ගෙවුණු වසර කොහොමද?

කඳවුරු දෙකේ බෙදීමක්

ආචාර්ය හරිණි අමරසූරිය

ගෙවී ගිය වසර ගැන මම දකින්නේ, යහපාලන බලවේග ඉරේස් කෙරුණු අවුරුද්දක් හැටියට. මම මේ කියන්නේ, ආණ්ඩු බලයක් ගැන නොවෙයි. මතවාදයකට තිබුණු ඉඩක් අහෝසි වී යාමක් ගැන. පැවැති ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් බිඳවැටුණා. අලුත් දේශපාලනයක් තහවුරු කෙරෙන ක්‍රියාවලි දැන් දකින්නට පුළුවන්.

මේ තත්ත්වයට පදනම වැටුණේ, පාස්කු ඉරිදා ප්‍රහාරය. එදා තිබුණු විරුද්ධ පක්ෂයේ දේශපාලන මතවාදය ඒකෙන් තහවුරු වුණා. ජාතික ආරක්ෂාව බිඳවැටීමෙන් ගොඩ ගන්න ඕනෑ ය කියලා හැමෝම කියවන්න ගත්තා. හැබැයි, මේක තහවුරු වුණේ, අන්තවාදී, පසුගාමී කුරිරු දේශපාලන මතවාදයක් තහවුරු කරමින්. ඒ තහවුරු වීම ඉදිරියේ ප්‍රගතිශීලී දේශපාලනයකට කිසි ම ඉඩක් ඉතිරි වුණේ නෑ. තත්ත්වය ජනාධිපතිවරණයට තීරණාත්මකව බලපෑවා. විකල්ප බලවේගයක් වෙනුවෙන් තිබුණු ඉඩ සම්පූර්ණයෙන් අහෝසි වෙලා ගියා. මිනිසුන්ගේ දේශපාලන මතවාද තුළ විකල්පයකට තිබූ ඉඩ සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. ජනතාවාදී, ඇත්තටම සංවේදී මතවලට කිසි ම ඉඩක් නැති වී ගියා. මේ නිසා ශක්තිමත් සිංහල බෞද්ධ නායකයෙක් බලයට පත් කර ගන්න ඕනෑය කියන මතය තහවුරු වුණා. වෙන දේකට කිසිම ඉඩක් තිබුණේ නෑ.

මේ නිසා දැන් ජනාධිපතිවරණයෙන් පස්සේ හරියටම කඳවුරු දෙකකට බෙදිලා තියෙන්නේ. ආණ්ඩුවේ මතවාදය නියෝජනය කරන කඳවුරත්, ඊට විරුද්ධව ප්‍රගතිශීලී කඳවුරත් කියන දෙක. තීරණාත්මක බෙදීමක් තියෙන්නේ. මෙතැන දී ජාතික සමඟිය, ආගම් අතර සංහිඳියාව පදනම් කර ගත් ප්‍රගතිශීලී දේශපාලනයකට හරිම දුෂ්කර දිගුකාලීන කාර්යභාරයක් තියෙන්නේ. ජාතිවාදී, ආගම්වාදී කඳවුර ගැන මතවාදය වෙනුවට ඊට ප්‍රතිපක්ෂව මතය තහවුරු කරන්න තියෙන්නේ. ඒ මතයට බලයක් ලබා ගැනීම තවත් දුෂ්කරයි. ඒ වගේම දැන් ආණ්ඩුව ලබාගෙන තිබෙන බලය දිගටම තහවුරු කරගෙන යන එක ඔවුන්ටත් හරිම දුෂ්කරයි.

අරමුණු අතර ගැටීමක්

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ගෙවී යන අවුරුද්ද කියන්නේ, කැලැන්ඩරයට අනුව. නමුත්, දේශපාලනයේ අනෙකුත් සිදුවීම් වෙන්නේ කැලැන්ඩරේට අනුව නොවෙයි. අපේ යම්කිසි පහසුවට කැලැන්ඩරය එක්ක බැලුවොත් පැහැදිලි දේශපාලන ඛණ්ඩනයක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි, පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දමා අලුත් ආණ්ඩුවක් බලයට පත් වීම.

