි 1950දී ආසියානු කලාපයේ අංක එකේ ආර්ථිකය ජපානය වන විට ඒ ආසන්නයේ ම සිට ශ්‍රී ලංකාව දෙවැනි වී තිබිණි. අතීතකාමී මනෝභාවයකින් මේ බව උත්කර්ෂයට නැඟුව ද, අද ජපානය සහ ලංකාව අහසට පොළොව මෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

රටක මුදල් ගැවසෙන්නේ ප්‍රධාන කරුණු දෙකක් පාදක කරගෙන ය. එකක් නම්, නිෂ්පාදන ආර්ථිකයක් පවත්වාගෙන යාමයි. අපේ රටේ ග්‍රාමීය මට්ටම දක්වා විහිදී ගිය ගෘහ කර්මාන්ත පද්ධතියක් හෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියක් දකින්නට නැත. 1978ට පෙර ග්‍රාමීය වශයෙන් පැවැති යම් පමණක ගෘහ කර්මාන්ත ද, සුළු පරිමාණ කර්මාන්ත ද බිඳවැටී ගිය බව වැඩිහිටි පරපුරට මතක ය. මේ නිසා අද නිෂ්පාදන ආර්ථිකය මහා පරිමාණ කර්මාන්ත කීපයකට සීමා වී ඇත. ඊට අමතරව යමක් ඇත් නම්, ඒ ඇඟලුම් කර්මාන්තය පමණි. රටක සංවර්ධනයට නිෂ්පාදන කර්මාන්ත ඉවහල් වන්නේ රැකී රක්‍ෂා ලැබීම් සහ වෙනත් යටිතල පහසුකම් සැපයීම ඔස්සේ ආදායම් උත්පාදනය වෙමින් ආදායම් ගලා යාමක් සිදු වන නිසා ය. එහෙත්, දැන් එවැන්නක් සිදු නොවේ.

එසේ නම්, පෙර කී ලෙස රටේ සල්ලි ගැවසෙන්නේ කොහොම ද? ඒ දෙවැනි සාධකය ණය ගැනීම ය. ණය ලබාගෙන රට හිර වෙමින් යන්නේ කවර ආකාරයකට ද යන්න වගුව පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වෙයි. මේ ණය ප්‍රමාණය දක්වා තිබෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් ඉලක්කම්වලින් ය. එහෙත්, මෙම ගිණුම්වලට ඇතුළත් නොකර තිබි සහ තවත් විටෙක සඟවා තිබූ ණය කන්දක් ඇති බව විගණකාධිපතිවරයා සොයාගෙන තිබේ. ඒ අනුව රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 13,50,000ක් පමණ වේ. ලබා ගත් එම ණය රටේ සංවර්ධනයට යෙදැවූයේ නම්, ඒ හා සමාන වත්කම් ප්‍රමාණයක් රට තුළ නිර්මාණය වී තිබිය යුතු ය. එහෙත්, විගණකාධිපතිවරයාගේ වාර්තාවලින් හෙළි වන්නේ වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 1,80,000ක් බව ය.

මේ අනුව රටේ ඵලදායී සංවර්ධනයට යොදා නොගත් මුදල් රුපියල් කෝටි 11,00,000කටත් වඩා ඇති බව පැහැදිලි වේ. මූල්‍ය අපරාධකාරයන් ඉන් කොටසක් ස්විස් ගිණුම්වල හෝ වෙනත් රහසිගත විදේශ ගිණුම්වල තැන්පත් කර ඇති බව නො අනුමාන ය. ඊට අමතරව යම් ප්‍රමාණයක් රට තුළ ද සංසරණය වේ. දවස ගාණේ පාරට අලුතින් වාහන එක්වන්නේත්, මහා මන්දිර ඉදි වන්නේත් බොහෝ විට මේ සල්ලි ගලා යාම නිසයි. රටේ පාලකයන් විදේශවලින් ණය ගෙන කොල්ලකෑමෙන් හෝ එසේත් නැති නම්, දාහ සියයට වියදම් කිරීමෙන් සමහන් කළ නොහැකි මූල්‍ය අපරාධ සිදු කර තිබේ.

