පාරමී රණසිංහ ජාතික රූපවාහිනියෙන් හේතු නොදන්වා ඉවත්කරයි

පාරමී රණසිංහ කියන්නේ මෑත පරම්පරාවේ ටෙලිවිෂන් පූරකයින් අතර සිටින ප්‍රභාමත් පූරකවරියක් බවට සහතිකයක් නිකුත් කළහැකි කෙනෙක්. ඒ නිගමනයට මා එන්නේ රහක් ඇතිව, වගකීමක් හා වගවීමක් ඇතිව, සූදානමක් ඇතිව, සිය වෘත්තියේ ඇය නියැලුන නිසා. පූරක වෘත්තීය යනු මෛක්‍රෆෝනයට හෝ ටෙලිවිෂන් කැමරාවට හුදු වචන දෙඩවීම නොවන බවත් එය වගකීම් සහගත කාර්යයක් බවත් ඇය දැන සිටියායැයි මම විශ්වාස කරනවා. ඒ නිසයි ඇය විශේෂ වන්නේ “රිවිදින අරුණැල්ල” බඳු වැඩසටහනක් අප වැනි පර්චස් 10 ක 12 ක භූමියක් හිමි අය පවා නරඹන්නට පෙළඹීමේ එක සාධකයක් වුණේ පාරමී.
අද සවස් භාගයේ රූපවාහිනියේ මිතුරෙකුගෙන් අසන්නට ලැබුණ කණගාටුදායක පුවත වූයේ පාරමී ජාතික රූපවාහිනියේ පූරක ගොණුවෙන් හේතුවක් නොදන්වා ඉවත්කර ඇතිබව. සොයාගත් තොරතුරු අනුව එයට හේතුව වී ඇත්තේ ඇගේ සමාජ ජාල පිටුවේ “ආණ්ඩු විරෝධී” තොරතුරු හුවමාරු කරගැනීම ලු. ඉහළ කළමනාකාරිත්වයෙන් විමසූ විට පවසා ඇත්තේ රටේ ඉහළම තැනක කාර්යාලයකින් ආ ඉල්ලීමක් මත එය සිදුකර ඇති බවයි.
එකෙනෙහිම මගේ මතකයට ආවේ 2003 වසරේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ සිටි සභාපතිවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා (වැඩසටහන්) එවකට රූපවාහිනී පූරකයෙකු වූ මා ඉවත් කිරීමට වැඩකළ ආකාරය. (මෙහි අමුණා ඇති එක ඡායාරූපයක ඇත්තේ ඒ සිදුවීම අළලා මා මගේ මීඩියා මතක කෘතියට ඇතුලත් කළ සටහන)
කෙසේ වෙතත් රාජ්‍ය මාධ්‍යයන් යනු අතිශය දේශපාලනීකරණය වූ ආයතන බව අමුතුවෙන් කිවයුතු නෑ. එසේ වී වුවද මේ පරම සත්‍ය අමතක කරමින් අලුත් ඇමතිවරයෙකු, අලුත් සභාපතිවරයකු, අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මේ ආයතනවල අසුන් ගන්නා විට එම ආයතනවල සේවක සහෝදර සහෝදරියන්, සමාජයේ සිවිල් පුරවැසියන් ඔවුන් ගැන පුරෝකථනය කරන ආකාරය හාස්‍යෝත්පාදකයි.
මිත්‍රෝරුනි අද පාරමී ඉවත්කරන අතම හෙට ඔබව ඉවත් කිරීමට කටයුතු කරනු ඇති. ඒ නිසා ෆැන්ටසියෙන් අවදි වී පුද්ගලාභිවන්දනයෙන් තොරව ක්‍රම වෙනසක් වෙනුවෙන් අරගල කරන්න.
යළි පාරමී ඉවත්කිරීම යන උක්ත කාරණයට ආ විට කියන්නට ඇත්තේ ඇය ඇගේ ඉදිරිපත් කිරීම් තුලින් රූපවාහිනියට දිනා දුන් දේ බොහෝ ඇති බවත් ඇය දැනුවත්ව මේ වෘත්තියේ නියැලුණු පූරකවරියක් බැවින් කර්මාන්තය තුල ඇයට තවම පැවැත්මක් ඇති බවත් ය. එසේම ඇය තමන්ට ස්වාධීන මතයක් දැරීමට අයිතිය ඇති ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව ද මතක් කළයුතුය
නමුත් කිසිවිටකත් ඇය වෙනුවෙන් ජනමාධ්‍ය ඇමතිතුමනි ඔබේ අවධානය පිණිස යැයි නොකියමි. මන්ද “ඌරු දළෙන් ගජමුතු නූපදිනා” බව මා ඉගෙන ගත්තේ බොහෝ කලකට පෙර බැවිනි.

– කපිල එම්. ගමගේ

පාරමී රණසිංහ තබන ලද facebook සටහන පහතින්
නැවතුමක් නොවේ හැරවුමක් පමණි
පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.
අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.
හංස වෙස් ගෙන පාත්තයින් රගන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය. මව් ගුණ හදුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි…
සදාකල් යෙහෙන් වැජඹේවා..
නැවතුමක් නොවේ හැරවුමක් පමණි…….

Leave a Reply

Your email address will not be published.