පාස්කු ප්‍රහාරයේ විමර්ශන උනන්දුවකින් කරන්නෙ නෑ – කාදිනල් හිමියන් එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ට කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය උනන්දුවකින් ක්‍රියා නොකරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැෂලේට පවසා තිබේ.
ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාල ප්‍රධාන මූලස්ථානයේදී කාදිනල් හිමියන් සහ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය අතර හමුවක් පසුගිය 02දා පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී අගරදගුරු හිමිපාණන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියට පෙන්වා දී ඇත්තේ මිනිස් ජීවිත 269කට වැඩි සංඛ්‍යාවක් අහිමි වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර තුනක් ගතවී ඇතත්, මෙතෙක් වින්දිතයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු වී නොමැති බවයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු හෙළිදරව් කිරීමටත් වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමටත් වත්මන් රජය උනන්දුවකින් කටයුතු නොකරන බව ද මෙහිදී අගරදගුරු හිමිපාණන් පෙන්වා දී තිබේ. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නෛතික කටයුතු මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාව අවසානයේ යුක්තිය උදෙසා තමන් ගෙනයන වැඩපිළිවෙළට ලබාදිය හැකි දායකත්වයක් සපයන්නැයි අගරදගුරු හිමිපාණන් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබේ. මෙම කරුණු දැක්වීම් කෙරෙහි අවධානය යොමුකළ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් ඉදිරියේදි තමන් නිවේදනයක් නිකුත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published.