මුදු මතුපිටක රළු යථාවේ කතිකාව ‘මෘදු මත රළු’ – පසන් සමරදිවාකර

මෙරට දෘශ්‍ය කලා කතිකාව අගනගරය කේන්ද්‍ර කොට පවතින්නක් බව කලා සංස්කෘතික අවකාශයේ සැරිසරන්නන්ට අමුතුවෙන් කිව යුත්තක් නෙමෙයි. දෘශ්‍ය කලා වැඩබිම් සහ දෘශ්‍ය කලා වින්දන අවකාශ පමණක් නෙමයි දෘශ්‍ය කලා රසික සමාජය පවා අගනගරය වටා සංකේන්ද්‍රණය ව පැවතීම ඒකට ප්‍රධාන හේතුවක්. තත්ත්වයන් එසේ පවතිද්දි ප්‍රධාන දෘශ්‍ය කලා කතිකාවන්ගෙන් තරමක් දූරස්ථ ව හිඳිමින් වුවත් බරපතළ වැඩක් ලෙස සලකමින් දෘශ්‍ය කලාවෙහි නිරත අතළොස්ස අතරේ සිටින සමකාලීන දෘශ්‍ය කලා නිර්මාණකරුවෙක් විදිහට පසන් සමරදිවාකර හඳුන්වාදෙන්න පුළුවන්.
ඒ පසන් දැන් මෙරට දෘශ්‍ය කලා කතිකාව වෙත ‘මෘදු මත රළු’ නමින් සිය
ප්‍රථම දෘශ්‍ය කලා සම්බන්ධ කෘතිය මුදාහැර තිබෙනව. ඒ ‘ඇත්ත’ පුවත්පතට දෙස් විදෙස් දෘශ්‍ය කලා කෘති පිළිබඳ සම්පාදනය කළ ලිපි ගොන්නක් ඇසුරින් තෝරාගත් ලිපි විස්සක එකතුවක් ලෙස.
මේ කෘතිය ඇතුළෙ දි පසන් ‘ ශ්‍රී ලාංකේය දෘශ්‍ය කලාව ගැන කෙටි වටහා ගැනීමක්’ මැයෙන් සපයන තරමක් දිගු පෙරවදන දෘශ්‍ය කලාව ගැන ක්ෂුද්‍ර කියවීමක් ඇති අයෙකුට වුව දෘශ්‍ය කලා කෘතියක් තුළට ප්‍රවේශ වීමට මග හෙළි පෙහෙළි කරනව.
විශේෂයෙන් ම මෙරට තුළ කිසියම් ඒකාකෘතික ස්වභායකින් සමාජගත වී ඇති ශිල්ප කලා, දෘශ්‍ය කලා ලෙස අධිනිශ්චය කිරීමෙන් සැබෑ දෘශ්‍ය කලා හෙළා ඇති අර්බුදය වැනි කාරණා පසන් සිය පෙරවදන තුළ සියුම් ව හෙළිදරව් කරනව. ශිල්ප කලා සහ දෘශ්‍ය කලා අතර මේ බෙදුම්කඩනය සැඟවීමේ දේශපාලනය පසන්ගෙ කතිකාමය අවධානයට ලක්වන්නක්. ඒ වගේම යමක් කලාවස්තුවක් බවට පත්වීමට උපයෝගීතාමය අර්ථ බිඳගෙන ආ යුතු බව මේ පෙරවදනෙ අවධාරණය කෙරෙන්නක්.
‘එහෙත් දෘශ්‍ය කලා විෂය තුළ උපයෝගීතාවය බොහෝ සෙයින් ඌනනය කරන අතර එහි සරල ම අවශ්‍යතාව දෘශ්‍ය ගෝචර සුන්දරත්වය අත්දැකීම වන අතර ඒ තුළ විවිධාකාර වූ සමාජ දේශපාලන ආස්ථානයත් සාකච්ඡා කරන යමක් ලෙස පෙනී හිටී’
(මෘදු මත රළ, පි. 13)
කලාකෘතියකට සමාජයත් එක්ක තියන ගනුදෙනුව මොන වගේ ද යන්න සම්බන්ධයෙන් පසන්ගෙ මේ ලිපි කලඹ මනා කතිකා ආලෝකයක්. මේ කෘතිය ඇතුළෙ සාකච්ඡා කෙරෙන්නෙ සෑම දෘශ්‍ය කලා නිර්මාණයක් ම සමාජ දේශපාලන සන්දර්භය මත තියල. ඒ නිසා, සටහනේ මුලින්ම කතුවරයා පිළිබඳ ‘බරපතළ වැඩක් ලෙස සලකමින් දෘශ්‍ය කලාවෙහි නිරත’ යනුවෙන් සඳහන් කිරීම මේ කෘතිය විසින් සාධාරණීකරණය කරනු ඇති…
‘ස්වකීය ආත්මය ප්‍රීණනය කරගැනීමට වඩා වත්මන් ලෝකයේ මිනිසාට ඇති අහිතකර පැවතුම් හා බැඳුණු සමාජ දේශපාලන දෘෂ්ටිවාද සංස්කරණය කිරීමට හැකි දෘශ්‍ය කලාව වෙත අවධානය යොමු කිරීම සහ එවන් කලා කෘති පිළිබඳ බුද්ධිවාදී කතිකාව පෝෂණය කිරීමට වෑයම් කිරීම ප්‍රේක්ෂක වගකීම වේ’
(මෘදු මත රළු, පි.22)

– ලහිරු කරුණාරත්න

සබැඳි

Leave a Reply

Your email address will not be published.