මහජන මුදලින් හොරු රකින රට…

මහජන මුදලින් හොරු රකින රට…

සිංහල බෞද්ධ බලවේග මතින් බලයට පත් මේ ආණ්ඩුව චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේය. මුල් අවධියේ සිට ම බෞද්ධ හා සිංහල භූමිකාවන් පදනම් කරගෙන දේශපාලනය කරන චම්පික රණවකව ම මේ ආකාරයට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට මේ ආණ්ඩුව කටයුතු කළේ මන්ද?

පළමුවෙන්ම කිවයුතුව ඇත්තේ, රටක නීතිය නායකයන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට රාජපක්ෂලාගෙන් ඉගෙන ගන්නා ලෙසය; ඩීල් දේශපාලනයෙන් අත් වන ඉරණම වටහා ගන්නා ලෙසය. අද අධිකරණය හා රටේ නීතිය පසෙක තිබිය දී, චම්පික අත්අඩංගුවට ගත්තේ නීතිපතිගේ උපදෙස් මතය. මේ රටේ තිබූ පොලිසිය ම යොදවා තමන්ට අවශ්‍ය ආකාරයට දේශපාලන දඩයම් කරන හැටි ඉගෙන ගැනීමට එක්සත් ජාතික පෙරමුණට අද අවස්ථාව ලැබී තිබේ. නඩුවක් ඔප්පු කර ගැනීමට නොහැකි වූ ඒ නීතිපතිම අද මේ කටයුතු කරන හැටි මවිතයට හේතුවකි. එදා “යහපාලනය නීතිය නවනවා” යැයි කියූ අය අද නිහඬ ය. “යහපාලනය සියලු වැඩ නවතා රාජපක්ෂලාගෙන් පළි ගන්නවා යැ”යි කතා කියූ අය අද කියන්නේ මොනවා දැයි අපි නොදනිමු.

ඊ ළඟට නාමල් රාජපක්ෂ කියා ඇත්තේ, සජිත්ට චෝදනා ඇතත්, අත්අඩංගුවට නොගන්නා බවය. බැඳුම්කර චෝදනාවලට ගෑවී ඇතැයි කියන රවී කරුණානායකට, රනිල් වික්‍රමසිංහට විරුද්ධව කිසිවක් සිදු නොවන බව ද පැහැදිලිය. නාමල් රාජපක්ෂ මේ බව දන්නේ පවුලේ අයට ප්‍රශ්නයක් වූ මේ අය පිළිබඳව පවුල තුළ සාකච්ඡා වී ඇති නිසාය.

සරල ම කතාව ලෙස අපට පෙනෙන්නේ එදා 2015දී හා 2019දී රාජපක්ෂලාගේ අතීතය අදිමින් දේශපාලනයේ යෙදුණු චම්පික හා රාජිත දේශපාලන දඩයමට සුදුසුම නඩයේ ප්‍රධානීන් බව මේ ආණ්ඩුව තීන්දු කර ඇති බවය. අනෙක් අතට සිංහල බෞද්ධ බලවේගවල පසුබිම ඇති වෙනත් අය දේශපාලනයේ නොයෙදිය යුතු බවත්, ඒ භූමිකාවට හිමිකම ඇත්තේ, රාජපක්ෂලාට පමණක් බවත් ඔවුන් සිතනවා විය හැකිය. දැන් ‘ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි’ කීවා සේ මේ ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් ආරම්භ වී ඇති බව පෙනේ.

එදා ජේ. ආර්. දේශපාලන පළිගැනීම්

ආරම්භ කළේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙනි. නීතිය අතීතයට බලපාන අන්දමින් වෙනස් කළේ ද ජේ. ආර්. මය. ඒ ‘අලිතාලියා’ ගුවන් යානය පිළිබඳ සිද්ධියේ දී සේපාල ඒකනායකට දඬුවම් කරනු පිණිස ය. මේ ආණ්ඩුව ද ‘නීතිගරුක’ රටක් හදන්නට යන්නේ සිය විරුද්ධවාදීන්ගෙන්

