අපව යළි යළිත් ඌරන් ඊරියන් බවට පත් කරන ‘ඌරො අතර පෝක්’

ඊයේ (06)  හවස ‘ඌරෝ අතර පෝක්’ බලන්නට කලින් උදේ ජෝජ් ඕවල්ගේ ‘ගොවිපොළේ කැරැල්ල’ කියවන්න ගත්තේ, ධවල පැහැ සූකර මේජර්ගේ මතකයට එබෙන්නට ය. කතාව පටන්ගන්නවිට මේජර් අනාගත කැරැල්ලක් කර ලබාගත හැකි සැපත ගැන නැත්නම් යුතෝපියානු සිහිනයක් ගැන ගැයූ ‘එංගලන්තයේ සත්තු’ගීතය සේ, නාට්‍යය පටන්ගන්න පෙර, ඔව් – ඔව් මේ ලංකාවේ ම එක් එක් පක්ෂවල යුතෝපියානු ජීවිතයක් වෙනුවෙන් දිවුරන පොරොන්දු, ප්‍රශස්ති සහිත තේමා ගී අසන්නට ලැබිණි. සංස්කෘත නාට්‍යවල සූත්‍රදර, යෞගන්දරායනලා නාට්‍යයේ ඉදිරිය ගැන ඉඟිකරනවා සේ පටන්ගන්න නියමිත නාට්‍යය ගැන කස පුපුරනු එයින් උත්ප්‍රාසාත්මකව ඉදිරිපත් කෙරිණි. ඒ ඒ පාලකයන්ට මනාපය දී පත්කළ මිනිසුන්ට ම ඒ ගී යලි අසන්නට සැලසීමෙන්, නාට්‍යය බලන්නට පෙරත්, නාට්‍යය අවසන් වූ පසුත් නරඹන්නන් ඌරන් බවට පත් කෙරිණි. ‘වැඩ කරන අපේ විරුවා’ වැයීමෙන් කුල්මත් වූ නරඹන්නන් අත්පුඩි ගැහුවේ විරෝධයක් ලෙස ද හාස්‍යයක් ලෙස ද නැතිනම් ඊටත් වඩා තමන් ගැන ම දුක්වීමක් නිසා වෙනකරන්න දෙයක් නැතිකමටදැයි කියන්න බැරිය.
සිංහබාහුගේ කතාවෙන් බහුතර ජාතියේ මුදුන්මුල අසවල් දෙයක් බව උගැන්නු රටකට, සූකරබාහු කෙනෙකුව ගෙන එන අසංක සායක්කාර, සිංහයෝ විනා අනෙක් අය සත්තු නොවේදැයි විමසයි. සූකරබාහු පිරිමියෙකුගෙන් උපත ලැබූවෙකි. ඊට සබැඳි රෝස පැහැ ඊරියගේ බඩේ රුදාව සුවකරන්නට මිනිස්සුන්ගෙන් පිහිටක් නොලැබේ. මේ ඊරිය අනෙකෙකු නොව, අසාධාරණයට අගතියට පීඩාවට පත් පොදු ජනයායි. අතුරුදන් කරවූ වැසියන්ගේ නෑයෝයි. මරාදමනු ලැබූවන්ගේ නෑ සියෝයි. ගෑස්, බඩු මිල, තෙල්, කරන්ට් කැපිලි ඈ සියලු බරෙන් අජීර්ණය වූ වැසියෝයි. ගණ්ඩතීන්දු ජාතකය වත්මනේ ලා බැලූකල එදා පීඩාවත්පත්වූවෝයි. එසේම, රාජ්‍ය ආයතනයකට ගිය විට ඒවායෙන් සේවය ගන්නට එන මිනිසුන් රස්තියාදු කරවන අයිස් ගසන්නෝයි. පුටු කරකවන්නෝයි.පියරු සලන්නෝයි. බේගල් ඇද බාන්නෝයි.මඩි තරකරගන්නෝයි. ප්‍රදර්ශන පාන්නෝයි. කට මැත දොඩවන්නෝයි. පාලකයෝයි. උන් වටා සිටින්නෝයි. ‘නෑ ඒ සත්තුන්ගෙ කතාවක්’ විතරයි කියා හිතන්නට ඉඩ නැත!
අවසානයේ දී, සාමාන්‍ය මිනිස් පවුලක් නිරූපණය කරන සූකරබාහු ප්‍රමුඛ සූකර පවුල රිමෝට්වලින් මාරුකරනා චැනල්, අනෙකක් නොව කාලෙන් කාලෙට මාරුකර කර පත් කරගන්නා ඈයෝය. පටන්ගත් සිංදු ටික අවසානේත් පට පට ගා මතක් කරයි. ‘ගොවිපොළේ කැරැල්ලේ’ ජෝන්ස් මහත්තයා සේ ජෝන්බාස් කෙනෙකුගේ අධිකාරියට යටත්ව ඉන්නට සිදු වූ රටක ප්‍රේක්ෂාගාරයකට විලි ලැජ්ජාවක් කියා දෙයක් නාට්‍ය බලාවසානයට ඉතිරිවන්නේ නැත.
