දෙක පහට විකිණෙන සැන්ටලා

රූපවාහිනියෙන් අප හමුවට ආ ජනප්‍රිය කාටුන් චරිත, ඉන් කලකට පසුව මගතොටේදී අපට හමුවන්නේ විවිධ වෙළඳ ව්‍යාපාරවල ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදීය. මීට දශක දෙකක පමණ කාලයක සිට ජනප්‍රිය වන්නට පටන් ගත් මේ සජීවී චරිත කාගේත් ආකර්ෂණය දිනා ගන්නට සමත් වූ අතර මිකී මවුස්ගේ සිට සූරපප්පා දක්වා පමණක් නොව අභිරූපන විකටයන්ගේ සිට නත්තල් සීයා, ආරච්චිල දක්වා විවිධ වූ චරිත මේ අයුරින් අපට නිරන්තරයෙන් හමු වේ.

බැලූ බැල්මට අතිශය සරල, චරිතයට අදාළ වූ ඇඳුම් ඇඟ ලා ගත් පුද්ගලයෙකු පමණක් මෙහි සිටිනේ යයි සිතුවද ඒ චරිතවලට එබී බැලූ විට ඔවුන් පසුපස විශාල කතාන්දරයක් තිබෙන බව මෙවැනි චරිත ගණනාවකට පණ දෙන, ප්‍රචාරක කටයුතු සඳහා එවැනි ශිල්පීන් ලබා දෙන නේරංජන් චන්ද්‍රාදිත්‍ය අප සමග පැවසූයේ අප නොදත් බොහෝ කරුණු ද අනාවරණය කරමිනි.

“ඇත්තටම මේ චරිතවල මූලාරම්භය තමයි වීදි නාට්‍ය කලාව. මුල් කාලයේ වීදි නාට්‍යවල තේමාවන්ට පදනම වුණේ විරෝධාකල්ප, සමාජ සාධාරණත්වය පදනම් වුණු සංකල්ප. විශේෂයෙන් ගාමිණී හත්තොට්ටුවේගම මහත්මයා මූලික වෙමින් වීදි නාට්‍ය කලාව සමාජගත කළා…” නේරංජන් සිය කතාවට මුල පිරීය.

ඒ විදිහට සමාජගත වුණු වීදි නාට්‍ය, ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම ආරම්භ වන්නේ අනූව දශකයේ මැද භාගයේදී පමණය. විවිධ නිෂ්පාදන හෝ වෙළඳ භාණ්ඩ ජනතාව අතරට රැගෙන යාම සඳහා වීදි නාට්‍යවල ආභාෂය ලැබූ විවිධ නාට්‍යමය ජවනිකා ජනතාව ගැවසෙන තැන් වල ප්‍රදර්ශනය කිරීම එහිදී සිදු විය.

“මේ විදිහට විරෝධාකල්පය සමාජගතවීම වෙනුවෙන් නිර්මාණය වුණු වීදිනාට්‍ය එතැනින් අලෙවි ප්‍රචාරක කටයුතු වලට භාවිතා වෙන්න පටන් ගත්ත විතරක් නෙමෙයි, ඊටත් එහාට ගිහින් පවතින ක්‍රමය ආරක්ෂා කරන මාධ්‍යයක් බවටත් ඊට පස්සෙ පත් වුණා. විශේෂයෙන් දෙදහසෙන් පස්සෙ මුල් කාලයේ මැතිවරණය කටයුතු සහ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ප්‍රචාරය කරන වෙමලමක් බවට වීදි නාට්‍ය පත් වුණු අවස්ථා ඕනෙ තරම් දකින්න පුළුවන්. තරුණ සේවා සභාව වගේ තැන් ඒ වෙනුවෙන්ම නාට්‍ය කණ්ඩායම් හදපු අවස්ථාත් තිබුණා..” ඔහු තවත් අතුරු කතාවක් ද පවසයි.

