බලාපොරොත්තු තැබිය හැකි කිවිඳියකගේ ආගමනය ඔව්! ඒක හාදුවක්

ආදරය වෙනුවට වෛරයම ඉල්ලන සමාජයක්. විද්‍යාව වෙනුවට මිථ්‍යාවට ම ඇබ්බැහි වුණ රටක්. සාහිත්‍යය, කලාව යටපත් කරගෙන ජාතිවාදය සහ ආගම්වාදය බෙල්ලෙ බැඳගත්ත මිනිසුන් බහුතරයක්. හතේ ළමයින්ගෙ පොතේ තියෙන්න ඕනෙ දේවල් තමන්ගෙ හිතේ හැටියට තීරණය කරන ආගමික සංස්ථාවක්. මේ ගෙවී යන්නෙ නත්තල් සමය. නමුත්, යේසුස් විතරක් නෙවෙයි ගෞතම බුද්ධ පවා නොහිතපු, නොපතපු බොහෝ දේ සිද්ධ වෙන කාලයක්. එහෙව් කාලෙක කවි ලියල මොනව ද කරන්න පුළුවන් කියල කවුරුහරි ඇහුවොත්, අපි පැහැදිලිවම කියනවා, ඔව් කිසිදෙයක් කරන්න බැහැ තමයි ! නමුත්, කාට හරි කවියකින් වෛරය වෙනුවට ආදරයත්, පිහි ඇනුමක් වෙනුවට හාදුවකුත් බෙදා ගන්න පුළුවන් නම්, මොකුත් නොකර නිකම් ම ඉන්නවට වඩා ඒක සෑහෙන්න වටිනවා.

‘ඔව් ඒක හාදුවක්’ කියන්නෙ රොෂෙල් ෆර්නැන්ඩූ කියන තුරුණු කිවිඳියගෙ කුළුඳුල් කාව්‍යමය ප්‍රයත්නය. සාධනීය, නිෂේධනීය ලක්ෂණ දෙක ම ගැබ් වුණ කවි පනස්පහක් අතරේ ඇය තමන්ගෙ ම අනන්‍යතාවක් සොයමින් වෙහෙසෙන බව පෙනෙන්නට තියෙනවා. වැදගත් ම දේ තමයි, බහුතර සමාජයේ අධිපතිවාදී මතවලට යටපත් නොවී තමන් නිවැරදියි කියලා විශ්වාස කරන දේවල් වෙනුවෙන් අකුරු පෙළගස්වන්න ඇය දරන උත්සාහය. ඒ උත්සාහය ඇතුළෙ ඇතැම් තැන්වල ඇය සාර්ථකයි. තවත් තැන්වල අසාර්ථකයි.

සාර්ථක – අසාර්ථකභාවය කොහොම වුණත්, එක තැන ගල් ගැහිල නොඉඳ තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරියට යන්න රොෂෙල් තබපු මේ පළමු පියවරට ආරම්භයේදීම අපේ ප්‍රශංසාව හිමිවෙනවා.

“හූනෙක් චික් ගෑවම පමාවෙන උදේක

උඹ දැක්කම

ආපහු මඟින් හැරිලා යන එක

අහන්නත් දෙයක් ද?

හූන නම් තව කහපාටයි

මක්කරන්න ද?

මේ උඹේ වෙලාව

කළුපාටින් ඉපදුණු පළියට

අසුබ නිමිත්තක් වෙන එක

ඒ තරම් හොඳ මඳි නම් තමයි…”

(කළු කුරුලු මිතුරාට – 16 පිටුව)

කිවිඳිය මිථ්‍යාව ප්‍රශ්න කරනවා. ගෙදරින් එළියට බහිද්දි හූනෙක්

“චික්” ගෑමේ ඉඳන් මඟතොට දී අපට මුණගැහෙන අසුබ නිමිති නම් මොන තරම් ද? ඒ වගේම කළුපාට වුණ නිසාම අසුබ නිමිති වෙන දේවල් මොන තරම් තියෙනව ද? කළුපාට වෙනුවට එතැනට ආගම, ජාතිය, කුලය, පන්තිය ආදී ඕනෑම දෙයක් ආදේශ කරලා

සමාජ – දේශපාලනික කෝණයකින් ඔබට මේ කවිය කියවා ගන්න පුළුවන්. ඊළඟට කිවිඳිය කවිය ඇතුළෙන් ම කාලීන විකල්පය යෝජනා කරනවා.

