“සම්ප්‍රදායත් එක්ක බැඳුණු ඇතැම් විචිත්‍ර දෑ ඔහු කතා පරිසරයට තේමා කරගන්නෙ නිවැරදි ම නිලය අල්ලන වෙදෙක් වගේ”

දිය සීරාවක් ගලන, නිස්සද්ද වටපිටාවකට දියබින්දු වැටෙන හඬ විතරක් ඇහෙන, බිත්තියෙ තැනක දෙතැනක සෙවල බැඳෙමින් තියෙන, ඔලුව නමාගෙන ඇතුලුවෙන්න තියෙන කුඩා උලුවස්සක් තියෙන, පෙතිකඩ චිත්‍ර ඇඳපු සීලිමක් ඉහට ඉහළිනුත් අවර්ණවෙමින් තියෙන චාම් බුදු පිළිමයකුත් තියෙන, මුල් බුදුදහමෙ ලකුණු ඇතිය කියල හිතෙන, අපේ හඬ ම දෝංකාර වන, අඳුරු ගුලාවක් අතරින් ඉස්සර සිත්තරු ඇඳපු විහාර චිත්‍රවල වර්ණ පෙනෙන, පරණ ලෙන් විහාරයක ඉද්දි දැනෙන ගූඪ හැඟීමත් බයංකර බවත් දැනෙන කතාවක්, ප්‍රභාත් ජයසිංහගේ ‘දඹ රන් සහ පස් ලෝ’. මේ, ‘පස් ලෝ’ කතා සංග්‍රහයේ මම වඩාත් ප්‍රියකරන කතාව. රෑකට හරි හැන්දෑවකට හරි මේ කතාව කියෙව්වොත් මේ පරිසරය වඩාත් තීව්‍රව දැනේවි.
ප්‍රභාත් ජයසිංහ අපේ නිල අල්ලන්න දන්නවා. ඒ කිව්වෙ, සම්ප්‍රදායත් එක්ක බැඳුණු ඇතැම් විචිත්‍ර දෑ ඔහු කතා පරිසරයට තේමා කරගන්නෙ නිවැරදි ම නිලය අල්ලන වෙදෙක් වගේ. රිද්දල හරි සුවකරන්න දන්නවා. කොටින්ම ප්‍රාකෘත මිනිසාගේ භාව පද්ධති ගැන දන්න කතාකරුවා, කතාව ඇතුළට යන්න යන්න ඩැහි අඬුවෙන් අල්ලගත්තා වගෙ කියවන්නාව අල්ලගන්නවා. ඔහුගේ කෙටිකතා සංග්‍රහ කිහිපයේදි ම මේ ලකුණ දැකගන්න පුලුවන්.
අනෙක් කරුණ නම්, කෙටිකතාව ඔහේ දමල ගහන්න හෝ ඉක්මනට ලියල ඉවර කරන්න හෝ කතා ලියන්නෙ නෑ. කතාව පරිසමාප්ත කතාවක් කරන්න, යම් කාලයක් ගන්නවා. ඒ වටා රැඳී සිටිනවා. පළමු වැකියෙ ඉදන් අන්තිම වැකිය වෙනකම්, සියල්ල ඔහු හොඳින් සැලසුම් කරන බවකුයි පෙනෙන්නේ. ඒනිසා මේ කෙටිකතාව කියෙව්වම, ‘බඩ පිරෙනවා’. ඒ කතාවෙ අඩුව පුරවන්න තව කතාවක් කියැවිව යුතුයි කියල හිතෙන්නෙ නෑ. කියෙව්වෙ අපරාදෙ, පොත ගත්තෙ අපරාදෙ වගේ හැඟීමක් එන්නෙ නෑ.
කෙටිකතාවෙ ශිල්පීය ලකුණු ඔබ්බවා ඇතැයි කියල පාඨකයට අහු නොවෙන තරම් සූක්ෂම ලිවීමක් කරන්න ඔහුට හැකි බව, මීට පෙර පළ කළ කෙටිකතා එකතුවලිනුත් ඔහු ස්පුඨ කළා. එක සිදුවීමක් අනෙක හා බද්ධ කරන්න සුපර් ග්ලූ යොදාගන්නෙ නැහැ. සිදුවීම්වල උච්චතම අවස්ථාවලින් කතාව අඹරවන්න දන්න නිසා කුතුහලයට සාධාරණයක් සිදුවෙනවා.
අනෙක, මේ කතාව ඉතා ම රසවත්. කියවගෙන යන්න හිතෙනවා. ක්‍රිකට් මැච් එකකදි මැදින් ඇඩ් කොටස් නෑ. කවියේ දී ‘දීපක’ යනුවෙන් කවිය ම ආලෝකමත් කරන, පදයක්, වැකියක් අපට හමුවනවා වගේ, මේ කෙටිකතාවේත් දීපක ගුණය සහිත වැකි, වචන හමුවෙනවා. ඒතැන් වලදි සීනි කැටයක් වටා කූඹි දඟලනවා වගේ, වචනෙ වටා ටැග් ගැහි ගැහි හිටියට පාඩු නෑ.