ඌරන් සම්බන්ධ කතා, පිරුළු, ගී ආදි සියල්ල එක තැනකට ගේන සායක්කාර, මින් පෙර වේදිකාගත වූ නාට්‍යවල වූ ඌරු නාමය එන කොටස් එහි ඇතුළත් කර පදමට මුසු කරයි. නේපත්‍යාගාරය වේදිකාව මතට ගෙන ඒමත්, ඒ අතරවාරයේ ඊරිය යන ගමන්මග ගෙනෙමින් අනෙක් ජවනිකාව හා සම්බන්ධ කිරීමත්, කුඩා කුඩා සූකර පැටවුන් සහ පැටික්කින් වේදිකාව පුරා සසැරීමත් සාධනීයය. නාට්‍යයේ ප්‍රධාන චරිතවල රංගනය ප්‍රේක්ෂකයාට ප්‍රිය විය. සුන්දර ඊරිය(නිල්මිණී සිගේරා)ගේ ඌරු ලීලාවත්, චරිත කිහිපයක් ම තමන්ට ආරූඪ කරගෙන රඟපෑ, ආසා හිතෙන බොරුකකුල්කාර පන්නයේ ඇඳුමක් ඇඳ සිටි කඩවසම් මහසෝන් අයියා(සමිත සුධීෂ්වර)ත්, අප දිනාගන්නට සමත් වූහ. අවස්ථා කිහිපයක දී හඬ නෑසෙන තරමක් වූ තැන් නොසලකා හැරියොත්, උච්චාරණ, අත් පා සෙලවීමේ නොමැලියාව, වතුර ගලන්නා සේ කටට පණ ඒම, මුහුණේ හැඟීම්, අපව නාට්‍යයට ඇඳ බැඳ ලූවා වැන්න. නාට්‍යය බලා එළියට යන්නෝ, ‘චිකිට් – සාව’ යැයි වහරමින් දෙබස් මතක තැන් ගැන අනෙකාට විහිලු කරමින් යනු දැකගත හැකිවිය.
මෙහි සිටි යූටියුබ්කරුවා මෙන් ම නිවේදකයකු හෝ මාධ්‍ය ලොක්කකු වැනි චරිතයක් ද සම්බන්ධ කරගැනීමෙන් අනෙක් හස්‍තයත් පෙන්වීමට ද හැකියාව ඇත.
ඌරෝ නාට්‍ය පුරා සමාජයේ පීඩකයෝත් පීඩිතයෝත්, ඊනියා සංවේදී හදැති සලු හැඳි සියල්ලෝත් උපහාසයට ලක්කරන නාට්‍යකරුවාත් එම කණ්ඩායමත් ඌරකුගේ ඇඳුම ඇඳගෙන නාට්‍යාවසානයේදී ප්‍රේක්ෂාගාරය අතරින් ම වේදිකාවට පැමිණ, නරඹන අපට ඇඹරී ගිය ඌරු වල්ගා සහිත පසුපස පෙන්වමින් එදෙසටත්, ඌරු හොම්බා සහිත ඇඳුමේ ඉදිරිය පෙන්වමින් මෙදෙසටත් නැමෙත්. නොඑසේ නම්, වාඩි වී සිටින අපත් වේදිකාවේ සිටින ඔවුනුත් යන සියල්ලන් ම එක ම මඩවලට බසින්නට සිදුවුණු ඌරන් බව හඟවති.
සුරංගන කතන්දර හෝ වෙනත් ප්‍රස්තුත නොගෙන, මේ අතිශය වත්මන ම වේදිකාව මතට ගෙනා බැවින් ඌරන්ගේ මාලු ඌරන් පිට ම තබා කපා සැකසූ පෝක් කා තෙල් මද මේරූ ඌරන් ඊරියන් බවට නැවත නැවතත් ප්‍රේක්ෂකාගාරය පත් කළ නාට්‍යකරුවාගේ දිරියට සුබ පතමු !

– ඩිල්ශානි චතුරිකා දාබරේ

‘ඌරො අතර පෝක්’අසංක සායක්කාර
ජායාරූපය – ශෙහාන් කාවින්ද

සබැඳි

Leave a Reply

Your email address will not be published.