දේශපාලන පළිගැනීම්

කර ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් වන බවට තොරතුරු ලැබෙමින් පවතී. ඒ සඳහා පසුගිය කාලයට බලපාන ලෙස නීතිය ක්‍රියාවට නැංවිය යුතුය. චම්පික අත්අඩංගුවට ගැනීමට පාදක වී ඇති සිද්ධිය සිදු වී ඇත්තේ, 2016 පෙබරවාරි මාසයේ දී ය. පොලිසිය පරීක්ෂණ පවත්වා අධිකරණ කටයුතු ද අවසන් වී තිබූ සිද්ධියක් යොදාගෙන මේ පළිගැනීම සිදු කරන්නට ඇත්තේ සැලසුම්සහගතවය.

ඩී. ඒ.කේ. 2011 නම් නීති විරෝධී එන්ජින් ධාරිතාව සහිත සී. සී. 1000 මෝටර් බයිසිකලය පසුපසින් ගොස් හැප්පීමෙන් යතුරුපැදිකරුට තුවාළ සිදු වී තිබේ. මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත් වූ පොලිසිය අධිකරණයේ නඩු පවරා ඇති අතර, යතුරුපැදිකරුට රුපියල් 3,500.00ක දඩයක් ද නියම කර නඩුකරය අවසන් කර තිබේ. දැන් වළෙන් ගොඩ ගෙන එම සිද්ධිය තම දඩයමට යොදාගෙන ඇත්තේ ද යුක්තිගරුක ජනතාව තිගැස්සීමට ලක් කරමිනි. මෙතෙක් කල් නීතිපතිගේ නියෝග ක්‍රියාත්මක නොකළ පොලිසිය හදිසියේම ගාල්ලේ ගොස් රියැදුරු වන දිලුම් තුසිත කුමාර වෙනුවට ඔහුගේ බිරිඳ, දරු පැටියා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන කොළඹ රැගෙන ගොස් ප්‍රකාශ ලබාගෙන විසි දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් යොදවා 18 වැනි දින මහ රෑ චම්පික රණවක අත්අඩංගුවට ගත්තේ ද පිළිගත් ක්‍රමවේදය මඟහරිමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමේ දී කතානායකවරයා දැනුවත් කරන නීතිය හා සම්ප්‍රදායය මෙහි දී අනුගමනය කර නැත. මේ තරම් කඩිනමින් පොලිසිය ක්‍රියාත්මක වූයේ ඇයි ? නියෝජ්‍ය කතානායකට අන්තිම මොහොතේ මේ ගැන දුරකථනයෙන් දැනුම් දී ඇතැයි කියැවේ. පසුගිය යුගවල පොලිසියේ අය හා හමුදාවේ අය ලවා නීති විරෝධී කටයුතු කරවාගෙන උසස් වීම් ලබා දුන් කතා අපි අසා ඇත්තෙමු. මේ පොලිස් නිලධාරීන්ට ද එවැනි ‘තෑගි’ ලැබෙන්නට ඉඩ නැතුවා නොවේ. කෙසේ හෝ වේවා පොලිසිය සිය නීති විරෝධී බලය පාමින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ ආකාරයට ‘තෑගි’ ලබා ගත් පොලිස් නිලධාරීන් නීතිය ඉදිරියේ වරදකරුවන් වී හිරේ ලැගි අවස්ථා තිබේ. සමහරු පලා ගොස් සිටිති. මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට නම්, නීතිගරුක රටක් හදන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.

අද යහපාලනයේ හිටපු මැති ඇමතීන්ට එල්ල වන්නේ හොර, දූෂණ, මිනීමැරුම් චෝදනා හෝ බලය අයුතු ලෙස යෙදවීම් පිළිබඳ චෝදනා හෝ නොවේ. එසේ මහා පරිමාණයේ නඩුවක්ව ඇති බැඳුම්කර නඩුවේ චූදිතයන්ට එරෙහිව මේ ආණ්ඩුව ක්‍රියාත්මක නොවන බව ද පැහැදිලිය. මේ ආණ්ඩුවේ සියයට 95ක මැති ඇමතිවරුන්ට, ප්‍රබල නිලධාරීන්ට ඇත්තේ, මහා පරිමාණ වංචා, දූෂණ, මිනීමැරුම් චෝදනා ය. බලය අයුතු ලෙස යෙදැවීමේ චෝදනාය. ඒ අයට නීතිය ක්‍රියාවට නැංවූයේ නැති වරදට යහපාලනයේ අයට දඬුවම් දිය යුතුමය.