‘ඒත් මේ පිළිම වහන්සේ නැති වුණාම මට මොකක් හරි මකාදාන්න බැරි අඩුවක් දැනුණ. ඒක නිකං හරියට පන්සලේ තේරුම හොරු අරන් ගියා වගෙ දෙයක්’
‘මට හිතෙනවා චිත්‍රවල තියෙන සාමෙ ලයිට් දැම්මම කඩවෙලා යනව කියල’
‘ධර්මය එහෙම සවලකින්, වීල් බැරෝවකට පුරෝනව වගේ කාටහරි බෙදන්න බෑ මහත්‍තයො’
‘දේදුණු කැලුම් එක්ක දිය ඇල්ලක් ළඟ ඉන්න චිත්‍රය දැක්කම පොඩි හාමුදුරුවන්ට හිතුණ දිය ඇල්ල පාමුලට ගිහුන් උඩට ගල් පතුරක් ගහන්න දිය ඇල්ල දිගේ හත් අටපාරක් හැප්පි හැප්පි උඩට යන්න’
‘ඒ වෙනකොටත් තමන් කරපු වැඩේ වැරදියි කියන එක උන්වහන්සේගෙ හිත පුරා වමනෙ කරන්න පටන් අරන් තිබුණා’
‘දඹ රන් සහ පස් ලෝ’ කෙටිකතාව කියවද්දි, කතුවරයා ම ලියූ ‘ස්වර්ණ කාය’ සිහිවෙනවා. පරණ පන්සලක වෙන සොරකමක් ඇසුරින් ලියැවුණු මේ කතාවේ, ලොකු හාමුදුරුවො පාඨකයට අමතන්නෙ සිතැඟි කියනවා වගේ. දෙබස්, දෙබස් ලෙසින් ම නැතිව කතාවටම බද්ධ කරලා ගොතන ලකුණු මෙහි දකින්න පුලුවන්. කෞතුකාගාරවල තියෙන ඇතැම් පිළිම එතනට ආවෙ කොහොමද කියල සාධාරණ සැක හිතෙන කතාවක්.
අඬමින් වැලි අහුර අරන් කන ධම්ම්කිත්ති හිමි මට මතක් කළේ, වැලි උඩ දාල අවවාද පතපු රාහුල හිමිටත් වඩා, ‘උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්’ කියපු අන්දරේව. දේදුනු කැලුම් එක්ක ඉන්න චිත්‍රෙ තමන්ට ලැබුණම මොනා කරන්නද කියල හිත හිත ඉඳලා ඇඳ මෙට්ටෙ යටින් හංගපු එක හරියට, නන්දා පියල්ගෙ ලියුම් ටික අයින් කරන්නත් බැරුව පුච්චන්නත් බැරුව “අල්මාරියට විසික් කළා” යි කීවා වගේ. කෙටිකතා ලියන අය, ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය, ලියල කාලයක් තිස්සෙ සකසමින් ඉන්න අය කියවන්න ඕනෙ කතා මේ.
ප්‍රභාත් ජයසිංහගේ ‘දේවකන්‍යා’ කෙටිකතා එකතුව කියවන්න දුන්නෙ චින්තක සර්. එතැන ඉඳන් අනෙක් කතා සංග්‍රහ ටිකත් එකතුකරගත්තා. ‘මකර තොරණ’ත් ‘ස්වර්ණ කාය’ත් සංධිස්ථාන බවට පත් වුණා. ‘රස පොළොව’ කියවලා රිද්දවගත්තා. මේ ‘පස් ලෝ’ කතාව කියවලා ආයෙ ම ලෙන් විහාරෙකට යන්න ආසාවක් ඇතිවුණා. ප්‍රභාත් ජයසිංහ මගේ සීයා කෙනෙක් වෙනවා නම් කියල හිතුණා. රෑ නිදියන්න කලින්, ආදි කාලෙ ඉඳන් එන ජනකතාවක් සීයා පණ පිහිටුවල කියාදෙනවා වගේ මට දැනුණෙ.

– ඩිල්ශානි චතුරිකා දාබරේ

Leave a Reply

Your email address will not be published.