නඳුන්ගේ, කවි වලින් පේන්නෙ ජීවිතය ගැන බරපතල භාවනාවක යෙදුණ කෙනෙක් කියල

කවියෙක් මනුෂ්‍ය ජීවිතේ කවියෙන්ම විතරක් අල්ලන්න පුළුවන් තැනක් අල්ලනකොට එතනම තියෙනවා ලොකු කවිකමක්. එතන ඉඳල ශිල්පය, සංරචනය ආදී වෙන තාක්ෂණ වැඩ ටිකක් තියෙයි. ඒවත් ඕනෙ, කවියක් පරිසමාප්ත වෙන්න. ඔය තල දෙක අතර එකිනෙක ඌනපූරණය කරනසුලු සම්බන්ධයක් ගොඩ නගන්න පුළුවන් නම් පරිපූර්ණ කවි බිහි වෙනවා කියල මට හිතෙනවා.
මේ වැඩේ හොඳට කරන කවිකාරයො, කවිකාරියො දැන් ඉන්නවා. හොඳ කවියක් හොයන්න කවියො දෙතුන් දෙනෙක් දිහා විතරක් බලන්න ඕනෙ නෑ දැන්.
එහෙම නිතර පාහේ හොඳ කවි ලියන කෙනෙක් තමයි නඳුන් යසිත දසනායක. හැබැයි ඔහු ඒ පරම්පරාවෙ අනික් අයට ලැබුණ තරම් පිළිගැනීමක් නොලැබුණ කෙනෙක් වගෙත් පේනවා. ඒකට එක හේතුවක් තමයි ඔහු බෙහෙවින් ස්වාධීන කවියෙක් වීම. ඒ කියන්නෙ ඔහුගෙ කවියෙ ස්වරූපය අතින් ඔහු බෙහෙවින් ස්වාධීනයි. ඔහු ලියන්නෙ අනික් අය ලියනවට වඩා තරමක් වෙනස්ව. ඒ වෙනස සමහර විට සමහර අයට පෙනිලත් නෑ. හැබැයි ඔහුගෙ ඒ තියෙන වෙනසට ලොකු අර්ථයක් තියෙනවා.
ඒ වගේම ඔහුගෙ කවියෙ ඒ අර්ථවත් වෙනස කෙනෙකුට හසු නොවන්න එක හේතුවක් වෙන්න පුළුවන් ඔහුගේ කවියෙ තියෙන එක්තරා ඒකස්වරූපීය ලක්ෂණයක්. ඒක මෙහෙමයි: ඔහු කවිවලින් පුංචි කතාවක් කියනා. ඒවා ආඛ්‍යායිකා කාව්‍ය විශේෂයක්. යම් අතීත සිද්ධියක් ගැන කරන ගැඹුරු පුනරාවර්ජනයක් ඔහුගෙ කවියෙ තියෙනවා. ඒ කවිවල චරිත ඉන්නවා; සිද්ධි සිද්ධ වෙනවා; කවියා ඒ සිද්ධියක් හෝ සිද්ධි කීපයක් ගැන ආවර්ජනාත්මක භාවනාවක යෙදෙනවා.
දුරේක්ෂ මානන්නා හෙවත් තාරුකා පාරන්නා කියන අලුත් පොතේ දෙවෙනි කවිය පටන් ගන්නෙ මෙහෙම:

“මා අමතනා හඬක් ඇසෙයි ඒ අතීතෙන්
මට සිතෙයි ඒ මගේ ළමා කාලය ලෙසින්
ළමා කල නොදැනී ම ගෙවී වියපත් වුයෙන්
දිනෙක මා ළමා කල අමතතැයි
සිතා උන්නෙ ද මා ඉතින්?”

අතීතයේ සිට අමතන දෙවෙනි කටහඬක් ඔහුගෙ හැම කවියකම වගේ තියෙනවා. අභ්‍යන්තරයෙන්ම අප අමතන දෙවෙනි විඥානයක් සාහිත්‍යකාරයෙකුට ඕනෙ. කවියෙකුට ඕනෙ. ඒ නිසා දසනායකගෙ ඒ කවි ගුණයට මම කැමතියි. හැබැයි ඒ දෙවෙනි කටහඬ කවියට ගේන ස්වරූප විවිධ කරන්න පුළුවන්.
මෙසේ අතීතයකට සිට හෝ ස්මරණමය අඩවියක සිට හෝ තථ්‍ය ලෝකය ඉක්ම වූ වෙනත් ලෝකයක සිට හෝ කවියා අමතන කෙනෙක් ඔස්සේ දසනායක අප රැගෙන යන තැන් හරි ගැඹුරුයි. හැබැයි ඔහු ඒ ගැඹුර කරා අප අරන් යන්නේ ඉතා සරල දෛනික අවස්ථාවක සිට. සමහර රසිකයෙක් ඒ දෛනිකත්වයේ මතුපිට සිවිය ඉරාගෙන අර ගැඹුරු අඩවියට කවියා සමග යන්න අසමත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් දසනායකගෙ කවියෙ ගැඹුර නොපෙනෙන්න පුළුවන්.
නොයෙක් වැඩ අතර මට නැවත ටයිප් කරන්නට වෙලාව නෑ. නැත්නම් කවි කීපයක් උපුටා දක්වන්න තිබුණා. ඔහුගෙ කවියෙ ස්වරූපය පෙන්වන එක කවියක් මේ:
නෙක පැහැ ආලෝක සන්ධ්‍යාව