මේ රටේ නීති පොත සහ අධිකරණය පුදුමාකාරය. මොන වරද කර හෝ රටේ ජනාධිපති වුවහොත්, සියලු ම චෝදනා ‘අහෝසිකම්ම’ වේ.  දැන් සිරිසේන ජනපති වී කළ සියලු වරදවල් සුළු සිද්ධීන් ද? ඔහු රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කළේය. අධිකරණයෙන් මරණ දඬුවම් ලැබූ තම ඥාති පුද්ගලයකු නිදහස් කළේය. නිවාස තුනක් එකට යා කර කෝටි 800ක පමණ දෑ යටිමඩි ගසාගෙන විශ්‍රාම ගියේ ය. තම සහෝදරයන් කෝටිපතියන් කළේය. දූෂිතයන් තනතුරුවලට පත් කළේය. එහෙත්, දැන් නඩු නැත. ඔහු සියලු වරදවලින් නිදහස්ය. මහින්ද රාජපක්ෂට කොතරම් චෝදනා තිබේ ද? ඒවා නීතිය ඉදිරියේ ප්‍රශ්න නොකෙරේ. ඒ මඳිවාට යාන වාහන, දීමනා, වැටුප් ලක්ෂ ගණන් දී, නිවාස හා ආරක්ෂාව ද, සේවක මණ්ඩල ද දී ආරක්ෂා කෙරේ; නඩත්තු කෙරේ. මහජන මුදලින් හොරු රකින, නඩත්තු කරන එකම රට මෙය විය යුතුය.

ආණ්ඩුවේ අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව රටේ අනෙකුත් සියලු පක්ෂ හා බලවේග එකමුතු විය යුතුව ඇත. ඒ යුගයේ අවශ්‍යතාවයි. තනතුරු නොසලකා ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් රැකදීමට සියලු දෙනාම එක් විය යුතුය.

දැන් පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිවිසුම දෙදරා අවසානය. මී ළඟ අදියර එළඹෙන්නේ තව මාස දෙක තුනකිනි. ඒ මහා මැතිවරණයට නාමයෝජනා දීමේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ ඒ පක්ෂය සමඟ ගිවිසුම්ගත කිසිදු පක්ෂයකට නොබැඳී, සෑම දිස්ත්‍රික්කයකටම දෙදෙනකු බැගින් අපේක්‍ෂකයන් දැමීමට ජනාධිපති ගෝඨාභයගේ ‘වියත් මඟ’ සංවිධානයේ පිරිසක් සූදානම්ව සිටිති. ජනාධිපතිවරයාට තමන්ගේම කියා මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ අවශ්‍යතාව ඇති බව පෙනේ. අගමැති මහින්ද රාජපක්ෂ නව පිරිසකගේ ආගමනයට කැමැති දැයි කිව නොහැක්කේ දැනට සිටින සියලු දෙනා ඔහුගේ අනුගාමිකයන් වන බැවිනි. කවුරු අකැමැති වුවත්, ජනාධිපතිවරයාගේ සෘජු තීරණය මත එළඹෙන මහා මැතිවරණයේ දී බොහෝ පිරිසක් කිසිම  පාක්ෂිකභාවයක් නොලබා තරග කරනු ඇත. ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ජනාධිපති ගෝඨාභය විශේෂ මෙහෙයුමක් ද දියත් කරනු ඇත. මේ ආකාරයට වැඩ සිදුවුවහොත්, පොහොට්ටුව වෙනුවෙන් දරදිය ඇද ඇති බොහෝ අයට සිදු වන්නේ ‘බකං නිලාගෙන’ සිටීමටය. දැනට බොහෝ දෑවල දී ද සිදුව ඇත්තේ, එයයි. දැනටමත් ‘පොහොට්ටුවේ’ නාමයෝජනා සඳහා සෑම දිස්ත්‍රික්කයක ම ඇති බල අරගලය දුටු විට මේ අවසානයේ දී විශාල පිරිසක් අමනාප වී අවසානය ළඟා වනු ඇත.