“මේ විදිහට වීදි නාට්‍ය කොටස් ප්‍රචාරක කටයුතුවලට භාවිතා වෙන අතර තමයි, අපිට දැන් හමු වෙන ජනප්‍රිය කාටූන් චරිත, ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුණු ආරච්චිල වගේ පැරණ චරිත ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාවිතා වෙන්න පටන් ගන්නෙ. ඒ චරිත අතුරින් මුලින්ම ආපු චරිතය තමයි අපි කවුරුත් දන්න ‘ජෝකර්’ ගේ චරිතය. ඒත් ලංකාවෙදි වැඩියම ජනප්‍රිය වුණේ සූරපප්පා සහ ජිම් පප්පා කියන චරිත දෙක..”

මුල් කාලයේ මෙම චරිත යොදා ගැනීමේ මූලික අරමුණ වූයේ වෙළඳ භාණ්ඩ ප්‍රචාරය කිරීමට වඩා තමන් වෙත එන පාරිභෝගිකයා පිනවීමයි. ඒ නිසා මෙවැනි චරිත නිරූපණයට ද යම් ශිල්පීය හැකියාවක් අවශ්‍ය වූ අතර සබකෝලයෙන් තොර වීම, ජනතා ආකර්ෂණය සහ අවධානය ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතු වීම වැනි කරුණු නිසා මෙම චරිතවලට පණ දීම සිදු වූයේ ද වීදි නාට්‍ය හෝ වෙනත් රංගන කටයුතුවලට සම්බන්ධ වූ ශිල්පීන් විසිනි.

මේ නිසාම මෙය යම් වෘත්තීමය ස්වභාවයක් ගනු ලැබූ අතර ශිල්පීන් කිහිප දෙනෙකු වටා පමණක් ආරම්භයේදී මෙය කේන්ද්‍රගත වී තිබුණි.

“මේක අපි නිකම්ම නිකම් වෙළඳ ප්‍රචාරක වැඩක් විදිහට නෙමෙයි හිතන්නෙ. ඒ නිසාම අපි මේකට අදාළ ගුණාත්මකභාවය වගේම වෘත්තීයභාවයත් ආරක්ෂා කරන්න හැම වෙලාවෙම කටයුතු කරනවා. චරිතයට යොදා ගන්න ඇඳුම් ඒ වෙනුවෙන්ම නිර්මාණය කරනවා. චරිතය හොඳින් අධ්‍යයනය කරනවා. ඇඳුමක් ඇඳගෙන කරන පෙනීසිටීමකට එහා ගිය තාත්වික චරිතයක් ජනතාව ඉදිරියට ගෙනියන්න තමයි අපිට ඕනෙ කරන්නෙ.” මෙය වෘත්තීය ක්ෂේත්‍රයක් වශයෙන් තමන් සලකන බව නේරංජන් පැහැදිලි කරන්නේ ඒ අයුරිනි.

එහෙත් අද වන විට ක්ෂේත්‍රය ක්‍රමයෙන් කඩා වැටෙමින්, එහි ගුණාත්මකභාවය බිඳවැටෙමින් තිබෙන බව නේරංජන්ගේ පමණක් නොව එහි වෘත්තීය භාවය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

“අපි කිහිප දෙනෙක් මේ ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරගෙන ගියත්, අපිත් එක්කම වැඩ කරපු සමහර පිරිස් අඩු මිලට ඒ කටයුතුම කරන්න යාම තමයි ඒකට මූලිකම හේතුව වුණේ. උදාහරණයක් විදිහට නත්තල් සීයා කියන චරිතය ගමුකො. අපි නත්තල් සීයගෙ ඇඳුම්, රැවුල් වගේ දේවල් විතරක් නෙමෙයි, ඉණට බඳින පටියට පවා යොදා ගන්නෙ ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ එකක්. ඒත් දැන් සමහර අය ඇඳගෙන ඉන්න ඇඳුමටම උඩින් නත්තල් සීයගෙ ඇඳුම ඇඳගෙන, තමන්ගෙ ඩෙනිමෙ පටියම ඉණට බැඳගෙන නත්තල් සීයගෙ චරිතය කරනවා. කිසිම රංගන හැකියාවක් නැහැ. සරලවම කියනවනම් ඒ නත්තල් සීයා සජීවී නැහැ. ඒත් වෙළඳ පොළෙන් අඩු මිලට ගන්න ඇඳුමක් ඇඳගෙන, කිසිම පෙර සූදානමක් නැතිව ඒවා කරකොට අඩු මිලට කරන්න පුළුවන්. වෙළඳ ආයතනත් ගාන අඩු නිසා ඔවුන්ව ගන්න බලනවා. ඒකෙන් ක්ෂේත්‍රය කඩාගෙන වැටෙනවා…” ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය නේරංජන් වචන බවට පත් කළේ එලෙසිනි.