එදා අප කුඩා කල
එක් අඳුරු සැඳෑවක
අප නිවෙස් දොරකඩට ආ
අඳුරුබර කිසිවකු
මා මවුට දුන් ඒ විදුලි පන්දම
වීසි කළා ය ඈ කළුවර වදුලකට…
ඒ අලෝක පුලිඟුව
විසිවුණේ ඒ සැඳෑ අඳුරට
නෙක පැහැ ආලෝක එළි
රටා මවමිනි මා කුඩා දෑසට
ඉන් පසු එය ගෙනා කිසිවකු
කළු ම කළු අඳුරේ ම ගිලුණා
ඒ විදුලි පන්දම වදුල’තර
නැති වී තිබුණා
ඉන්පසු ඈ කඩෙන් ණයට ගෙන ආ
භූමිතෙල් දමා යළි දැල්වූවා ය පහන
සිනාවේ තෙත පැහැ ආලෝක විහිදා මට
ඒ සියල් ආලෝක ඡායා
තවමත් ඇඳේ මා සිත් අඳුරේ
සිත තව ම අතීතේ ළතැවෙයි
එදා එය ගෙනාවේ කවුරුන් ද නොඅසා ම
ගොළු වූ පැන ඇති මා සිත
තව ම වන වදුලේ
බිඳී නැති වූ ඒ මායා විදුලි පන්දම සොයයි
අදත් නිවුණු දෑසින්
සිහින් සන්ධ්‍යා එළියේ
වයසින් ගෙවී ගිය දෑසින්
හිඳිනවා මා මවු
කිසි එළියක් නොදල්වා
අඳුරේ…
නමුත්
එවන් වූ සැඳෑවක
නෙක පැහැ සිත් ආලෝක එළි මැද
හිඳිනවා මෙන් මට
දැනෙයි ඈ තව
ඇගෙන් විහිදෙන ඒ එළිය
විඳින පමණට නිවී නැති මම
ගන කළු වදුලු වලාකුළු අතරෙහි
ඔහේ විසිරී යමි…

මනුෂ්‍ය දෛනික ජීවන පැවැත්ම පිළිබඳ භාවනාව ඇසුරු පහළ කර දාර්ශනික චින්තාවක් මේ කවියේ තියෙනවා. ඒ සිද්ධිය පිළිබඳ මුල් මතකය, විශේෂයෙන් විදුලි පන්දම ලස්සන එළි රටා මවමින් වන වදුලේ විසිර ගිය හැටි අසිරිමත් විදියට දරුවෙකුම මතක තියෙන්න පුළුවන්. ඒත් සිද්ධිය මේ කවියේ කේන්ද්‍රීය බර දරනවා. වයසට ගිය අම්මාගෙන් දැන් විහිදෙන අසිරිමත් එළිය විඳින්න තවම අසමත් පුතු අඳුරේ පාවෙනවා. මේ විදියටම ඔහුගේ බොහෝ කවිවල තියෙන බර එන්නේ මේ වගේ ආඛ්‍යායිකාවකින්. සංස්කෘත තත්සමයකින් කිව්වම හරි ලොකුයි වගේ ඇඟෙව්වැකිනෙ. ඒ වුණාට ‘ආඛ්‍යායිකාව’ කියන්නෙ ‘පුංචි කතාව’ කියන එක.
දසනායක ඒ පුංචි කතාව නිතර නිතර භාවිත නොකර වෙනත් කාව්‍යමය සැලැස්මවල් භාවිත කරනවා නම් හොඳයි. අරක අත අරින්නම කියනවා නෙමෙයි. නමුත් ආඛ්‍යායිකාවේ තියෙන ප්‍රශ්නෙ තමයි ඒකෙ තියෙන රේඛීය බව. ඒක විකාශනය වෙන්නෙ රේඛීයව. මේ රේඛීය විකාශනය නිසා ගමනාන්තය මොකක්ද කියල රසිකයාට කලින්ම ඇඟෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට මේ රේඛීයභාවය බිඳින ක්‍රම ආඛ්‍යාන කලාවෙ තියෙනවා.
කවිය ඇතුළෙ භාවිත කරන ආඛ්‍යායිකාවෙ රේඛීයභාවය බිඳින්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි සංක්ශිප්තකරණය. ආඛ්‍යායිකාවෙ හිස් තැනක් දෙකක් තියලා පේළියක් දෙකක් අයින් කරන එක. දසනායකගෙ කවි ටිකක් විතර දිග වැඩියි. ඔය දිග කියන කාරණේ ගැන මං වැරදි වෙන්න පුළුවන්. ඔව්ව ටේප් එකෙන් මැනල කියන්න බෑනෙ. මං මේ දිග ගැන කිව්වෙ අර රේඛීයභාවය බිඳීම කියන සෞන්දර්යමය කාරණය සලකලා.
ආඛ්‍යානමය සැලැස්ම වෙනුවට රූපකමය සැලැස්මක් සංරචනයට භාවිත කරන අවස්ථා දසනායකගෙ කවි පොත්වල තියෙනවා. “සිතියමක් කියන්නෙ ම කාගෙ හරි සැලසුමක් යැයි කියූ මිත්‍රයා” කියන කවිය උදාහරණයක්.
මේක දසනායකගෙ අලුත් පොතෙන් හදිසියෙන් තෝරපු කවියක්.
එය තව එක් බෙලි කටුවක් නොව බැඳණ

