වළපනේ ජීවිත වනසන සී.බී.ගේ අලු‍ත්ම සැලසුම !

අහිංසක සී.බී.

“ඔය නාය ගිය තැන තියෙන ගල්වළ සම්බන්ධයෙන් මට චෝදනා කරන්නෙ ඇයි ? ඕකට මගෙ කිසිම සම්බන්ධයක් නෑ.”

“ඇමැතිතුමා, ඇයි එහෙම නම්, ඔහොම කතාවක් මතු වුණේ ?”

“ඔය මගෙ දේශපාලන විරුද්ධවාදීන් කියන කතාවක් නෙ. එච්චරයි. දේශපාලන විරුද්ධවාදීකම් කරන අයට හේතු ඕනෙ ද?”

සී.බී. රත්නායක ඇමැතිවරයා වළපනේ නාය යාම ගැන කිව්වේ එහෙම කතාවකි. තමන්ගේ මාමණ්ඩිට අයත් බලපත්‍රයකින්, තමන්ගේ මස්සිනාගේ ගල් ක්‍රෂර් එකට පවා ගල් අදිමින්, චීන සමාගමක් ලවා ගල් කඩමින් සිටින තත්ත්වයක් යටතේ පවා ඔහු එසේ කිව්වේ ය. වළපනේ ප්‍රාදේශීය සභාවට මේ ගල්වළ සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස බලපෑම් කළේත්, ඒ වෙනුවෙන් ලිපි එව්වේත් ඔහු ය.

ගල් කැඩීම නිසා කන්ද නාය ගොස් ඇති බව දැන් තහවුරු ය. එයින් පවුලක් මිහිදන් විය. එසේ තිබිය දී වුව ද, තමන්ගේ ලාභය නැති කර ගන්නට මේ දේශපාලනඥයන් සූදානම් නැත.

ජනතාව රැවටීමේ අලු‍ත් උපාය

දැන් ඔවුන් උත්සාහ කරන්නේ මේ ගල්වළ ආශ්‍රිත ප්‍රදේශය නාය යාමේ අවදානම සහිත කලාපයක් ලෙස නම් කර ඒ ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාව එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි. ඊට අදාළ පිඹුරු පත් මේ වන විට සකස් කෙරෙමින් තිබේ. එය අපූර්ව උපක්‍රමයකි. ජනතාවගේ ආරක්ෂාව තකා, රජයේ ඉඩම් ජනතාවට ලබා දී, රජයේ මුදලින් ඔවුන්ට එම ඉඩම්වල නිවාස තනා ගන්නට ආධාර ලබා දී, රජයේ මුදලින් ජීවිකාව සඳහා වන යම් වන්දියක් ද ගෙවා ජනතාව ඉවත් කෙරේ. සැලැසුමේ ආකාරයට වැඩ සිද්ධ වන විට ජනතාවට ද හිතෙන්නේ තමන් ගැන මේ මහත්තුරුන් කොයි තරම් නම් සංවේදී ද යන්න ය.

එහෙත්, ඇත්තට ම සිදු වන්නේ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කර ජාවාරම්කාරයන්ට තමන්ගේ පාඩුවේ ගල් කැඩීමේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට ඉඩ දීමයි. එවිට නාය ගියත්, කිසිවකු මිය යන්නේ නැත. තමන්ගේ දේශපාලන අනාගතයට ද කිසිදු බලපෑමක් නැත. පුරුදු පරිදි ආදායම ලැබේ.

මරණවල උණුසුම

සී. බී. රත්නායකලාගේ මේ සැලැස්ම ක්‍රියාවට නැංවීමේ උත්සාහය සූක්ෂ්මව ජනතාව අතරට කාන්දු කරමින් තිබේ. තමන්ගේ ඒජන්තයන් හරහා එය ජනතාව වෙනුවෙන් කරන වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දීම මේ වන විටත් තැන-තැන ආරම්භ වී තිබේ. එහෙත්, රහසේ ය. තවමත් මරණවල උණුසුම ගොස් නැත. ඔවුන්ට මරණවල උණුසුම යන තුරු හෝ ඉවසා ඉන්නට නොහැකිය. මුදල් හදිසිය.

අලු‍ත් පැළුම් මතු වෙයි

වළපනේ ප්‍රාදේශීය සභාවට අයත් නාරංතලාව, මළපට්ටාව ගල්වළ අසල පසුගිය දෙසැම්බර් 02 වැනිදා සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් හතර දෙනෙක් මිය ගියහ. තවමත් පදියපැලැල්ල – වළපනේ

ප්‍රධාන මාර්ගයේ විවෘතව ඇත්තේ එක් මංතීරුවක් පමණි. මාර්ගයට වැටී ඇති දැවැන්ත කළු ගල් සහ පස් කුට්ටි එක් වරම ඉවත් කිරීම භයානකය. තවමත් වැස්සය. නාය ගිය පස් කුට්ටි අතරින් විශාල වතුර පාරවල් මතු වී තිබේ. ඒ වතුර මුළුමනින්ම ගුරුපාටය. ඒ කියන්නේ, තව දුරටත් කන්ද හේදෙන්නේය. තවත් නාය යාමක් අතළඟය. විටින්විට බලධාරීන් කන්ද ළඟට ආව-ගිය ද, ඔවුන් කිසිවකු මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදු කර නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. කන්දේ ඉහළ කොටසේ ඇතැම් ස්ථානවල විවර මතු වී ඇති බවත්, එම පැළුම් විශාල වෙමින් පවතින බවත් එම ප්‍රදේශවලට ගිය තරුණ පිරිස් පවසති.