මීට වසර දහයකට පමණ පෙර එක් දිනක් සඳහා නිරූපණ ශිල්පියෙකුට ගෙවූ රුපියල් හත්දහසක පමණ මුදල මේ වන විට රුපියල් තුන්දහස් පන්සියයක් දක්වා පහත බැස තිබේ. ඒ නේරංජන්ලා කියන පරිදි ගුණාත්මක භාවය ගැන නොසලකමින් ඇතැම් පිරිස් ‘වැඩ’ භාර ගැනීම නිසාය. එහෙත් ඒ පසුපස තවත් නොපෙනෙන කතාවක් ද තිබේ.

මෙසේ අඩු මිලට මෙවැනි නිරූපණ සඳහා ඉදිරිපත් වන බොහෝ අය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ය. නැතහොත් නාට්‍ය කරන්නට ඈත ගම්වලින් කොළඹට පැමිණි පිරිස්ය. ඔවුන් එසේ කරන්නේ කීයක් හෝ සොයා ගන්නටය. අනෙක්පසින් නාට්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් වන නේරංජන්ලා වැනි අයට මෙවන් සුපර්මාකට්වල පැය දහය, දොළහ නිරූපණ කටයුතුවල යෙදෙන්නට සිදු වී ඇත්තේ ඇයිද යන්නද සිතා බැලිය යුතුය. නාට්‍ය හා රංග කලාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ද ලැබූ, මේ වන විට සම්මාන ලැබූ නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කළ නේරංජන් චන්ද්‍රාදිත්‍යත් වැන්නවුනුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට හෝ නාට්‍ය කරන්නට කොළඹට පැමිණියවුනුත් අතර තරගයක් නිර්මාණය වී ඇත්තේ එකම කාරණය මුදලයි. එක් පසෙකින් නාට්‍යකරුවන්ට තමන් විසින් කරන නාට්‍යය ප්‍රදර්ශනය කිරීම සඳහා හොඳ ප්‍රේක්ෂකාගාරයක් රට තුළ නිර්මාණය වී නොමැත. ප්‍රේක්ෂකයන් වෙත නාට්‍ය රැගෙන යන්නට ප්‍රමාණවත් ආදායමක් නාට්‍ය තුළින් ලැබෙන්නේ ද නැත. නාට්‍ය පෙන්වන්නට නාට්‍ය ශාලා ද රට තුළ නැත. ඒ නිසා ඔවුන්ට සිදු වී ඇත්තේ සිය හැකියාව අලෙවි ප්‍රචාරක කටයුතු සඳහා යොදවන්නටය. එමෙන්ම නාට්‍ය කලාව ඉගෙන ගන්නට සූදානම් වන නවකයන්ට ඒ සඳහා මුදල් සොයා ගැනීමට ද කරන්නට සිදු වී ඇත්තේ එවැනිම කටයුතුවල නිරත වීමටය. මේ දෙපාර්ශ්වයම මුහුණ දී සිටින්නේ එකම ඛේදවාචකයකටය.

අනෙක් පසින් වෙළඳ ප්‍රචාරණය ද එක්තරා කලාවකි. ඇති වෙමින් තිබෙන තත්ත්වය අවසානයේ එයද ගුණාත්මක බිඳ වැටෙමින් තිබෙන්නේ  ඛේදවාචකය තවත් දෙගුණ තෙගුණ කරමිනි. 

චතුර දිසානායක

සබැඳි

Leave a Reply

Your email address will not be published.