මේක නිකම් ම ආණ්ඩුමාරුවක් නොවෙයි. ටිකක් ගැඹුරට ගිය සිදුවීමක්. 2015 ඉඳලා පැවැති ආණ්ඩු බලය පැහැදිලිව ඛණ්ඩනය වීමක්. තිබුණු පර්යාය බිඳවැටී අලුත් දේශපාලන පර්යායක් ඇති කරන්න හැකි වී තිබෙනවා. මේකට බලපෑවේ ප්‍රධාන වශයෙන් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය.

පාස්කු ප්‍රහාරය ප්‍රධාන ආකාර දෙකකට බලපෑවා. එකක්, ආර්ථික පැත්තෙන්. සංචාරක ව්‍යාපාරය බිඳවැටීම වගේ තත්ත්වයකින් ප්‍රකට කරන්නේ ඒක. අනෙක ආර්ථික අස්ථාවරත්වය දේශපාලන අස්ථාවරත්වයක් බවට පත් වුණා. දෙවැනි පැත්ත තමයි, ජාතික ආරක්ෂාව බිඳවැටිලා තිබෙන බවට ඒ වෙන කොටත් කියමින් ගිය කතාව තහවුරු වීම. පැවැති ආණ්ඩුවේ පැවැත්ම අවසන් වුණේ මෙන්න මෙතැනින්.

මේ නිසා ජාතික ආරක්ෂාව ඇති කරන ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බව තහවුරු වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා අලුත් ආණ්ඩුව බලයට පත් වුණේ, මේ පදනමින්. ඉදිරිය ගැන පුරෝකථන කිරීම හරිම අමාරු වැඩක්. දැන් පවතින තත්ත්වයත් එක්ක බැලුවාම කිසිම පැත්තකින් විශාල බලාපොරොත්තු තියා ගන්න බැහැ. හැබැයි, ආණ්ඩුව බලයට පත් කළ අයට තියෙන්නේ, සාමාන්‍ය බලාපොරොත්තු නොවෙයි, විශාල බලාපොරොත්තු. උදාහරණයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සමීප සම්බන්ධකම් තියෙන ඉහළම ව්‍යාපාරික ස්ථරයට ඕනෑ දේශපාලනයෙන් තොරව ව්‍යාපාර කරගෙන යන්න පරිසරයක්. ඒ තත්ත්වය ඇති කරන්න යන කොට මහජනයා විශාල ආතතියකට පත් වෙනවා.

අනෙක් පැත්තෙන් රටක් හැටියට ආර්ථිකය තියෙන්නේ ලොකු අර්බුදයක. තෝරා ගන්න විසැඳුම් ගොඩක් නෑ. සීමිත ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. උදාහරණයක් හැටියට චීනය මැදිහත් වී ඉන්න හම්බන්තොට වරාය ගැන ඡන්දදායකයන් හිතන්නේ, වෙන විදියකට. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැනත් එහෙමයි. ආණ්ඩුවට මේවා ගැන තිබෙන මතය ඡන්දදායකයන් එක්ක ගැටෙනවා. අනෙක දේශපාලනයෙන් මිදුණු නිදහස් ඉහළ ව්‍යාපාරික පරිසරයක් හදන්න මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වගේ අයගෙන් ලැබෙන්නේ ප්‍රතිවිරෝධයක්. හැබැයි, මේ අය නැතුව ආණ්ඩුව ගෙනියන්නත් බෑ. අනෙක් පැත්තෙන් උතුරේ ප්‍රශ්නය. මේවා මඟහැර ආණ්ඩුවට යන්න බෑ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.