දේශපාලන වාචාලකම් සහ ජනතාවගේ වගකීම…

රට බරපතළ අර්බුදයක පවතින්නේ ය යන්න රහසක් නොවේ. එය කෙතෙක් පුන පුනා පැවසුවද පිළිතුරු ඉබේ පහළ වන්නේ නැත. අර්බුදය කෙතරම් ද යත්, එයට සපයන ක්ෂණික විසඳුම් ද නැවත ප්‍රශ්න පත්‍රයක් බවට පත්වන තත්ත්වයකි. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස පවසන්නේ ප්‍රශ්නවලට තමන් ළඟ විසඳුම් තිබෙන බව ය. ඒ සඳහා තමන්ට බලය දෙන ලෙසය. ආර්ථික ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොකොට, හොර දූෂිත වළල්ලේ කිසිදු වෙනසක් නොකොට ප්‍රශ්න විසඳීමක් ගැන ඔහු කතා කරයි. ඔවුන්ගේ සුපුරුදු පටු චින්තනය තුළ මෙයට වෙනස් මඟක් ඇත්තේ නැත. ඇත්තම කාරණය නම්, තම පන්තියට එරෙහිව වෙනස් මඟක් ගත නොහැකි බවය.

ඇමැති සහ වෙන්ට ඇමැතිලාගේ කටමැත දෙඩවීමකට වඩා දැන් සිදුවන්නේ ජනතාවට කරන ආයාචනයකි. අනේ අපි ඉතිරි ටික කොහොම හරි කරනවා, අපිට මේ ටිකවත් ඉන්න දෙන්න කියාය. තමන්ට වාසි ලෙස පළාත් පාලන ආයතන දිනාගන්න බෝනස් සහිත නව ඡන්ද ක්‍රමයකට ගොස් ඡන්දය ඉල්ලන විට මේ කඳුළු දැක ජනතාව පෝලිමේ ගොස් නැවත පොල්ලෙල්ලක් හෝ පළාත් පාලන ආයතනවලට යවා ආණ්ඩුව ශක්තිමත් කරනු ඇතැයි යන්න මොවුන්ගේ බලාපොරොත්තුව ය.

