අපි හදන රට ගැන…

ඇත්තටම අපේ ආණ්ඩුවක් එනකම්ම අපිට මේ හැමදාම දෙපැත්ත මාරු කරන එකේ වෙනසක් දැනුණේම නැහැ. හැමදාම වුණේ එකම නස්පැත්තිය. බලයට ආව ගමන් හිතන්නේ ආයතනයි, මිනිස්සුයි එයාලට අයිති වුණා කියලා. මිනිස්සුම කතිරේ ගහලා ආපු එවුන් ඉස්සරහ ඒ මිනිස්සුම නිකම් උන්ට නැටවෙන රූකඩ බවට පත්වුණා. “සර්” කිය කිය පස්සෙන් දුවන්නයි, කියන කියන එකට එහෙයි කියන්නයි තමයි, ලොකු එකාගේ ඉඳලා පොඩි එකා දක්වා හුරුවෙලා හිටියේ. කිසිම ලොක්කෙක් ඇමැතියි, ලේකමුයි ඉස්සරහ වචනයක් කිව්වෙ නැහැ. ඕනෑ එකක් “හරි සර්” තමයි. ඒක නිසාම උන්ට ඕනෑ දෙයක් කර ගන්න, විශේෂයෙන් හොරකම්, වංචා ටික කර ගන්න හරි පහසු වුණා. ටෙන්ඩර් මගඩිවල ඉඳලා, ආයතනයට සේවකයන් බඳවා ගැනීම දක්වා සියලුම දේවල් තිබුණෙ උන්ගේ අතේ. ආයතන සහ නිලධාරීන් පඹයෝ වගේ. කියන කියන එකට නටනවා. තියෙන උපාධි ගණනටත් ලැජ්ජයි ඇමැති ඉස්සරහ ඇඹරෙන විදිය දැක්කහම.
“ඇමැති එනවා”, “ඇමැති කිව්වා” කිව්වහම පුදුම බයක් තිබුණෙ. ඇත්තටම නිලධාරීන් හරි දේට, කළ යුතු දේට වඩා කළේ ඇමැතිට, ආණ්ඩුවට ඕනෑ දේ. රටක් ගැන, ආයතනයක් ගැන හිතපු නිලධාරීන් හිටිය නම් ඒ බොහොම සුළු පිරිසක්.
අපේ ආණ්ඩුව ආවට පස්සේ තමයි, මිනිස්සු දැක්කෙ ආයතන සහ පාලකයාගේ වෙනස හරියටම. ඇත්තටම ඔවුන් භාරකාරයා මිසක් අයිතිකාරයා නෙවයි කියලා ඔප්පු කරමින් ඉන්නෙ. ඇමැති සහෝදරයාගේ ඉඳලා ලේකම්තුමා දක්වා තියෙන්නෙ ආදර්ශ දෙන්නේ සහ කැපකිරීම් කරන්නේ කොහොම ද කියන පාඩම. වැඩ කරන්න ගියහම වැඩම තමයි. ඇමැතිතුමා වෙනුවට අපට ඉන්නේ ඇමැති සහෝදරයෙක් නිසා එයා වැටුප් ගන්නෙත් නැහැ. නෑදෑ, හිතමිතුරන් කාටවත් රස්සාවල් දීලත් නැහැ. දවසක් අපේ රියැදුරෙක් ඇමැතිතුමාට සහෝදරයා කිව්ව දවසේ අපේ කට්ටියගෙ ඇස් උඩ ගියා. ඒ සහෝදරවරු කරන්නේ පුදුම කැප කිරීමක්. ඇත්තටම ඉහළ අය හොරකම්, දුෂණ, වංචා කරන්නේ නැත්නම් පහළ කවුරුවත් කරන්නෙත් නැහැ, කරන්නත් බැහැ. ඉස්සර හොරකම් කරපු කිහිප දෙනකුටම අපිත් නොහිතපු විදියට තමයි, දඬුවම් ලැබුණෙ. සමහර අය හිතන් හිටියෙ මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩු වගේම හොරු ටික ආරක්ෂා කරයි කියලා. මොක ද? උන් කිහිප දෙනකුත් අන්තිම කාලේ පරදිනවා කියලා දැනගත්තහම අපේ පැත්තට හිතවත් වුණා නේ.  දැන් ඇමැති නිල රථ, ඉස්සරහිනුයි, පස්සෙනුයි වාහන, මාසෙන් මාසෙට පිටරට සවාරි මේ මොනවත් නැහැ. ඇමැතිලගේ  ගෝලයන්ගේ නෝනලාටත් වාහන, රියැදුරන් දීපු කාලයක් තිබුණ බව අපට නම් තාම මතකයි●

 සුනිල් කුමාර ගමගේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.