“උඹට තිබුණෙ

කොහෙක් වෙලා ඉපදෙන්න

අවුරුදු කුමාරයගෙ පණිවිඩ

අරන් ආවා නම්

කළු පාට වුණත් මොක ද…?”

(එම)

ඇත්තට ම ඒ යෝජනාව උත්ප්‍රාසාත්මකයි. තමන් අදහන නායකයන්, පක්ෂ, කණ්ඩායම්, කුලක කියන ඕනෑ ම දෙයක් තාර්කික විමසුමකින් තොරව පිළිගන්න පුරවැසි සමූහයක් පිරුණු චිත්‍රයක් අපේ ඇස් ඉදිරිපිට මැවෙනවා. හොඳ – නරක හෝ දේශප්‍රේමී – දේශද්‍රෝහී බව තමන් පළඳින දේශපාලන උපැස් යුවළ අනුව තීරණය වෙනවා. එතැන දී නම්, කුරුල්ලා කළුපාට වුණත් ඒක ගැටලුවක් නෙවෙයි. මේක මේ මොහොතටත් අදාළ තත්ත්වයක්. බොහෝ දුරට අනාගතයටත් අදාළ වේවි ! රොෂෙල් කවිය අවසන් කරන්නෙ මෙහෙමයි.

“කඩුපුල් පින් කරන කොට

සේපාලිකා පෑගෙනවා අනන්තවත් උදේට

දෙක ම පිපෙන්නෙ රෑට

ඉතින් මෙහෙව් රටක

පොල්කිච්චෙක් වෙලා ඉපදෙන එකත්

ඔව් දයාබර පොල්කිච්චෝ,

ඒක උඹේ ලොකු

නිර්භීතකමක් !”

(එම)

ඇත්ත ! කඩුපුල් බහුතරය මැද සේපාලිකා සුළුතරය වෙන එක බැලූබැල්මටම නිර්භීතකමක් තමයි. රොෂෙල්ගෙ බොහෝ කවි ඇතුළෙ කැටිවෙලා තියෙන්නෙ ඔන්න ඔය කියන ගුණය. මේ ඒ කාරණාව සනාථ කරන්න පුළුවන් තවත් එක උදාහරණයක්.

“කැටයම් ඔපලා තිබුණත් දෙපයට පෑගෙනවා

සඳකැන්මිණ උරුමය දෙපතුල් යට පෑරෙනවා

මුරගල් දෙස බල බල අවසර නැතුවම යනවා

නටබුන් මන්දිර ඇතුළෙත් කැටයම් වැළපෙනවා…”

(සඳකඩ – 30 පිටුව)

මතුපිට කියැවීමේ දී විරහව පිරුණු කවියක් ලෙස ග්‍රහණය වුණත්, ඊට යටින් රැඳුණු යම් ගැඹුරක් කවිය ඇතුළෙ පේනවා. අපි බොහොම සුන්දර, බැතිබර, ප්‍රෞඪ විදියට දකින දේවල් ඇතුළෙත් ඛේදවාචක තියෙන්න පුළුවන් කියල කිවිඳිය අපට කියනවා. කවිය හරහා ඒ දේවල් ගැන වෙනස් සහ වෙසෙස් බැල්මක් හෙළන්න ඇය උත්සහ කරනවා. මේ වගේ කවි බොහොමයක් අතරෙ රොෂෙල්ගෙ කවිකාරකම නිරායාසයෙන්ම එළියට පැනපු කවියක් තමයි ‘වැහි වලාකුළු‘ කියල කියන්නෙ. ඇය මෙන්න මෙහෙම ලියනවා.