නව ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා සහල්, එළවළු සහ අනෙකුත් සියලු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ආරම්භ වී ඇත. හිතුමතේ ප්‍රදර්ශනාත්මක ලෙස බදු ප්‍රතිශතය අඩු කළ ද, මේ පිරිස බලාපොරොත්තු වූ අයුරු කිසිදු භාණ්ඩයක හෝ සේවාවක මිල අඩු නොවිණි. සහල් මිල පාලනය කර තිබූ අතර, මේ ආණ්ඩුව කළේ කැබිනට් මණ්ඩල තීරණයකින් තිබූ මිලට වඩා වැඩි මිලක් නියම කිරීම ය. දැන් මේ මිල දෙකටම සහල් නැත. වැඩි මිලට සහල් විකිණේ. ජනපති මේ විමසා බැලීමට කඩවල් ගාණේ ගිය ද, මිල අඩු වීමක් නම් සිදු වූයේ නැත. සහල් ඒකාධිකාරයක් මේ රටේ ඇති වූයේ අද ඊයේ නොවේ. පසුගිය රජයට ද එය විසඳා ගැනීමට නොහැකි වූයේ මේ සහල් මාෆියාවේ යෙදී සිටින අය සිරිසේනගේ අය වීමය. දැනට ලංකාවේ ප්‍රධානම සහල් මාෆියාකරුවා ඩඞ්ලි සිරිසේනය. පොළොන්නරුව හා තවත් දිස්ත්‍රික්ක ගණනාවක ඔහුගේ ආයතනයේ මිලට වඩා වී මිලට ගැනීම සිදු නොවේ. ඒ බව මේ රටේ ගොවි ජනතාව දනිති. සිරිපාල ගම්ලත් ද මේ මාෆියාවේ අයෙකි. තවත් කීප දෙනකු ම එකතු වී විශාල ලෙස වී ගබඩා කර ටිකෙන් ටික වෙළඳපොළට දමා මිල ඉහළ යාම දිගටම තබා ගනිති. ඒ අතර විදේශවලින් ගෙන්වන විශාල සහල් ප්‍රමාණ ද මෙහි දී කලවම් කර සකස් කර වෙළඳපොළට එවනු ලැබේ. ඩඞ්ලි සිරිසේන ගෝඨාභය රාජපක්ෂගේ ආගමනයට විශාල ලෙස දායක වූ හෙයින්, මේ මාෆියාව නැති කිරීමට මේ ආණ්ඩුව ද කටයුතු කරන්නේ නැති බව ද පැහැදිලිය.

අද එළවළු මිල ඉතා අධිකය. මෙතරම් ඉහළ මිලක් අප දන්නා කාලයේ වාර්තා වී නැත. වෙළඳපොළට පැමිණෙන එළවළු තොග අඩු බව ද සැබෑවකි. ඊටත් වඩා අතරමැදි වෙළෙඳුන් මිල වැඩි කිරීම මේ මිල ඉහළ යාමට බලපා තිබේ. මේ සඳහා ක්‍රමවේදයක් යොදනු වෙනුවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන්නේ, එළවළු නොකා ඉන්නා ලෙසය. මේ මැති ඇමතිවරුන් කීප දෙනෙක්ම පසුගිය යුගයේ රුපියල් 2,500.00කින් පවුලකට ජීවත් විය හැකි බව කීවෝ ය. හෙට අනිද්දා තව තවත් ප්‍රශ්න මතු වන විට ප්‍රංශයේ මෙන් “පාන් නැත් නම්, කේක් කාපල්ලා” යැයි මේ පිරිස ජනතාවට කියනු ඇත.

ඩී.බී. ඇල්කඩුව


Leave a Reply

Your email address will not be published.