කෝටි දෙකහමාරක් ජනතාව අතුරින් අල්පයක් පිරිස අතරට ගොස් යම් ද්‍රව්‍යමය ආධාරයක් දී මම ප්‍රායෝගික නායකයෙක් යැයි පුරසාරම් දෙඩීම ‘ආතල් එකක්’ මිස විසඳුමක අසලටවත් යාමක් නොවේ. ලස්සන කතාවලින් පමණක් නොව අපි ක්‍රියාවෙන්ද වැඩකාරයන්ය යනුවෙන් ඔවුහු තුන් තේරවිල්ලක්ද ඉදිරිපත් කරති. සජබ පක්ෂයක් ලෙස ආණ්ඩු නොකළ ද, එම පිරිස රනිල් සමඟ මෛත්‍රී සමඟ එක්ව ආණ්ඩු කළ හැටි රටම දනී. එය අසාර්ථක, රටේ ප්‍රශ්නවලට විසැඳුම් නැති, දූෂණයෙන් පිරි පාලකයක් නොවුණා නම්, මේ එළවන්නට හදන රාජපක්ෂ කට්ටුව අද බලයේ නැත. රනිල්, මෛත්‍රී සහ සජිත් තවම බලයේය. මේ මොන විහිළු කතාද?
ආණ්ඩුවේ විහිළු මීට හපන්ය. ඇමැති මහින්දානන්ද, ඇමැති ජොන්ස්ටන්, ඇමැති රෝහිත සහ වෙන්ට ඇමැතිලා ආදීන් කටපත්ත අදින්නේම ඉතිරි මාස තිහ හොඳින් රට කරනවාමය යනුවෙන්ය. මෙතෙක් නැති සැලැසුම් තමන් සතු බවය. දතේ කැක්කුම දිගු කලක් පවතින විට දත විනාශ වීමෙන්ම එහි වේදනාව නොදැනී යයි. පවතින අර්බුදයේ සමහර වේදනා මැකී යන්නේ එලෙසින්ය. ලෙඩාට සහනයක් වුවද, ලෙඩේට සහනයක් නැත. අවසානයේ ලෙඩා මළත් බඩසුද්දය.
ගෑස් පෝලිම්, තෙල් පෝලිම් ප්‍රශ්නයට යොදන තාවකාලික පැලැස්තර රට තවත් ණය කරමින් අර්බුදය වර්ධනය කරවයි. මේ අයට ඇති පිළිතුරු වන්නේ රටවල් ගාණේ තව තවත් ණය සිඟමනේ යාම, මුදල් අච්චු ගැසීම, ඉඩම් ඇතුළු රටේ ඉතිරිව ඇති සම්පත් විකිණීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ළඟ දණින් වැටීම ආදියයි. මේ තත්ත්වය තුළ විදුලිබල සැපයුම මෙන්ම තෙල් සැපයුම සම්බන්ධ අයිතිය විදෙස් රටවල් අතට යමින් තිබේ. මේ සියල්ල විසින් රටේ අනාගතය මහත් අවුලකට ඇද දමන බව නොඅනුමානය.
ඇමැති සහ වෙන්ට ඇමැතිලාගේ කටමැත දෙඩවීමකට වඩා දැන් සිදුවන්නේ ජනතාවට කරන ආයාචනයකි. අනේ අපි ඉතිරි ටික කොහොම හරි කරනවා, අපිට මේ ටිකවත් ඉන්න දෙන්න කියාය. තමන්ට වාසි ලෙස පළාත් පාලන ආයතන දිනාගන්න බෝනස් සහිත නව ඡන්ද ක්‍රමයකට ගොස් ඡන්දය ඉල්ලන විට මේ කඳුළු දැක ජනතාව පෝලිමේ ගොස් නැවත පොල්ලෙල්ලක් හෝ පළාත් පාලන ආයතනවලට යවා ආණ්ඩුව ශක්තිමත් කරනු ඇතැයි යන්න මොවුන්ගේ බලාපොරොත්තුව ය.
වගකීම පවතින්නේ ජනතාව අතය. ඔබා බලා නොව කිහිප වරක් ලිහා බලා ඇති මේ පරණ මලු නැවත නැවතත් තව දුරටත් ලිහා බලන්නට අවශ්‍ය ද? රට මේ අගාධයට වැටුණේ මේ රැවටිල්ල නිසා නොවේ ද? මෙතෙක් රට පාලනය කළ සාම්ප්‍රදායික පක්ෂ සියල්ල මෙතෙක් ලිහා නොබැලූ ජනතා අවධානයට ලක් වූ මලු ලිහන්නට පෙරම ඇතුළ මෙසේ යැයි ආඩපාලි කියන්නේ තව දුරටත් මේ
රැවටිල්ල පවත්වාගෙන යන්නට ය. ජනතාව හැඟීම්වලට සංවේදී නොවී, පපුවෙන් නොව, තම අත්දැකීම් මත තම මොළයෙන් සිතා රටේ දේශපාලන අනාගතය තීරණය කළ යුතු තීරණාත්මක මොහොතක් එළැඹ තිබේ. වැදගත් වන්නේ ජනතාවගේ සිතුවිලි පමණක් නොවේ, වෙනසක් සඳහා ජනතාවගේ හඬ සහ ක්‍රියාශීලි දායකත්වයය. එසේ වන්නේ නම් රාත්‍රී කිහිපයක්ම යළි යළි වැටුණු එකම වළේ මේ පට්ට දහවලේ නොවැටෙනු ඇත●
 
 
 

Leave a Reply

Your email address will not be published.