නුඹ මා සතුටින්දැයි නොඇසූ බව මම දනිමි.., නුඹ මෙන් මමද බෞද්ධයෙකු නොවෙමි..

 

මා සතුටින්දැයි නුඹ ඇසූවෙද…
මම නුඹ ගැන අසා ඇත්තෙමි..
නුඹ මා දන්නා බවද මම දනිමි..
නුඹ උන්ව දන්නා මුත්…
උන් නුඹව නොදන්නා බවද දනිමි.
නුඹේ පිළිම අහස උසට නගින විට…
නුඹ දෙසූ දේ කෙළ පිඩක් මෙන් ගිලිහෙනවා දුටිමි..
නුඹේ පිළිම රනින් රිදියෙන් වැසෙන විට
දුප්පතුන් බඩගින්නේ නිදනවා දුටිමි..
නුඹ ඇගයූ ඇසතු ගස කිරි වලින් නාවන විට
වසු පැටවුන් බඩගින්නේ හඬනවා දුටිමි..
නුඹේ ධාතු ඇතැයි කී දාගැබ් සළු පිලියෙන් දවටන විට
තුට්ටු දෙකට ඇඳිවත උගස් කල ඈ දුටිමි…
නුඹ මා සතුටින්දැයි ඇසූවෙද..
නුඹේ දත ඇතැයි කී කරඬු රනින් සරසා..
නුඹේ දෙසූ ධර්මය කරඬු තුලම වසාදමනවා දුටිමි
නුඹට උක් දඬු දන් දුන් උන් දම් වැලින් සරසා..
කරඬු බලෙන් පටවා පෙරහැරේ ඇදෙනවා දුටිමි
දෙවුරම් වෙහෙරේ බැමි අහස උසට ගසා..
ආලවකයින් ඒ ගේට්ටු මුරකරනවා දුටිමි..
දහම යැයි රැවටී මුසා දෙසීමට
දේවදත්තයින් රන්කාසි ගරනවා දුටිමි..
නුඹ මා සතුටින්දැයි ඇසූවෙද…
ගහට කොලට ආදරේ කල නුඹ අමතක කර
උන් ඒ ගහ කොල උගුල්ලා ගිනිබත් කරනවා දුටිමි..
සියළු සතුන්ට දෙසූ බණ..
බෞද්ධයන්ට පමනක් බොරුකර දෙසනවා ඇසීමි
කිරි පිඬුගෙනා සුජාතාවගේ කිලි වැදී
බෝදි මිය යන බව ඇසූවෙමි..
පටාචාරාගේ ඇඳුම් ගැන නුඹේ ගෝලයින්
මර හඬ දෙනවා ඇසීමි..
නුඹ මා සතුටින්දැයි ඇසූවෙද…
නුඹගේ දම් ඇසූ දෙවියන් පලතුරු උස්මුරුත්‍තාවෙන් පෙලෙද්දී
පුංචි උන් පාර කොනේ කුසගින්නට අඬනවා දුටිමි..
බෝ ගසේ භාර හාර එල්ලමින්
නුඹ දෙසූ දහම් නොඇසූ කන් ඇතිව සිටි වුන් දුටිමි..
නුඹගේ උපන් තැන ගැන මරා වාදකරමින්
උන් උන් මරාගන්නවා දුටිමි..
කුල මල එපා කී උඹගේම සසුනේ..
කුල මල හදාගෙන මරා ගන්නා චීවරධාරයින් දුටිමි..
නුඹ මා සතුටින්දැයි ඇසූවෙද…
මිනිස් ලොව සතුනට අපායක් කරමින්..
නාගලොවෙන් නාගයන් ගෙන්වනු දුටිමි..
විශාකාව නාග කන්‍යාවිය කොට
නුඹගේ වෙහෙරේ නටවනවා දුටිමි..
දෙවුරම් වෙහෙර විශාලාවක් කොට
නුඹගේ සිවුරු උඩ දාදු දමන උන් දුටිමි..
නුඹේ දහමින් බිඳක්වත් තේරුම් නොගත්
අපූරු බෞද්ධයන් දුටිමි…
හිමියනි.. නුඹගේ දහම හැර
මා අසල නුඹද නැති බව දනිමි…
දෙතිස් මහා ලක්‍ෂණවලට වහ වැටුනු උන්
ගල් මුගුරු එවන්නට පෙර මම නුඹෙන් සමු ගනිමි..
නුඹ මා සතුටින්දැයි නොඇසූ බව මම දනිමි..
නුඹ මෙන් මමද බෞද්ධයෙකු නොවෙමි..
ඒත් නුඹේ දහම මා සිත තුල ඇත..

– Malcolm Sang
පිංතූරය: Pinterest

Leave a Reply

Your email address will not be published.