ඒ සඳහා ඇත්තේ, රටේ සම්පත් සහ භූමිය විකිණීම ය. විශේෂයෙන් ම භූමිය විකිණීමට මුලපිරූයේ, ගෝඨාභය – මහින්ද ප්‍රමුඛ පැරැණි රාජපක්‍ෂ පාලනයේ දී ය. ගාලුමුවදොර පිහිටා තිබූ යුද හමුදා මූලස්ථානය ඉවත් කර ‘ෂැන්ග්‍රිලායි’ බහුජාතික හෝටල් සමාගමට එම භූමිය විකිණීමෙන් එයට මුලපිරී ය. හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත ඉඩම් අක්කර 15,000ක් පසුගිය හවුල් ආණ්ඩුවෙන් විකුණා දමන විට වර්තමාන පාලකයන් කීවේ, නැවත එම ඉඩම් අත්පත් කර ගන්නා බව ය. නමුත්, දැන් කියන්නේ, එම ගිවිසුම සංශෝධනය කිරීමට හෝ කිසි ම අදහසක් නැති බව ය. ඊට අමතරව ඇමෙරිකානු ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අත්සන් කර ඩොලර් මිලියන 480ක් ලබා ගැනීමට ද සූදානම් ය.

රටේ ආර්ථිකය අවදානම්කාරී තත්ත්වයක පවතින අතර, සෘජුව ම ජනතාවගේ ආර්ථිකය තිබෙන්නේ ද ඊට නොදෙවැනි අනතුරක ය. ජනතාවට කෙළින් ම ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග දෙකක් කරගෙන තිබුණේ, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තය බව කීවොත්, නිවැරැදි ය. රාජපක්‍ෂ වර්තමාන ආණ්ඩුව විදේශ සංචාරකයන් ලක්‍ෂ 70ක් වසරකට ගෙන්වා ගැනීමේ සැලැසුමක සිටී. ස්වදේශිකයන් තිදෙනකුට එක් විදේශිකයකු බවට ඒ අනුව අනුපාතයක් සකස් වේ. කෙසේ හෝ වේවා, සංචාරක කර්මාන්තය යනු දිරා ගිය ලණු පොටක එල්ලී සිටින්නාක් වැනි දෙයකි. ලණු පොට කැඩී ගියහොත්, ඇදගෙන වැටී මිය යාම දක්වා බිහිසුණු අනතුරක් පවතී.

විදේශ රැකියාවල තත්ත්වය ද මේ හා සමාන ම තත්ත්වයකට ගමන් කර අවසන් ය. එම රැකියා කරන්නන් මෙරටට එවන සල්ලි ප්‍රමාණය දිගින්දිගට ම පහත වැටෙමින් පවතී. පසුගිය සතියේ ‘ලංකා’ හෙළි කළ ආකාරයට ගෙවී යන වසරේ මුල් මාස 10 තුළ මෙරටට එවන ලද විදේශ රැකියා මුදල් ප්‍රමාණය 2018 වසරේ මුල් මාස දහයේ දී එවන ලද ඩොලර් මිලියන 5,876ක සිට ඩොලර් මිලියන 5,537 දක්වා පහත වැටී ඇත. මෙය සෘජුව ම ජනතාවගේ ආර්ථිකයට කණකොකා හැඬීමක් ය. ඒ මඳිවාට විදේශ ආයෝජන ද බිඳවැටී ඇත. ජනතාවගේ ආර්ථිකයත්, රටේ ආර්ථිකයත් දෙක ම එකවර කඩාවැටේ නම්, කෙළවර වන්නේ කොතැනින් ද යන්න ගැන ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ උත්තර නැත. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනතුරු ඇඟවීමට ඉක්මන් වූයේ මෙහි ඇති බිහිසුණු බව නිසා යැයි පැහැදිලි ය.

ඉන්ද්‍රසිරි ජයසුන්දර


Leave a Reply

Your email address will not be published.