සිඳු පතරෙහි සුඟු බෙලිකටුවකි රඟන
තව මොහොතකින් වෙරළක හදවත සිඹින
දිගු ගමනක පසු පතුලෙන් මිදී එන
මෙවැනි වු බෙලි කටු ඇත වෙරළත නෙතැන
මහ දිය ගැඹර තරණය කළැකිද සිතෙන
තරමට කුඩා බෙලි කටුවකි මෙය බිඳුණ
එවැනි වු බෙලි කටුවකි මතකෙක තිබෙන
ඇගෙන් ලද තිලිණෙක අවශේෂ වුණ
එය තව තිබේ මේසය මත කවි ලියන
කියවන ලියන මොහොතක රළ රැළි නගන
එය තව එක් බෙලි කටුවක් නොව බැඳණ
කිසියක් උතුම් තිලිණෙක උණුහුම රැඳුණ
ඒ උණුහුමින් විටෙකදි හද සලල වෙන
විටෙකදි වෙරළ මත පාවී යයි තුටින
තුට දුක රැගෙන යා හැකි බෙලි කටුවකින
දිවි වෙරළත ඇවිදිමි දිව රෑ නිතින

දවසකට පෙර මම සටහනක ලිව්වා, මම මටම ඇහෙන්න හඬ කියන කවි තියෙන බව. නඳුන් යසිත දසනායකගෙ පොත්වල එහෙම කවි තියෙනවා. මේ කවියත් එහෙම එකක්. මේ කවියා කවිපොත් හයක් ලියලා තියෙනවා. ඒ ඇතැම් පොත් සම්මාන අවසන් වටවල එහෙමත් තිබිලා තියෙනවා. ඒ කියන්නෙ යම් අවධානයක් ලැබුණ කවියෙක්. ඒත් තනිව වැඩ කරන කවියෙක් වගෙයි පේන්නෙ. ඒකට එක හේතුවක් ඔහු ලියන්නෙ අනික් බොහෝ දෙනෙක් ලියන විදියට නෙමේ. සිංහල කවියෙ කලින් කල එන රැලි තියෙනවා. ඒ ඒ රැලිවලට අනුව තමයි තරුණ අයගෙ කවි බොහෝ විට ලියවෙන්නෙ. දසනායකගෙ කවිය තියෙන්නෙ ඒ වගේ රැලි ඇතුළෙ නෙමෙයි. ඔහු ටිකක් දිගට ලියන්නෙත් ඒ රැලිවලින් ඈත් වෙන්න අවශ්‍ය හින්දා වෙන්න පුළුවන්. දිග හෝ කෙටි බව අනන්‍යතාව පිළිබඳ කාරණයක් විතරක් නෙමේ. කවිතාව සහ සෞන්දර්ය පිළිබඳ කාරණයක්.
දසනායක බරට හිතන කවියෙක්. ජීවිතය ගැන බරපතල භාවනාවක යෙදුණ කෙනෙක්. ඒවා ඔහුගේ කවියෙන් පේන දේ.
– ලියනගේ අමරකීර්ති

Leave a Reply

Your email address will not be published.