“වතට වත මුණගැහෙන

ඇයිද මෙතරම් සද්ද

මේ ලෙසින් ලොව ගැටෙන

පෙම්වතුන් තව ඇද්ද?

ඒ තමයි

ප්‍රේමයේ රසෝඝය

නුඹත් විඳලා නැද්ද?

සෑම වරෙකම සිඹින

සෙනේවන්තම යුද්ද

අකුණු ඒකයි සද්ද”

(වැහි වලාකුළු – 37 පිටුව)

ඒක අපූරු කියැවීමක්. ඇගේ කවි බොහොමයක මේ අපූර්වත්වය ගැබ්වෙලා තියෙනවා. නමුත්, ඇතැම් තැන්වල ඇය අතින් ඒ අපූර්වත්වය ගිලිහිලා ගිහින් කවි කාය බිඳවැටිලා තියෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙන්න මේ කවිය ඒ සඳහා හොඳ නිදර්ශනයක්.

“…මොඩල් කෙනෙක් වෙන්න නංගි ඔයා ආස නැද්ද

කොමර්ෂල් එකක් කරනවා නංගි කැමති නැද්ද

ෆීල්ඞ් එකේ තැනක් ගන්න ඉස්සුවොතින් රෙද්ද

ප්‍රධාන චරිතයම වුණත් ලැබෙයි නොකර සද්ද…”

(තරුවක කතාව කවි කොළයක – 55 පිටුව)

මේක නිළියක් වෙන්න හිතාගෙන ගමෙන් නගරයට එන තරුණියක් ගැන ලියැවුණ තරමක් දිග කවියක්. නමුත් අපූර්වත්වය වෙනුවට මේකෙ තියෙන්නෙ හුදු වාර්තාවක් සහ සිදුවීම් විස්තරයක් පමණයි. කවියක තිබිය යුතු කාව්‍යාත්මක ගුණය වෙනුවට ග්‍රාම්‍ය රසයක් ඉස්මතු වෙනවා කියල හිතෙනවා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගෙ ‘හිරුත් හිම පියල්ලක’ කවි පොතේ එන ‘ලියමන’ කියන කවියත් මීට සමීප ප්‍රස්තුතයක් ඇසුරෙන් රචනා වුණ කවියක්. ඒ වගේ කවියක් එක්ක මේ කවිය එකට තියල බැලුවොත් කිවිඳියට ම පුළුවන් වෙයි තමන්ගෙ මේ කවිය ගැන තක්සේරුවකට එන්න. ‘නඩුකාර හාන්දුරුවනේ’ වගේ කවියකත් තියෙන්නෙ අන්න ඒ හුදු වාර්තාකරණය විතරයි. ඒ වගේ ම ඇතැම් තැන්වල ආයාසයෙන් එළිසමය ආරක්ෂා කරන්න ගිහින් කවිය ඇතුළට කෘත්‍රිම බවක් ආරෝපණය වෙලා තියෙනවා. තවත් තැනක අක්ෂර වින්‍යාසය ගැන නොසැලැකිලිමත් වීම නිසා කවියේ අර්ථයට සහ රසයට බාධා පැමිණිලා. මේ වගේ කාරණා ගැන රොෂෙල් තමන්ගෙ අනාගත අවධානය යොමු කිරීම වැදගත් වෙයි. කොහොම වුණත් මේ සියල්ල අතරෙ ‘ඔව් ඒක හාදුවක්’ තුළින් අනාගතය ගැන බලාපොරොත්තු තබා ගත හැකි කිවිඳියක් ඇවිත් අපි ඉදිරියෙන් හිටගන්නවා. ඇය ඇතුළෙ කවි කලල පණගැහෙන බව දැනෙනවා. ඔව්, බෝම්බයක්, තුවක්කුවක්, පිහියක්, කඩුවක් හෝ මන්නයක් වෙනුවට හාදුවක් කියන්නෙ මොන තත්ත්වයක් යටතේ වුණත් හොඳ තේරීමක් තමයි. ඉතින් අපි ඉදිරිය බලමු !

කසුන් සමරතුංග

සබැඳි

Leave a Reply

Your email address will not be published.