එහෙත් ඒවා නිරීක්ෂණය කරන්නට වගකිව යුතු බලධාරීන් යන්නේ නැත. ඔවුහු රජයේ වාහනවලින් කන්ද පහළට පැමිණ නිරීක්ෂණය කර ආපසු යති. ඔවුන් තමන්ගේ ජීවිතය අවදානමේ දමා ගැනීමට සූදානම් නැති බවක් පෙනෙන්නේ ය. එහෙත්, ඇමැතිවරයාගේ සැලසුමට අදාළ ලිපිගොනු කෙටුම් පත් කිරීමට ඔවුන්ගෙන් ඇතැමකු කටයුතු කරමින් සිටින බවක් දැනගන්නට තිබේ.

තවත් රන්බණ්ඩලා කී දෙනෙක්ද?

2018 දෙසැම්බර් 02 වැනිදා මේ නාය යාමෙන් සම්පූර්ණයෙන්ම වැළලු‍ණු නිවසේ හිමිකරු වන රන්බණ්ඩා මාමා පුවත් පතකට පවසා තිබුණේ, අනතුරක් අතළඟ බවයි. ගල්වළේ බෝර දමන විට තම නිවස අවට ප්‍රදේශය දෙදරන බවත්, කන්දේ පස් කුට්ටි එහෙ-මෙහෙ වෙමින් පවතින බවත් ඔවුන්ට දැනී තිබිණි. ඒ බව වගකිව යුතු බලධාරීන්ට කියා තිබිණි. එහෙත්, බලධාරීන් කිසිවකු ඔවුන් කී දේ බලන්නට ආවේ නැත. එම නිසා ඊට වසරකට පසු, 2019 දෙසැම්බර් 02 වැනිදා නාය යාමෙන් මිය ගිය ඔහු පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ ම මිහිදන් කෙරිණි. දැනුත් සිදු වන්නේ එයමය. කන්දේ පැළුම් ඇති බව කීවත්, කිසිවකු එහි ගොස් නිරීක්ෂණය කරන්නට සූදානම් නැත. මේ බව පැවසීමේ දී එක් නිලධාරියකු පවසා තිබුණේ, නාය යාමකින් පසු කන්දේ පැළුම් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, එහි බලන්නට දෙයක් නැති බවත් ය. කොස්ලන්ද, මීරියබැද්දේ සිදු වූ දැවැන්ත නාය යාමට පෙර ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පවා පවසා තිබුණේ බොරුවට කලබල වන බවකි. එහෙත්, නාය යාමෙන් ජීවිත සහ දේපොළ වැනසුණු පසු ඒ වගකීම භාර ගන්නට කිසිවෙක් සිටියේ නැත.

අපරාධකරුවන් සැඟවීම

වළපනේ නාය යාම මෙන්ම මේ සියලු‍ නාය යාම් යනු ස්වාභාවික විපත් නොවේ. ඒවා වළක්වා ගත හැකිව තිබූ අපරාධය. වළපනේ මේ සිදුවීමට අදාළව පමණක් දේශපාලනඥයන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් දැනට ජීවිත හතරක් විනාශ කර තිබේ. එය අවසන් නැත. තවමත් කන්දේ කොටස් කඩාවැටෙමින් තිබේ. දර කපා විකිණීමෙන් කීයක් හෝ හොයා ගනිමින් ජීවත් වූ පවුලක් විනාශ වීම ඇමැති සී.බී.රත්නායකලාට අදාළ නැත. ඔවුන් තව දුරටත් බලන්නේ, තමන්ගේ කුට්ටිය ස්ථාවර කර ගනිමින්, ගල්වළ පවත්වාගෙන යන ආකාරය ගැනය. නවීන් දිසානායක එජාප මන්ත්‍රීවරයාගේ තත්ත්වය ද වෙනස් නැත. මේ සියලු‍ දේශපාලනඥයෝ මෙන්ම ඔවුන්ගේ අන්තේවාසික භික්ෂුහු ද මේ ඝාතන ස්වාභාවික විපත් ලෙස හඳුන්වන්නට දැවැන්ත වෙහෙසක් දරති. කර්මය, වෙලාව යනාදී මිථ්‍යාවන් අස්සේ සැඟ වී අපරාධකරුවෝ ගැලවෙන්නට උත්සාහ දරමින් සිටිති.

තව දුරටත් ඔවුන් හිතන්නේ තමන්ගේ ආදායම ගැන පමණි.

ශාලික විමලසේන

සබැඳි

Leave a Reply

Your email address will not be published.